බලපොරයේ අවසානය කුමක් ද?

February 15, 2004
Publication:
Voters face a third parliamentary election in four years, called not because Parliament's term ended or the government lost its majority but because of a power struggle. The editorial argues that the conditions for a peaceful, civilised election could have been met first, and questions the practice of handing ministries across the party divide.

දැන් ජනතාව මුහුණ දී සිටින්නේ වසර හතරක කාලයක් තුළ පැවැත්වෙන තුන්වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ය. සමහරවිට මේ මැතිවරණයෙන් තවත් කලකට පසුව තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවත්, එය පුදුම විය යුතු දෙයක් වන්නේ නැත.

ශිෂ්ටසම්පන්න රටවල පාර්ලිමේන්තුවක් විසුරුවා හරිනුයේ පාර්ලිමේන්තුවේ කාලය සම්පූර්ණවීම නිසා හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් බහුතර බලයක් ආණ්ඩු පක්ෂයට නැති අවස්ථාවක දී ය. එහෙත් මේ විසුරුවා හැරිම සිදුවූයේ ඒ කරුණු දෙකම නිසා නො ව, ජනාධිපතිනියට තිබෙන අභිමත බලය මතම ය. අත්වන බලය සාධාරණව හා නීතියට අනුකූලව මිස අත්තනෝමතික ලෙස පාවිච්චි කළ නොහැකි බවට පිළිගත් සිද්ධාන්තයක් ඇතත්, ඒ කිසිවක් අපේ රටට වලංගු බවක් පෙනෙන්නට නැත. වෙනත් රටවල මෙවැනි අවස්ථාවලදි අධිකරණය ඉදිරියට ගොස් අභියෝග කරන සම්ප්‍රදායක් ඇතත්, ඒ ක්‍රමය ද ශ්‍රී ලංකාවට වලංගු නැත.

ජනාධිපතිනියගේ මේ තීන්දුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය බලවත් ලෙස අභියෝග නොකළා සේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව, පිළිගත් මූලධර්ම මත ක්‍රියාකිරීමට තමන් හැමවිට ම ඇප කැපවී සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණ ද අනුමත කළේ ය. මේ විසුරුවා හැරිම ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වූ බලපෑමේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස ද සැලකිය හැකි ය. ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන සංස්කෘතිය ඇද වැටී තිබෙන ශිෂ්ටසම්පන්නභාවයේ තරම එයින් මනාව පෙන්නුම් කරයි.

මැතිවරණයක් නො වැළැක්විය හැකිවී නම්, එය සාමකාමී හා ශිෂ්ටසම්පන්න ආකාරයකින් සිදුකිරීමට අවශ්‍ය කොන්දේසි මැතිවරණයකට යන්නට පෙර සම්පූර්ණ කිරීමේ හැකියාවක් තිබුණ ද මේ කිසිදු පක්ෂයකට එවැනි වුවමනාවක් නො තිබුණේ ය. බල අරගලය අර්ධ වනචාරි තත්ත්වයක තබා ගැනීම සියලු දෙනාගේ ම කැමැත්ත වී තිබෙන බව පෙනේ.

මැතිවරණ කටයුතු සඳහා ආණ්ඩු පක්ෂයකට පොදු දේපළ පරිහරණයට තිබෙන ඉඩ වැළැක්වීම සඳහා ජනාධිපතිනිය මහත් උනන්දුවෙන් ක්‍රියා කරන බවක් ද පෙනෙන්නට තිබේ. එය සිය ප්‍රතිපක්ෂය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන පිළිවෙතක් වුව ද එසේ කිරීම යහපත් ය. එහෙත් තමන්ගේ පක්ෂය බලයේ සිටිය දී පැවති මැතිවරණවලදි ජනාධිපතිනිය එසේ නො කළ බව ද අමතක කළ නො හැකි ය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය වශයෙන් බෙදිමක් පවතී. ඇමති තනතුරු ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට ය. එහෙත් විරුද්ධ පක්ෂයට ද ඇමති තනතුරු ලබාදෙන විශේෂ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. දි.මු. ජයරත්න මහතා වැනි පුද්ගලයෙකු එවැනි තනතුරක් බාරගැනීම තේරුම්ගත හැකි වුවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහතා වැනි සම්ප්‍රදායන් ගරු කරන නාමධාරී පුද්ගලයෙකු එවැනි තත්ත්වයකට පත්වුයේ කෙසේ ද යන්න තේරුම් ගැනීම අමාරු ය. මෙම අර්ධ වනචාරි යුද්ධයෙන් ජය කාට හිමිවුවත් රටට සේ ම රටේ ජනතාවට ද බලවත් හානි ඇති කරනු නො වැළැක්විය හැකි ය.