නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

November 2, 2003
Publication:
Ivan examines the Chief Justice's disclosure to the Daily Mirror that the President took a second, secret oath before him in November 2000, arguing the constitution requires no such oath for a second term, as J.R. Jayewardene's delayed 1983 swearing-in shows, and that it serves to extend her term to 2006. Further sections criticise her new media task force, contrasting her unkept 1994 promises with the Wickremesinghe government's repeal of criminal defamation and draft Freedom of Information Act, and argue the Prime Minister lost ground by leaving the judiciary unreformed.

ජනාධිපතිනිය 1999 පැවති ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයෙන් පසුව එක් වරක් ප්‍රසිද්ධියේ ද ඊට වසරකට පමණ පසුව තවත් වරක් අප්‍රසිද්ධියේ ද සිය පදවි ප්‍රාප්තිය වෙනුවෙන් දිවුරුම් දි තිබේ.

එක් වරක් ප්‍රසිද්ධියේ ද තවත් වරක් අප්‍රසිද්ධියේ ද යන ආකාරයට මේ දිවුරුම්දිම් දෙකම සිදුකර ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරියේය.

අගවිනිසුරුවරයා දෙසැම්බර් 29 වැනිදා “ඩේලි මිරර්” පුවත්පතට ප්‍රකාශ කර තිබෙන ආකාරයට ජනාධිපතිනිය පළමුවර දිවුරුම් දුන්නේ ඇය තුවාල ලබා සිටි අවස්ථාවකය. ඒ අවස්ථාවේදි ඇය සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි කියන තැනකය. අනෙක් අතට ඇය ව්‍යවස්ථාව අනුව තේරි පත්වීමෙන් පසුව දින 14ක් තුළ දිවුරුම් නුදුන්නේ නම් පදවිය අත්හැරියා ලෙස සැලකිය යුතුය.

අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියාය. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරිමේ බලය ඇත්තේ ද ශ්‍රේෂ්ඨාධිකරණයටය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා ලෙස පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කළ යුතු දිවුරුම් දිම පිළිබඳව ඔහු කර තිබෙන අර්ථ දැක්වීම අපූරුය.

ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරිමේ බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා කියන්නේ, පදවියට තේරි පත්වීමෙන් පසුව දින 14ක් තුළ දිවුරුම් දිය යුතු බවත්, එසේ නොවේ නම් පදවිය අත්හැරියා සේ සැලකිය හැකි බවත්ය.

අගවිනිසුරුවරයා ව්‍යවස්ථාව තේරුම් කරන්නට යන ආකාරය පුදුමාකාරය. ඔහුගේ එක් තර්කයක් වී ඇත්තේ ජනාධිපතිනිය 99දි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ අරමුණින් වන නිසා ධුර කාලය පිළිබඳ ප්‍රශ්නයක් ආරම්භයේදි ඇයට නොතිබුණු බවය. කුමන හේතුවක් නිසා හෝ ඒ අදහස පසුව අත්හරින්නට සිදුවීම නිසා ධුරකාලය ගැන කල්පනා කොට නැවත දිවුරන්නට ඇති බවය.

අගවිනිසුරුවරයාගේ ඊළග තර්කය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයෙකු දින 14ක් තුළ දිවුරුම් දිය යුතු නිසා පළමු දිවුරුම්දිම සිදු කරන ලද බවය. අගවිනිසුරුගේ එම විග්‍රහය කිතුල්ගහට ගිය මිනිසා, තමන් කිතුල් ගහට ගියේ තණකොළ කපන්නයි කී කතාවට දෙවැනි නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දින 14 කාල නියමය බලපාන්නේ පළමුවරට තේරි පත්වන ජනාධිපතිවරයෙකු සඳහා පමණය. ඒ බව 31 (4) (අ) වගන්තියේ පැහැදිලිව සඳහන් වේ.

ව්‍යවස්ථාව අනුව දෙවැනි වරට තේරි පත්වන ජනාධිපතිවරයෙක් සඳහා දින 14 කාල නියමය බල නොපායි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයකට තරග කොට ජයගත්තේ 1982 ඔක්තෝබර් 20 වැනිදාය. එහෙත් ඔහු දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන ලද්දේ දින 14ක් තුළ නොව දින 100කටත් වැඩි කාලයකට පසුව එනම් 1983 පෙබරවාරි 04 වැනිදාය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දෙවරක් ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයෙකුට ජනාධිපති ධුරය සඳහා දිවුරුම් දිය හැක්කේ දෙවරක් පමණය. එහෙත් අපේ ජනාධිපතිනිය ඒ වෙනුවෙන් තුන්වරක්ම දිවුරුම් දි තිබේ. ඉන් දෙවරක්ම දිවුරුම් දි තිබෙන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඉදිරියේය.

ජනාධිපතිවරයෙකු තනතුරේ වැඩ ආරම්භ කිරීම සඳහා කෙරෙන දිවුරුම්දිමක් සිදුවන්නේ ප්‍රසිද්ධියේය. උත්සවාකාර ස්වරූපයකිනි. පවතින සම්ප්‍රදාය අනුව එම නිල උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන් ද සහභාගී වේ. 1999 දෙසැම්බර් 22 වැනිදා සිදු කරන ලද දිවුරුම් දිම සිදුවූයේ ද ඒ සියලු අංග ඇතුළත්ව පිළිගත් ආකාරයකටය. දිවුරුම් දිමෙන් පසුව ජනාධිපතිනිය ජාතිය ද ඇමතුවාය.

එහෙත් 2000 නොවැම්බර් 11 වැනි දින පැවතුණේ යැයි කියන දිවුරුම් දිම සිදුවී ඇත්තේ ඊට වෙනස් ආකාරයකටය. එය අගවිනිසුරුවරයා ඉදිරියේ හොර රහසේ කරන ලද දිවුරුම් දිමකි. එම දිවුරුම් දිමේ උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහභාගී නොවූ අතර, එම දිවුරුම්දිම පිළිබඳව ජනමාධ්‍ය කිසිවක් වාර්තා නොකළේය.

දැන් අගවිනිසුරුවරයා කියන්නේ මේ දිවුරුම්දිම පිළිබඳ ප්‍රශ්නයක් ඇතොත් එය තීන්දු කළයුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් බවය. ඔහුට ඒ ගැන තීන්දු ගැනීමේ හැකියාවක් නැතිනම්, ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බවය.

අගවිනිසුරු “ඩේලි මිරර්” පුවත්පතට ප්‍රශ්නය විග්‍රහ කර තිබෙන ආකාරය අනුව පෙනී යන්නේ මේ දිවුරුම් දිම් දෙකම අගවිනිසුරුවරයාගේ ද උපදෙස් මත සිදුවූවක් බවය. එසේ වී තිබියදිත් අගවිනිසුරු කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාට ඒ ගැන තීන්දුවක් ගැනීමේ හැකියාවක් නැතිනම්, ඒ ගැන තමාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතු බවය.

මෙය අගවිනිසුරු ධුරය දරන සරත් නන්ද සිල්වා මහතාගේ පාලනය තුළ අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය පෙන්නුම් කරන තවත් එක් නිදර්ශනයක් පමණය. අධිකරණය මෙවැනි ඛේදජනක තත්ත්වයකට ඇද දැමීම ගැන ජනාධිපතිනිය වගකිවයුතු වුවත්, එම තත්ත්වය කුණුවෙන්නට ඉඩ දි බලා සිටීම ගැන අගමැතිවරයා ද වගකිව යුතුය. දැන් ඒ පාප කර්මය වෙනුවෙන් අගමැතිවරයාටම බරපතළ වන්දියක් ගෙවන්නට සිදුවී තිබීම දෛවය විසින් කරන ලද සරදමක් ලෙස සැලකිය හැකිය.

යන්නෙ කොහෙද? මල්ලෙ පොල්

ජනාධිපතිනිය ජනසන්නිවේදන අමාත්‍යාංශය තමන් වෙත පවරා ගැනීමෙන් පසුව රටට ගැලපෙන ස්වාධීන මාධ්‍ය පිළිවෙතක් නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ඇති කර තිබේ.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994දි බලයට ආවේ ජනමාධ්‍ය විෂයයට අදාළව ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ද අතේ ඇතිවය. ඇය බලයට පත් කරන ක්‍රියාවලිය තුළ ජනමාධ්‍යවේදින් ද වැදගත් භූමිකාවක් රගපෑවේය.

බලයට පත්වීමෙන් පසුව ජනමාධ්‍ය නිදහසට බාධා කරන නීති ගැන සොයා බලා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහාත්, ජනමාධ්‍යවේදින් පුහුණු කිරීම සඳහා පුහුණු ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් විශේෂඥ කමිටු දෙකක් ද පත් කළේය.

නීති ප්‍රතිසංස්කරණ සඳහා පත් කළ කමිටුව ආර්.කේ.ඩබ්. ගුණසේකර, මහාචාර්ය ශිරානි බණ්ඩාරනායක, රොහාන් එදිරිසිංහ, ලුෂන් රාජකරුණානායක, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජාවුඩ් යුසුද්‍ය්, කේ. මරියමුත්තු, වික්ටර් ගුණවර්ධන, සූරීයා වික්‍රමසිංහ යන අයවලුන්ගෙන් සමන්විත විය.

ජනමාධ්‍යවේදින් පුහුණු කරන ආයතනයක් ගොඩනැගීමේ කමිටුව සමන්විත වූයේ ආචාර්ය ගාමිණී කොරයා, මනික්ද සිල්වා, මර්වින්ද සිල්වා, බී.එච්.එස්. ජයවර්ධන, එඩ්මන්ඩ් රණසිංහ, ඒ. සිවනේසසෙල්වම් හා ආචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර යන අයගෙනි.

මේ කමිටු දෙකම ඉතා වැදගත් නිර්දේශ ඇතුළත් වාර්තා දෙකක් ජනාධිපතිනිය වෙත ලබා දෙන ලදි.

නීති ප්‍රතිසංස්කරණ කමිටුව, ඇති කළ යුතු නීති ප්‍රතිසංස්කරණ මොනවාද යන්න හා ඒවා වෙනස් කළ යුත්තේ කෙසේද යන්න නිර්දේශ කළේය. එය සාපරාධී අපහාස නීතිය අහෝසි කිරිමේ හෝ එම නීතිය ප්‍රතිසංස්කරණය කිරිමේ වැදගත්කම ගැනත් අධිකරණ අපහාස නීතිය ප්‍රතිසංස්කරණය කිරිමේ අවශ්‍යතාවත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය ප්‍රතිසංස්කරණය කිරිමේ අවශ්‍යතාව ගැනත් පුවත්පත් මණ්ඩල ක්‍රමය අහෝසි කොට ස්වාධීන පුවත්පත් මණ්ඩල ක්‍රමයක් ඇති කිරිමේ අවශ්‍යතාව ගැනත් තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කෙරෙන තොරතුරු පනතක් නීති ගතකිරිමේ අවශ්‍යතාව ගැනත් සිය නිර්දේශ ඉදිරිපත් කළේය. ලේක්හවුසියේ අයිතිය පුළුල් කිරිමේ අවශ්‍යතාව ගැන ද ආණ්ඩුවේ විද්‍යුත් ජනමාධ්‍ය ආයතන ස්වාධීන පාලන අධිකාරියක් යටතට ගෙන ඒමේ අවශ්‍යතාව ගැන ද ඉතා වැදගත් නිර්දේශ රාශියක් ඉදිරිපත් කරන ලදි.

ජනමාධ්‍යවේදින් පුහුණු කිරිමේ ආයතනයක් ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ද ඒ පිළිබඳව ඉතා වැදගත් නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළේය.

එහෙත් පොදු පෙරමුණු ආණ්ඩුව තමන් විසින්ම පත් කළ මෙම විශේෂඥ කමිටු දෙක ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනමාධ්‍ය නිදහස දැඩි ලෙස මර්දනය කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ මේ විෂයයට අදාළව සිදු කරන ලද එකම යහපත් වෙනස ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ පාර්ලිමේන්තුව විසින් නඩු අසා වරදකරුවන්ට දඬුවම් පැමිණ වීමට පාර්ලිමේන්තුවට ලැබී තිබුණු බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබෙන ලෙස එම නීතිය සංශෝධනය කිරීම පමණය. අනෙක් හැම ක්ෂේත්‍රයකදිම එය ජනමාධ්‍ය නිදහස නොසලකා ක්‍රියාකරන දඩබ්බර පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. සාපරාධී අපහාස නීතිය තමන්ගේ සතුටට හේතු නොවන පුවත්පත් කතුවරුන් පීඩාවට පත්කිරීම සඳහා උපරිම මට්ටමින් යොදා ගත්තේය. පුවත්පත් මණ්ඩලය ද දේශපාලන අතකොලුවක් ලෙස යොදාගත්තේය. තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කිරිමෙන් වැළකී සිටියේය. සිය මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරීදි එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අයිතිය පුළුල් කිරිමෙන් වැළකී එම පුවත්පත් සමාගම ද සිය පක්ෂ ව්‍යාපාරයේ දේශපාලන අතකොලුවක් බවට පත්කර ගන්නා ලද අතර, ආණ්ඩුවේ විද්‍යුත් ජනමාධ්‍යය ද උපරිම ලෙස දේශපාලන අතකොලුවක් ලෙස යොදා ගත්තේය.

ජනමාධ්‍යවලින් එල්ල වෙන විවේචන නොඉවසන තත්ත්වයක් යටතේ ජනමාධ්‍යවේදින් කෙරෙහි වෛර සහගත ආකල්පයකින් යුතුව ගැටුම් ඇති කරගන්නා තැනකට තල්ලු වූයේය. එකම අවස්ථාවක වැඩිම ජනමාධ්‍යවේදින් පිරිසකට පහරදි ඔවුන්ගේ වටිනා කැමරා උපකරණ කොල්ලකාගත් ආණ්ඩුව ලෙස ඉතිහාසයට එකතුවී ඇත්තේ පොදු පෙරමුණු ආණ්ඩුවයි. රෝහණ කුමාර ඝාතනය කිරිමේ චෝදනාව එල්ල වී තිබුණේ ද පොදු පෙරමුණු ආණ්ඩුවටය.

ඉන්පසු බලයට එන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි වුවත්, එය ජනමාධ්‍ය විෂයයේදි වැඩි කෑගැසීමකින් තොරව ඉතා වැදගත් මූලික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කළ ආණ්ඩුවක් ලෙස සැලකිය හැකිය.

එය සාපරාධී අපහාස නීතිය නීති පොතෙන් ඉවත් කළේය.

ආණ්ඩුවේ සෘජු දේශපාලන අතකොල්වක් ලෙස ක්‍රියාත්මක වූ පුවත්පත් මණ්ඩල ක්‍රමය වෙනුවට ස්වාධීන පැමිණිලි කොමිසමක් ඇති කරගැනීමට අනුබල දුන්නේය.

මේ විෂයයට අදාළව එය විසින් කරන ලද ඉතාමත් විප්ලවකාරි ප්‍රතිසංස්කරණය ලෙස සැලකිය හැක්කේ ඉතාමත්ම හොඳ තත්ත්වයේ තොරතුරු පනතක් කෙටුම්පත් කිරීමය. එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන අතර, ජනාධිපතිනිය ද එය අනුමත කිරීම රටේ වාසනාවක් ලෙස සැලකිය හැකිය. එය නීතිගත වුවහොත් වහාම නොවුවත් රටේ ඇති කළ හැකි ප්‍රතිඵල ඉතාමත් විප්ලවකාරිය. විශේෂයෙන්ම කවර ආණ්ඩුවක් බලයට පත්වුවත් ඒ ආණ්ඩුව විසින් හෝ ආණ්ඩුවේ ආයතන විසින් කරනු ලබන සියලු ගනුදෙනු පාරදෘශ්‍ය තත්ත්වයකට ගැනීමට හේතුවනු නොඅනුමානය.

කර්තෘ සංසදය, ප්‍රකාශකයින්ගේ සංගමය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන ආයතන තුන එකට එකතු වී මාධ්‍ය ආයතනයක් (Press Institute) ඇති කරගෙන තිබෙන අතර, දැනටමත් එම ආයතනය යටතේ පුවත්පත් පැමිණිලි කොමිසමක් ද ඇති කර තිබේ. ඒ යටතේ ජනමාධ්‍යවේදින් පුහුණු කරන ජනමාධ්‍ය විද්‍යාලයක් ද (The Sri Lankan College of Journalism) ගොඩනැගෙමින් පවතී. මේ විද්‍යාලය ඉතා උසස් මට්ටමේ දේශීය විදේශීය විශේෂඥ පිරිසකගේ උපදෙස් හා නිර්දේශ මත නිර්මාණය කර ඇති අතර, එම විද්‍යාලය සිය කටයුතු ජනවාරි වලදි සිට ආරම්භ කිරීමට ද නියමිතය.

ජනමාධ්‍ය ආයතනය සඳහා (Sri Lanka Press Institute) සුදුසු ගොඩනැගිල්ල ලෙස රූපවාහිනී අභ්‍යාස විද්‍යාල ගොඩනැගිල්ල හඳුනාගෙන තිබුණු අතර, දැනට කිසිදු ඵලදායී කාර්යයක් සිදු නොවන එම ආයතනය ජනමාධ්‍ය ආයතනය සඳහා බදු පදනමක් මත පවරාදිමට ආණ්ඩුව එකග වී සිටිය ද ජනාධිපතිනියගෙන් එල්ල වූ විරෝධය නිසා පෞද්ගලික ගොඩනැගිල්ලක් බදු ගැනීමට ආයතනයට සිදුවිය.

කර්තෘ සංසදය ජනමාධ්‍යවේදින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කර තිබෙන අතර, එය සකස් කිරිමෙන් පසුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තත්ත්වයකට ගැනීම සඳහා එය නැවත වරක් සංශෝධනය කිරීමට ද සිදුවිය. දැනට පැමිණිලි කොමිසම පුවත්පත්වලට එරෙහිව ලැබෙන පැමිණිලි සඳහා පදනම් කොටගෙන ඇත්තේ එම ආචාර ධර්ම පද්ධතියයි.

ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කර තිබෙන්නේ ඉදිරියට ගලායමින් තිබෙන මෙම ප්‍රවණතාව මුළුමනින් නොසලකාය. තමන් 94දි නිදහස් ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම සඳහා පොරොන්දු වූ කිසිවක් ඉටු නොකරන තත්ත්වයක් යටතේ තමන්ගේ න්‍යාය පත්‍රය වැඩි කෑකෝ ගැසීමකින් තොරව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාවට නගමින් තිබීම නිසා ජනාධිපතිනිය විසින් ඇති කරගෙන තිබෙන නොසතුට මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුවූවා විය හැකිය.

කාර්ය සාධක බලකායට පුද්ගලයන් පත්කිරිමේදි ජනමාධ්‍යවේදින්ගේ සංවිධානවලින් කිසිම අදහස් විමසීමක් කර නැති අතර, පුද්ගලයින් නම් කිරීම සිදුවී ඇත්තේ ඉතාමත් හිතුවක්කාරි ආකාරයටය. කර්තෘ සංසදයේ සාමාජිකයන් තිදෙනෙකු ද (අජිත් සමරනායක, සිරි රණසිංහ හා ගාමිණී සුමනසේකර) ජනාධිපතිනියගේ කාර්ය සාධක බලකායට ඇතුළත්ය. තමාට කර්තෘ සංසදයේ සභාපති වශයෙන් සංසදයේ අනුමැතියකින් තොරව කාර්ය සාධක බලකායට සහභාගි විය නොහැකි බව සිරි රණසිංහ ජනාධිපතිනිය වෙත දැනුම් දි තිබෙන බව ද කියනු ලැබේ. ජනාධිපතිනිය ගොඩනගා තිබෙන කාර්ය සාධක බලකාය දැනට ගොඩනගා තිබෙන මෙම ආයතන ක්‍රමය නොසලකා ඒවා බිමට සමතලා කොට එහි ඇට කටු මත නව ආයතන ක්‍රමයක් ඇති කළ යුතුයි කියන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළහොත් ඒ නිසා සිදුවිය හැකි විනාශය සුළුපටු නැත. ගොඩනැගෙමින් තිබෙන ආයතන ක්‍රමයේ අඩුපාඩුකම් තිබිය හැකිය. ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙළක් මිස, එම ආයතන ක්‍රමය කඩා බිඳ දමා ඉදිරියට යන පිළිවෙතක් යහපත්විය නොහැකිය.

දැනට අප ඉදිරියේ තිබෙන්නේ නිදහස් ජනමාධ්‍ය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ ප්‍රශ්නයක් නොව, තිබෙන ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු නොකිරීම පිළිබඳ ප්‍රශ්නයකි. කර්තෘ සංසදයේ ආචාර ධර්ම ප්‍රතිපත්ති ඉතා ප්‍රශංසනීය තත්ත්වයක ඇතත්, බොහෝ පුවත්පත් ඒ ප්‍රතිපත්ති රාමුව තුළ ක්‍රියා නොකරයි. එම ප්‍රතිපත්ති රාමුව මුද්‍රිත ජනමාධ්‍යවලට සීමාවී තිබීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතත්, සියලු දෙනා ඇතුළත් වන ආකාරයට එය පුළුල් කරගැනීම අමාරු නැත.

ජනමාධ්‍ය විෂයෙහි පවත්නා දූෂිත තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ ජනමාධ්‍ය සතු සමාජ වගකීම පිළිබඳ අර්ථකතනයකට යමින් ජනමාධ්‍යවේදින් හා ජනමාධ්‍ය ආයතන ඒ වගකීමෙන් බැහැරව ක්‍රියාකරමින් තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නය ගැන අවංකව කරුණු සොයා බලන තැනකට යාමෙනි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනමාධ්‍ය විෂයෙහිලා ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් ඇති කළ ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි වුවත්, ආණ්ඩුවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේ යැයි කිව නොහැකිය. චන්ද්‍රිකා පාලනය තුළ ඒ තත්ත්වය වඩා නරක තත්ත්වයක පැවති බව ද ඒ සමග අමතක කළ නොහැකිය.

ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතන සඳහා ස්වාධීන පාලන අධිකාරියක් ඇති කිරීම ඒ ප්‍රශ්නයට තිබෙන නිවැරදි පිළිතුර වේ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට මේ විෂයයට අදාළව අවංකව යමක් කරනවා නම් කරන්නට ඉතිරිවී තිබෙන්නේ ද එයයි. ඒ සඳහා තමන් විසින්ම 1994 දි පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇති ආකාරයට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අයිතිය පුළුල් කළ හැකිය. ආණ්ඩුවේ විද්‍යුත් ජනමාධ්‍ය ආයතන සඳහා ස්වාධීන පාලන අධිකාරියක් ඇති කළ හැකිය.

රට ජෝන් බාස්ට

ආරක්ෂාව සඳහා සටන් කරන තැනක සිටි ජනාධිපතිනිය මේ වනවිට ඉන්නේ පහර දෙන තැනකය. ඒ සමග අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂාව සඳහා සටන් කරන තැනකට ගෙන ඒමට ඇය සමත් වී තිබෙන බව ද පෙනේ.

ජනාධිපතිනිය අමාත්‍යාංශ තුනක් තමන් වෙත අත්පත් කරගැනීමේ වරද කුමක් වුවත් ආණ්ඩුව ඒ මගින් බෙලහීන තත්ත්වයකට ඇද දැමීමට ජනාධිපතිනිය සමත්ව තිබෙන අතර, මේ තත්ත්වයෙන් තමන්ට වාසිදායක වෙනසක් ඇති කරගැනීමේ හැකියාවක් අගමැති රනිල් වික්‍රමසිංහට තිබෙන බවක්ද පෙනෙන්නට නැත.

අගමැතිගේ සාම වැඩපිළිවෙළ ඉතාමත් අකාර්ෂණීය පෙනුමකින් යුතු වුවත්, තමන් හා ජනාධිපතිනිය අතර පැවති ගැටුමේදි යථාර්ථවාදි දැක්මක පිහිටා ක්‍රියාකිරීමට අගමැතිවරයා ආරම්භයේ සිටම අසමත් විය. ජනාධිපතිනියගේ ශක්තියේ ප්‍රධාන උල්පත වූයේ ව්‍යවස්ථාව නොව අධිකරණයයි. අධිකරණයේ පාලනය අපක්ෂපාත පුද්ගලයෙකු අත තිබෙනවා වෙනුවට ජනාධිපතිනියට පක්ෂපාත පුද්ගලයෙකු අත තිබෙන්නට ඉඩ හැරිම නිසා ව්‍යවස්ථාව තමන්ගේ වාසියට හේතුවන ලෙස අර්ථ දක්වා ගැනීමේ හැකියාවේ වාසිය ජනාධිපතිනියට ලැබී තිබුණි. ඒ තත්ත්වය තමන් කෙරෙහි පමණක් නොව මුළු රට කෙරෙහි ද විනාශකාරි ප්‍රතිඵල ඇති කිරීම හේතුවිය හැකි බව තේරුම් ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ අසමත් විය. අගවිනිසුරුවරයාට එරෙහිව තමන් ඉදිරිපත් කළ පළමු දෝෂාභියෝගය කුණුවෙන්නට ඉඩ හැර අගමැතිවරයා බලා සිටියේය. ඉන්පසු වැඩේ වරදින්නට යන බව පෙණුනු විට බොහෝ ප්‍රමාද වී වැරදි වෙලාවක අගවිනිසුරුවරයාට එරෙහිව තවත් දෝෂාභියෝගයක් ඉදිරියට ගෙනාවේය. ඊට එරෙහිව ක්‍රියාවට නගන ලද මහා සන්දර්ශනයෙන් පසුව එම දෝෂාභියෝග වැඩපිළිවෙළ ද ඉදිරියට ගෙනයාමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියකට ආණ්ඩුව තල්ලු වූයේය. දැන් අගවිනිසුරුවරයා කියන්නේ ජනාධිපතිනිය තමන් ඉදිරියේ 2000 නොවැම්බර්වලදි ද, දිවුරුම් දුන් බවය. ඉන් අනියම් ලෙස කියන්නේ ජනාධිපතිනියට 2005 වසර අවසන් වන තෙක් නොව, 2006 වසර අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමේ අයිතිය ඇති බවය. ඒ අනුව එය අගමැතිගේ “මම 2005 අවසානයේදි ජනාධිපති වෙමි” යි කියන සිහිනය ද බොඳ කිරීමට හේතුවී තිබේ.

අගමැතිගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ වී තිබුණේ සාම වැඩපිළිවෙළ ඔස්සේ අල්ලාගෙන සිටින පිළිවෙතක් මගින් 2005දි ජනාධිපතිකම ලැබීමය. මෙම සමස්ත උපාය මාර්ගික වැඩපිළිවෙළ ව්‍යර්ථ කිරීමට ජනාධිපතිනිය සමත් වී තිබෙන අතර, දැන් ඇතිවී තිබෙන නව බලතුලනයේදි තමන්ට වාසිදායක වෙනසක් ඇති කරගැනීමට අවශ්‍ය දැක්මක් අගමැතිවරයාට තිබෙන බවක් ද පෙනෙන්නට නැත. ඒ නිසා නැවත ජනාධිපතිනියට ජයග්‍රාහී තත්ත්වයක් ඇති කරගැනීමට ඉඩක් නැතත්, ආණ්ඩුවට ද ජයග්‍රාහී තත්ත්වයක් නැවත ඇති කරගැනීමේ හැකියාවක් නොපවතී. ඒ නිසා විය හැකිව තිබෙන්නේ මේ නායක දෙපළ පමණක් නොව, මුළු රට ද ඉදිරි ගමනක් නැති බොහෝ කලක් එක තැනක පල්වෙන තත්ත්වයකට ඇද වැටීමය.