අන්තර් පාලන ගැටලුව

October 25, 2003
Publication:
India's view that any interim administration for the North and East must be linked to a final settlement matches the SLFP's position. The editorial notes that apart from the JVP and Sihala Urumaya all parties and India favour an interim administration, expects the LTTE to open with a confederal demand in the hope of a better bargain, and argues that it can be brought down to a federal model only if the state argues strongly for one, with safeguards for eastern Muslims and Sinhalese.

උතුරු නැගෙනහිර පළාත් සඳහා අන්තර් පාලන ක්‍රමයක් ඇති කරන්නේ නම්, එය අවසාන විසඳුමකට සම්බන්ධ කළ අන්තර් පාලනයක් විය යුතු බව ඉන්දියාවේ මතය වී තිබේ. එය ශ්‍රීලනිපයේ ද ස්ථාවරය වන නිසා ඉන්දියාවේ ස්ථාවරය ශ්‍රීලනිපයේ ද දැඩි ප්‍රසාදයට හේතුවී තිබේ.

අවසාන විග්‍රහයේදි අන්තර් පාලන ක්‍රමයක් ඇති කරනවාට සුළු ජාතික පක්ෂ පමණක් නොව, රටේ ප්‍රධාන පක්ෂ දෙක ද පක්ෂපාත ය. එවැනි ක්‍රමයකට අසල්වැසි ඉන්දියාව ද කැමති ය. එවැනි ක්‍රමයක් ඇති කරනවාට එක හෙළා විරුද්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා සිහළ උරුමය පමණ ය.

කොටි සංවිධානය තවමත් සිය යෝජනා ප්‍රකාශයට පත්කර නැතත්, ඔවුන් සිය යෝජනා උපරිම මට්ටමකින් ආරම්භ කරනු ඇතැයි සිතිය හැකි ය. තමන් අපේක්ෂා කරන මට්ටමක විසඳුමක් සඳහා උපරිම මට්ටමකින් ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු යැයි ඔවුන් කල්පනා කරන්නේ නම් එය ස්වාභාවික ය. ඒ අනුව ඔවුන් පළමුවෙන් ඉල්ලා සිටිනු ඇත්තේ පෙඩරල් ක්‍රමයක් නො ව, කොන්ෆෙඩරේෂන් ක්‍රමයකි. එවැන්නකට ගැලපෙන අන්තර් පාලන ආකෘතියකි. කොන්ෆෙඩරේෂන් ක්‍රමයකට කිසිසේත් ම ඉන්දියාව ඉඩ නො දෙන බව දැන දැනම ඔවුන් එවැනි ක්‍රමයක් ඉල්ලා සිටිනු ඇත්තේ එවැනි ක්‍රමයක් ලබාගත හැකිවනු ඇතැයි යන අපේක්ෂාවෙන් නො ව, එවැනි තැනකින් ඇරඹුවහොත් එක්තරා ප්‍රමාණයකට හෝ තමන්ට සංතෝෂ විය හැකි ක්‍රමයක් දිනාගත හැකිවනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

කොන්ෆෙඩරේෂණයක් සඳහා කෙරෙන ඉල්ලීම රටට ගැලපෙන පෙඩරල් ක්‍රමයක් දක්වා පහළට ගෙන ආ හැකිවනු ඇත්තේ ප්‍රතිපාර්ශ්වය ශක්තිමත් ලෙස හා කාර්යක්ෂම ලෙස පෙඩරල් ආකෘතියක් වෙනුවෙන් පෙනී සිටිමින් ඊට ගැලපෙන අන්තර් පාලන ආකෘතියක් සඳහා ක්‍රියාකරයි නම් පමණ ය.

දේශපාලන වශයෙන් රටේ පවතින අවුල් සහගත තත්ත්වයේ සියලු වාසි ලැබෙනු ඇත්තේ ද කොටි සංවිධානයට ය. අන්තර් පාලනයක් ලබාදිමේ දි නැගෙනහිර මුස්ලිම් හා සිංහල ජනයාගේ අයිතිවාසිකම් සහතික කරදිම සඳහා ක්‍රමවේදයක් තිබිය යුතු ය. ජනවාර්ගික අර්බුදය පිළිබඳව ප්‍රධාන පක්ෂ දෙක දරන අදහස් බොහෝ දුරට සමාන වුවත්, එම දෙපක්ෂය අතර පොදු එකගතාවක් නැතිකමේ ප්‍රශ්නය ද පවතින අවුල්සහගත තත්ත්වයට බලපා තිබේ.

අවුල් ඇති කොට රට ගිනි තැබීම පහසු ය. දැන් රටට අවශ්‍යව ඇත්තේ තිබෙන ගින්න වැඩි කරන ක්‍රමයක් නො ව, ගිනි නිවන ක්‍රමයකි.