නිසරු නායකයින් නිසා වැනසෙන රටක්

October 5, 2003
Publication:
Prompted by commemorations of J.R. Jayewardene, S.W.R.D. Bandaranaike and Sirimavo Bandaranaike, Ivan sets out what makes a great leader and assesses every head of government since independence, from D.S. Senanayake to Chandrika Kumaratunga, finding none who qualifies. Contrasting Nehru, Mahathir Mohamad, Chandrababu Naidu and Lee Kuan Yew, who wrote books setting out their vision, he blames the lack of internal party democracy, family dominance and the belief that a leader must be Sinhala, Buddhist and Govigama.

පසුගිය මාසය තුළ පමණක් සමරනු ලැබූ හිටපු ජන නායකයින් ගණන තිදෙනෙකි.

(ජේ.ආර්.ජයවර්ධන, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා සිරිමා බණ්ඩාරනායක) ජන නායකයින් ගෞරවයෙන් සමරනවා විනා ඔවුන්ගේ කාර්ය භාරයන් විවේචනාත්මක ඇගයීමකට ලක්කිරිමේ පුරුද්දක් අපට නැත.

දේශපාලන තලයේ පවත්නා හා පැවති හිස් බව රටේ පවත්නා අඳුර කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයකි. මේ හිස් බව සියලු දේශපාලන පක්ෂෂවලටද, දේශපාලන නායකයින්ටද ආවේණික පොදු ලක්ෂෂණයක් වන අතර නිදහසින් පසුව එක්තරා ප්‍රමාණයකට හෝ ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකිය හැකි ජන නායකයින් බිහි නොවීම ද එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. කාලය හා අවකාශය විසින් නියම කළ සීමා සහිතකම් තිබියදිත් දේශපාලන ගැඹුරක් පැවති එකම දේශපාලන ව්‍යාපාරය සම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය.

ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකිය හැකි දේශපාලන නායකයින්ට තම රට මුහුණ දි තිබෙන ගැටලු පිළිබඳව හා ඒ ගැටලු ජය ගනිමින් ඒ රටේ ජනතාවගේ ජීවිත යහපත් තත්ත්වයකට පත් කිරිමෙහිලා ශක්තිමත් දැක්මක්ද, ඒ දැක්ම ක්‍රියාත්මක කිරිමෙහිලා මනා ඇප කැපවීමක්ද තිබිය යුතුය. ශ්‍රේෂ්ඨ ජන නායකයින් කිසිවිටකත් දැනුම ඇති දක්ෂෂයන්ට බිය වන්නේ නැත. දක්ෂෂතා ඇති අය ඒකාග්‍ර කොට සිය අරමුණ ජය ගැනීම සඳහා ඔවුන් උපරිම ලෙස යොදා ගනී. ශ්‍රේෂ්ඨ ජන නායකයින් සිය දේශයේ ජනයා වර්ගය, කුලය ආගම භාෂාව වැනි සාධක මත බෙදා වෙන් කොට ඒ මත සමහර ජන කණ්ඩායම්වලට අඩු සැලකිලි හා තවත් සමහර ජන කණ්ඩායම්වලට වැඩි සැලකිලි දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත. ඒ සියලු දෙනා සමානකොට සලකන පිළිවෙතක් තුළ ජාතික ඒකග්‍රතාවක් සඳහා ක්‍රියා කරයි. එසේම ශ්‍රේෂ්ඨ ජන නායකයින් තම හිතට එකගව, තිබෙන මහජන මතය වෙනස් කිරීම සඳහා ක්‍රියාකරනවා විනා මහජන මතයේ සිරකරුවකු ලෙස කරන්නේ නැත. ශ්‍රේෂ්ඨ ජන නායකයා මහජනයාගේ විශ්වාසය හා ගෞරවය දිනා ගනිමින් ඔවුන්ගේ ද සහය ඇතිව ඔවුන්ගේ හිත සුව පිණස නව ලොවක් ඔවුන්ට නිර්මාණය කර දෙන නිර්මාපකයෙකි. ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු ඇතිකරන බලපෑම ඔහුගේ මරණයෙන් පසුව බොහෝ කලක් යන තෙක් ඒ රට කෙරෙහි සේම රටේ ජනතාවගේ දෘෂ්ටිය කෙරෙහි ද බලපායි.

ඩී.එස්

නිදහසත් සමග අපට ලැබුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ඩී.එස්. සේනානානායකය. නිදහස සඳහා වන බලවත් ව්‍යාපාරයකින් තොරව බන්දේසියක තබා රටට නිදහස හිමි කරදුන් නායකයා වන්නේ ඔහුය. ඔහු ඒ සඳහා වන හෙට්ටු කිරීම සඳහා යොදා ගත්තේ ඉන්දියාවේ ජාතික නිදහස් ව්‍යාපාරය හා ලංකාවේ වාමාංශික ව්‍යාපාරයයි. මේ මොහොතේ ඉංග්‍රීසීන්ට පක්ෂෂපාත තමන් වැනි පුද්ගලයකු වෙනුවෙන් නිදහස ලබා නොදෙයි නම් නිදහස දිනාගැනීමේ ධජය වාමාංශික ව්‍යාපාරය අතට පත්ව ඉන්දියාවේ මෙන් නිදහස සඳහා වන බලවත් ව්‍යාපාරයක් මතුවීමට තිබෙන හැකියාව පිළිබඳව ඔහු විසින් කරන ලද අනතුරු ඇගවීම සලකා ශ්‍රී ලංකාවට නිදහස ලබාදිමට ඉංග්‍රීසින්ට සිදුවිය. ඔහු පොදු ජාතික සමගියක් වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු වුවත් වාමාංශික ව්‍යාපාරයේ වර්ධනය අකාමකා දැමීමේ අරමුණ වෙනුවෙන් ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් සීමා කළේය. එය සුළු ජාතීන්ට එරෙහිව නිදහසින් පසු බලයට පැමිණි රාජ්‍ය නායකයෙකු විසින් ගනු ලැබූ ප්‍රථම පියවර ලෙස සැලකිය හැකිය. ඔහු සමහර අංශවලින් ශූර දේශපාලකයෙකු ලෙස සැලකිය හැකි වුවත් වියළි කලාපයේ ගොවි ජනපද ව්‍යාපාර සීමාවෙන් ඔබ්බට ගිය ශක්තිමත් දැක්මක් ඔහුට නොතිබුණි. පක්ෂෂ නායකත්වය පියාගෙන් පසු පුතාට යන ක්‍රමයක් රටට හඳුන්වාදෙන ලද ප්‍රථමයා ලෙස සැලකිය හැක්කේ ද ඩී.එස්.සේනානායකය.

ඩඩ්ලි හා සර් ජෝන්

ඩඩ්ලි සේනානායක හා සර් ජෝන් කොතලාවල යන දෙදෙනාම ශ්‍රී ලංකා දේශපාලනය කෙරෙහි සැලකිය යුතු තරම් බලපෑමක් ඇති කළ දේශපාලනඥයින් ලෙස සැලකිය නොහැකිය. පළමුවැන්නා ප්‍රසන්න මෘදු ගතිගුණ ඇති අහිංසක පුද්ගලයෙකු ලෙස ද දෙවැන්නා සෘජු ගතිගුණ ඇති ජන නායකයෙකුට තරම් නොවන සෙල්ලක්කාර ගතිගුණ ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකිය හැකිය.

බණ්ඩාරනායක

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වඩාත්ම විවාදයට හේතුවන හා වැඩිම කීර්තියක් හිමි කරගත් නායකයා ලෙස සැලකිය හැකිය. ඉංග්‍රීසි යුගයේදි ස්වදේශකයින් අතර පළමු පුරවැසියාගේ ස්ථානය හිමි කරගෙන සිටියේ බණ්ඩාරනායකගේ පියාය. අලුතෙන් ධනවතුන් බවට පත්වෙමින් සිටි සේනානායකවරුන් සිටියේ ඊට බොහෝ පහළ තැනකය. එහෙත් ඩී.එස්. සේනානායක තම පියා හැඳි උස තොප්පිය හා වලිග කබාය ඇඳගෙන රටේ පළමු තැන හිමිකරගෙන සිටි තත්ත්වයක් ඉදිරියේ බණ්ඩාරනායක පළමු තැන හිමි කරගැනීම සඳහා රෙද්ද බැනියමට මාරු වෙමින් සාමාන්‍ය ජනතාවට බර තබන ක්‍රියාමාර්ගයක් මගින් පළමු ස්ථානය හිමි කර ගැනීමේ උත්සාහයක නිරත වී යැයි කිව හැකිය. ඔහු රටේ බිහි වූ සියලු ජන නායකයින් අතරින් වඩාත්ම ආකර්ශනීය ජන නායකයා වනවා සේම දුර්වලම ගතිගුණ ඇති නායකයා ලෙස ද සැලකිය හැකිය. ඔහු රටේ තිබුණු ජාතිභේදවාදි ප්‍රශ්නයට තිබෙන විසඳුම පෙඩරල් ආණ්ඩුක්‍රමයක් ඇති කිරීම බව තේරුම් ගෙන සිටි ජන නායකයෙකු වුවත් බලයට පත්වීමේ පහසුව සලකා සිංහල ජාතිවාදි ප්‍රවාහයේ ප්‍රධාන කොටස්කාරයකු බවට පත්විය. ආණ්ඩු බලය ලැබීමට ඒ මාර්ගය සුදුසු වුවත් ඒ මාර්ගයෙන් ආණ්ඩු බලය පවත්වාගෙන යා නොහැකි බව තේරුම් ගත් විට තමන් විසින් ඇති කරන ලද අන්තවාදි නීති නිසා අසහනයට පත්ව සටන් කරන තැනකට තල්ලු වෙමින් සිටි දෙමළ නායකයින් සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. එහෙත් ඒ සඳහා ඊට පක්ෂෂපාතී ජනමතයක් ඇති කිරීම සඳහා තමන්ට තිබූ වාග් චතුරත්වය ප්‍රයෝජනයට නොගෙන නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අවසානයේ තමන් බලයට පත් කළ ජනතා බලවේගයන් තමන් ඇති කර ගත් ගිවිසුමට එරෙහිව නැගී සිටින විට ඔවුන් සතුටු කිරීම සඳහා තමන් ඇති කර ගත් ගිවිසුම ඉරා දැම්මේ ය. ජාතිභේදවාදය නමැති අශ්වයාගේ පිට නැගී බලයට පැමිණි බණ්ඩාරනායකයව සිය පිටින් බිමට ඇද දමා කුරවලින් පාගා මරා දමන ලද්දේ ද ඒ අශ්වයාම විසිනි. මහජන මතය වැරදි බව පෙනි පෙනී මහජන මතය නිවැරදි කිරීම පිණිස ක්‍රියා නොකොට බලය ලබාගැනීමේ අරමුණ ජයගැනීම සඳහා මහජන මතයේ සිරකරුවකු බවට පත්වන නායකයෙකුට සිදුවිය හැකි විනාශය වඩාත්ම හොඳින් මූර්තිමත් කළ නායකයා ලෙස සැලකිය හැක්කේ ද බන්ඩාරනායක ය.

සිරිමාවෝ

බණ්ඩාරනායකගේ ඇවෑමෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිය පක්ෂෂ නායකත්වයට එන්නේ පක්ෂෂ නායකත්වය ලැබිය යුතුව තිබූ සී.පී. ද සිල්වා යටපත් කොටගෙනය. සී.පී. ද සිල්වාට පළපුරුද්ද හා උගත්කම තිබුණත් ඔහු වංශවතකු නොවීය. බණ්ඩාරනායක මැතිනියට උගත්කමක්, පළපුරුද්දක් නොතිබුණත් වංශවත් බව තිබුණි. සී.පී.ද සිල්වා යටපත් කොටගෙන සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නැගීම රටේ ජාතික නායකයා වීමට සිංහලයකු හෝ බෞද්ධයකු වනවාට අතිරේකව වංශවත් බවද අත්‍යවශ්‍ය කොන්දේසියක් වේය යන අදහස බලවත් ලෙස සංකේතවත් කළ අවස්ථාවක් විය. බණ්ඩාරනායක මැතිනිය සුවිශේෂ දක්ෂෂතා ඇති නායිකාවක් නොවූවත් ඇය අදක්ෂෂ නායිකාවක් ලෙස ද සැලකිය නොහැකිය. ඇගේ දිවංගත ස්වාමිපුරුෂයා දේශීය වශයෙනුත්, අධිරාජ්‍ය විරෝධී බලවේගයන් අතරත් හිමිකරගෙන තිබූ විශාල පිළිගැනීම ද මෙවැනි තනතුරකට පත් වූ ප්‍රථම කාන්තාව ඇය වීම ද යන හේතු නිසා අධිරාජ්‍ය විරෝධී බලවේගයන් අතර මනා පිළිගැනීමක් ඇති දේශපාලන චරිතයක් බවට පත්වෙමින් එදා ලෝක බලය සඳහා මහා බලවතුන් දෙදෙනා අතර පැවති අරගලයේදි ඇමරිකානු විරෝධී පිළිවෙතක පිහිටා ක්‍රියාකරමින් ඒ ගැටුම තුළ ලබාගත හැකි උපරිම වාසි සිය රටට අත්පත් කරදිමට ඇය සමත්වුවාය. බණ්ඩාරනායක සාමාන්‍ය මහජනයාට බර තබා ක්‍රියා කරන, සාමාන්‍ය මිනිසුන්ගේ පක්ෂෂයක් ලෙස සැලකිය හැකි ශ්‍රීලනිප වැනි පක්ෂෂයක් ඇතිකළේ රටේ ප්‍රමුඛ තත්ත්වය හිමිකරගෙන සිටි සේනානායකවරුන් අභිබවා නැවත තමන් වෙත ප්‍රමුඛ තත්ත්වයක් හිමිකරගැනීමේ අරමුණ ඇතිව විය හැකි වුවත් ඔහු එය තම ඥාති වර්ගයාගේ ආධිපත්‍යයය යටතේ ක්‍රියා කරන පක්ෂෂයක් බවට පත් කළේ නැත. එය බණ්ඩාරනායක පවුලේ පක්ෂෂයක් බවට පත් කෙරුණේ බණ්ඩාරනායක මැතිනිය අතිනි. සිය පවුලේ අනුප්‍රාප්තිකයෙකු පළමු තැනට පත්වීමෙන් පසුත් විශ්‍රාම නොගොස් මුල් පුටුව පිළිබඳ පැවති ආශාව අත් නොහැර තවදුරටත් අඩු වැදගත්කමක් ඇති තනතුරක රැඳී සිටීම රාජ්‍ය නායිකාවක් වශයෙන් ඇය කෙරෙන් ප්‍රකාශ වූ ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැකිය.

ජේ.ආර්

ජේ.ආර් ජයවර්ධන නිදහසින් පසුව බලයට පැමිණි බලවත්ම දේශපාලන නායකයා වන අතර ඔහු ධූරදර්ශී බවේ ද ආත්මාර්ථකාමී බවේ හා කපටිකමේ ද අපූරු සංයෝගයක් ලෙස සැලකිය හැකිය. එජාපයට තිබුණු කුරුඳුවත්තේ පෙනුම ඉවත්කොට සාමාන්‍ය ජනයාගේ පක්ෂෂයක පෙනුම ලබාදුන් පුද්ගලයා වන්නේ ද ඔහුය. ඔහුට බලයට පැමිණිය හැකි වූයේ ජීවිතයේ මහලුවිය ඇරඹි පසුව ය. ඒ නිසා මනා අත්දැකීම් ඇති පරිණත නායකයෙකු ලෙස පෙනී සිටීමේ හැකියාව ලැබුණු අතර නායකත්වය සඳහා සමකාලීනයන්ගෙන් එල්ලවන බියක් පිළිබඳ හැගීමකින් තොරව සිය කණ්ඩායමේ එකම නායකයා ලෙස ක්‍රියා කිරිමේ හැකියාව ද ඔහුට ලැබුණි.

ශ්‍රී ලංකාවේ හැඩතල මුළුමනින් වෙනස් කිරීමට හේතු වන ලෙස එතෙක් වසා තිබූ රටේ දොරටු ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය නිර්භීතතාවයක් තිබුණ ද ඒ නිසා බැහැරින් ගලා එන දේවල් හරියාකාරව ස්ථානගත කරන විචක්ෂෂණ වැඩ පිළිවෙළක් ඔහුට නොතිබුණි. මහජන උත්සාහයකින් පෙරළිය හැකි රවුම් ගලක හැඩයක තිබූ ආණ්ඩුබලයට පහසුවෙන් පෙරළිය නොහැකි හතරැස් හැඩයක් ලබාදෙන ලද්දේ ඔහු විසිනි. ඒ මගින් ඔහු එතෙක් තිබූ සරල ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය වෙනස්කොට ප්‍රජාතන්ත්‍රවාදිත් නොවන, ඒකාධිපතිත් නොවන, ඒ දෙකෙහි මිශ්‍රණයක් ඇති කළේය. හුගාක් ලොකුවට සිතීමේ ගුණය ඊට පෙර රාජ්‍ය නායකයින් තුළ දක්නට නොලැබුණු විශේෂ ගුණයක් ලෙස ද සැලකිය හැකිය. ඔහු ඇති කළ නව ක්‍රමය තුළ ඒකාධිපති නායකයෙකුට ලැබෙන තරම් බලයක් ඔහුට ලැබුණත් ඔහු ඒ බලය බදාගෙන ක්‍රියා කරන පිළිවෙතක් අනුගමනය නොකළේය. සියලු බලතල කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට බෙදා දි ඔවුන් ක්‍රියා කරන ආකාරය දෙස විමසිල්ලෙන් බලා සිටින පිළිවෙතක් අනුගමනය කළේ ය. ඔහු දූෂිත පුද්ගලයෙකු නොවූව ද සිය පැවැත්ම සඳහා සමස්ත දේශපාලන ක්‍රමය ම දූෂිත බවට පත් කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් මිස පුද්ගලික උවමනාව සඳහා වස්තුව ඉපයීමට රාජ්‍ය බලය යොදා නොගත්තද සිය ගෝලබාලයින්ට උපරිම ලෙස වස්තුව උපයා ගැනීමට ඉඩ දෙන පිළිවෙතක් අනුගමනය කළේ ය. 1982 ජනාධිපතිවරණයෙන් පහසු ජයක් ලබා ගැනීමේ හැකියාව තිබියදි ඔහු සිය ප්‍රතිපක්ෂෂ නායිකාව කෙරෙහි අහේතුක බියක් ඇති කර ගනිමින් ඇගේ ප්‍රජා අයිතිය අහිමි කළේ ය. එය ඔහුගේ දැවැන්තභාවයට නොගැලපුණු දුර්වල ලක්ෂෂණයක් විය. ඔහු නිදහසින් පසු බිහි වූ සියලුම නායකයින් අතරින් හොඳම හා නරකම නායකයා ලෙස සැලකිය හැකි ය.

ප්‍රේමදාස

ප්‍රභූ පවුල් පසුබිමකින් පිටස්තරව අව වරප්‍රසාද පසුබිමක් ඇතිව බලයට පැමිණි එකම රාජ්‍ය නායකයා ආර්. ප්‍රේමදාසය. රෝහණ විජේවීරද අවවරප්‍රසාදිත සමාජ පසුබිමක් තිබිය දි රාජ්‍ය බලය පිළිබඳ අධිෂ්ඨානයකින් ක්‍රියා කළ නායකයෙකි. ඔහු ඒ සඳහා ප්‍රචණ්ඩ මාර්ගය තෝරාගන්නා විට ප්‍රේමදාස තෝරාගත් මාර්ගය වූයේ ජනසම්මත මාවතයි. සිංහල සමාජයේ ගොවිගම කුලයේ නොවන පුද්ගලයෙකුට රටේ නායකයා විය නොහැකි ය කියන විශ්වාසය විජේවීර එවැනි මාර්ගයක් තෝරා ගැනීම කෙරෙහි බලපෑවා විය යුතුය. පහසු මාර්ගය ඔස්සේ ප්‍රචණ්ඩ මාර්ගය තෝරාගත් විජේවීරට පුලූවන්කම ලැබුණේ රාජ්‍ය බලය අල්ලාගන්නා ආසන්න තත්ත්වයකට ඒම පමණක් වුවත් ප්‍රේමදාස ඊට වෙනස් ව තමන් තෝරාගත් ජනසම්මත මාර්ගය ඔස්සේ රාජ්‍ය බලය ලබා ගත්තේ ය. එහෙත් ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාව වන විට රටේ ලේ වැගිරෙන තත්ත්වයක් නොවී නම් ඔහුට ජය ලැබීමේ හැකියාවක් තිබුණේ ද හා එවැනි තත්ත්වයක් රටේ නොවී නම් ජනාධිපති අපේක්ෂෂකයා ලෙස තරග කිරීමට ඔහුට ඉඩ ලැබේ ද යන ප්‍රශ්නය මතු කළ හැකි ය.

බලයට පත්වීමෙන් පසු ද ප්‍රභූ පන්තිය තමන් යටපත් කිරීම සඳහා ක්‍රියා කරනු ඇතැයි කියන බිය නොකඩවා ඔහු තුළ පැවති අතර ඒ නිසාම ප්‍රභූ පන්තිය නියෝජනය කරන්නන්ට පහරදෙන පිළිවෙතකට යාම නිසා ඔවුන් ආත්මාරක්ෂෂාව සඳහා සටන් කරන තැනකට තල්ලුකර ගත්තේ ය. ඔහු තමන් කෙරෙහි මිස තම කැබිනට් සගයින් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කළ නායකයෙකු නොවිය. ඔහු සිය කැබිනට් සගයින් අතර බලතල බෙදාදෙන ක්‍රමයකට යනවා වෙනුවට සියලු බලතල තමන් වෙත තබාගනිමින් අමාත්‍යංශ ලේකම්වරුන් මගින් රට පාලනය කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය.

රාජ්‍ය නිලධාරි තන්ත්‍රය උපරිම ක්‍රියාකාරිත්වයකට යොමු කළ රාජ්‍ය නායකයා වන්නේ ද ඔහුය. එහෙත් නිලධර තන්ත්‍රයේ එම ක්‍රියාකාරිත්වය කෙරෙහි ඔහු පවත්වාගෙන ගිය සුපරික්ෂෂාකාරිත්වය සේම ඔවුන් ඔහු කෙරෙහි ඇති කරගෙන තිබුණු බිය ද බලපෑවේ ය. ඔහු බලය ට පැමිණියේ ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් නොසලකා ක්‍රියාකරන මුරණ්ඩු පාලකයෙක් ලෙස වුවත් ඔහු මරණයට පත්වූයේ තමන් ලැබූ ජයග්‍රහණය ස්ථාපිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදි හා මටසිළුටු පාලනයක් වෙත මාරුවෙමින් සිටි අවස්ථාවකදිය. අව වරප්‍රසාද තත්ත්වයක සිටි ජනයා කෙරෙහි ඔහු අවංක කැපවීමකින් ක්‍රියා කළේය. විරුද්ධවාදින්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ ඔහු විසින් ක්‍රියාවට නගන ලද ගම්බදට, ඇගලුම් කම්හල් ගෙනයන ව්‍යාපෘතිය ගම්බද සමාජයේ පහළම තත්ත්වයක සිටි කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කර ගැනීම සඳහා දෙන ලද බලවත් අත්වැලක් ලෙස සැලකිය හැකිය.

චන්ද්‍රිකා

චන්ද්‍රිකා කුමාරතුංග 77 න් පසු බලයට පැමිණි සියලු නායකයින් අතරින් රටට ඉතිරිවන කිසිවක්ම කිරීමට අසමත් වූ නායකයා ලෙස සැලකිය හැකිය. ඇය බලයට පැමිණියේ මව ප්‍රථම අවස්ථාවේදි බලයට ආ ආකාරයටම, බලයට පත්වීම සඳහා දරන කිසිම බලවත් උත්සාහයකින් තොරවය. ඇය රට පාලනය කළේ ද නින්දගම් හිමියකු සිය නින්දගම පාලනය කරන ආකාරයටය. බලයට එන්නට පෙර විධායක ජනාධිපති ක්‍රමය පිළිකෙව් කළ ඇය බලයට පැමිණීමෙන් පසුව තමන් අහෝසි කරන බවට පොරොන්දු වූ ඒ ක්‍රමය අහෝසි කරනවා වෙනුවට එය ආරක්ෂෂා කරමින් එයින් උතුරා යන බලයේ රස උපරිම ලෙස උරා බීවාය. බොහෝ අංශවල දි ඇයගේ පාලනය දරදඬු නොවූවත් මැතිවරණ විෂයයේදි පමණක් ඇගේ පාලනය ඉතාමත් දරදඬු විය. එජාප 1977 න් පසුව රටට හඳුන්වාදි තිබූ ආයුධ සන්නද්ධව ඡන්ද පොළවල්වලට කඩාවැදි බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවන ක්‍රමය වෙනුවට වඩා සියුම් ලෙස ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන ක්‍රමයක් ඇය රටට හඳුන්වා දුන්නාය. එජාප පවත්වාගෙන ගිය විරුද්ධවාදින් එක පොදියට ගෙන පහරදෙන පිළිවෙත වෙනුවට තෝරාගත් පුද්ගලයින් පමණක් ඉලක්ක කොට පහර දි සමූහයා නිහඬ කරන වඩා සියුම් ක්‍රමයක් ඇය රටට හඳුන්වා දුන්නාය. ජාතික දේශපාලනයේ පාතාල ලෝකයේ කාර්යභාරය දෙගුණ තෙගුණ කළ නායිකාව වන්නේ ද ඇයයි. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන හයෙන් පහේ බලයක් ඇතිව කළ දේවල් එක වැඩි ඡන්දයක් ඇතිව පමණක් කරන්නට යාම නිසා තමන් තිබූ පාර්ලිමේන්තු බලය අහිමි කරගත් නායිකාව ලෙස ද සැලකිය හැකිය.

මෙසේ නිදහසින් පසුව ඩී.එස්. සේනානායකගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග දක්වා බලයට පැමිණි කිසිම නායකයෙක් විශේෂ ගණයෙහිලා සැලකිය නොහැකිය. ඔවුන් අතරින් ඇතැමෙක් අන් අයට වඩා දක්ෂෂ නායකයින් ලෙස ද තවත් සමහර අය එතරම් දක්ෂෂ නොවන නායකයින් ලෙස ද සැලකිය හැකි වුවත් ඒ කිසිවෙක් රට පිළිබඳ මනා ඉදිරි දැක්මක් ඇතිව ඒ දැක්ම ක්‍රියාවට නැගීම සඳහා කැපවීමකින් ක්‍රියාකළ නායකයින් ලෙස සැලකිය නොහැකිය. ශ්‍රේෂ්ඨ ජන නායකයින් ඔහු ජීවත්වන කාලය කෙරෙහි පමණක් නොව ඔහුගේ මරණයෙන් පසු ද කිසියම් දිර්ඝ කාලයක් රට කෙරෙහි බලපායි. එවැන්නෙකු ඇති කරන සම්ප්‍රදායයන් ඔහුගේ මරණයෙන් පසු ද බොහෝ කලක් යන තෙක් ක්‍රියාත්මක වේ. රටේ හැම අංශයකම රජ කරන අපිළිවෙළ විනයක් නැතිකම, අලසකම, දූෂණය හා නාස්තිය ද කියාපාන්නේ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකිය හැකි නායකයෙකුගෙන් පෝෂණය වී නැති රටක් බව නොවේද?

ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකෙන නායකයින් රට පිළිබඳව වන සිය දැක්ම තමන් බලයට එන තෙක් තමන්ගේ ඔළු තුළ සගවාගෙන සිටින්නේ නැත. රට පිළිබඳ තමන් දරන අදහස්, විධිමත් ලෙස කරුණු විග්‍රහ කරන පොතක් ලෙස හෝ පොත් කිහිපයක් ලෙස හෝ ජනතාව අතට පත් කරයි. නේරුගේ The Discovery of India නමැති කෘතිය ඉන්දියාව මුහුණ දි තිබෙන ගැටලු අලලා ලියැවුණු විශිෂ්ට විග්‍රහයකි. මැලේසියාවේ මහතීර් මොහොමඩ් එරට මුහුණ දි තිබෙන ගැටලු හා පාලකයින් රට පවත්වාගෙන යමින් තිබූ ආකාරය විවේචනය කරමින් 1972 දි කෘතියක් පළ කළේය. ඔහුගේ එම කෘතිය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවූ නිසා එවකට බලයේ සිටි ආණ්ඩුවට එම කෘතිය තහනම් කිරීමට පවා සිදුවූයේ ය. මහතීර් මොහොමඩ් බලයට පත්වීමෙන් පසුව රට ඉදිරියට ගෙන ගියේ ඒ කෘතියට ඇතුළත් දර්ශනය මත පිහිටාය. ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති චන්ද්‍රබාබු නායිර් තමන් ලියා පළ කළ Plain Speaking නමැති කෘතිය විද්‍යුත් ආන්ද්‍ර ප්‍රදේශයක් සඳහා තමන් දුටු සිහිනය විස්තර කරන කෘතියකි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ද හරබර පොත් ගණනාවක් ලියා පළ කළ රාජ්‍ය නායකයෙකි.

ලී ක්වාන් යූ, සිරිතක් වශයෙන් සිය විග්‍රහයන්හිදි අසාර්ථක රටක් සඳහා නිදර්ශන කොට ගන්නේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව ඔහු දකින්නේ ජනවාර්ගික ආවේගයන් මනා ලෙස කළමනාකරණය කිරිමෙහිලා දක්වන ලද අසාර්ථකභාවය නිසා විනාශයට පත් වූ රටක් වශයෙනි. එහෙත් ඇත්ත වශයෙන් ම අසාර්ථක වී ඇත්තේ ඒ විෂයේදි පමණක් නොවේ. අන් හැම විෂයකදි ම ශ්‍රී ලංකාව අසාර්ථකය.

ඩී.එස්. සේනානායකගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග දක්වා වන මෙතෙක් බලයට පැමිණි කිසිදු නායකයෙකු ශ්‍රී ලංකාව මුහුණ දි තිබෙන සියලු ප්‍රධාන අභියෝගයන් අලලා හෝ එකම ප්‍රශ්නයක් අලලා හෝ එකම පොතක්වත් ලියා නැත. පොත් ලෙස පළ වී ඇත්තේ ඔවුන් වේදිකාවලදි කර තිබෙන නිසරු කතාය. එය අපේ නායකයින්ට අවේණික සීමිත බව පෙන්නුම් කරන එක් ප්‍රධාන තැනකි.

දක්ෂෂ නායකයින් ඇති නොවීම කෙරෙහි සමාජයේ රජ කරන පසුගාමී අදහස් ද පවත්නා බහු පක්ෂෂ ක්‍රමයට ආවේණික ප්‍රජාතන්ත්‍ර විරෝධී ගති ලක්ෂෂණ ද පක්ෂෂ කෙරෙහි ඇති පවුල් ආධිපත්‍යයද බලපා තිබේ.

කිසිම පක්ෂෂයක් තුළ රටේ ප්‍රශ්න පිළිබඳව බලවත් කතිකාවක් නැත. මේ කිසිම පක්ෂෂයක් තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් ද නොපවතී. හැම පක්ෂෂයකටම ප්‍රධාන බල මණ්ඩලයට තෝරා පත් කෙරෙන නියෝජිතයන්ගෙන් බහුතරයක් නම් කිරිමේ බලය ලැබී ඇත්තේ පක්ෂෂ නායකයාට ය. පක්ෂෂ නායකයින්ට ලැබී තිබෙන අතිවිශාල බලය නිසාම පක්ෂෂ නායකයාගේ මතය නොපිළිගන්නා, ඊට වෙනස් මත දරන පුද්ගලයින්ට ඉදිරියට ඒමේ හැකියාවක් ද නොපවතී. ඒ නිසා ප්‍රතිපත්තිමය කරුණු අලලා පක්ෂෂ තුළ ගැඹුරු වාද විවාද ඇතිවීමට ද ඉඩක් නැත. ඉදිරියට ඒමේ හැකියාව ලැබී ඇත්තේ නිදහස් මත දරන අයට නොව පක්ෂෂ නායකයා කෙරෙහි දස ආකල්පයකින් ක්‍රියා කරන අයටය.

පක්ෂෂ තුළ පවත්නා පවුල් ආධිපත්‍යයද දක්ෂෂ දේශපාලනයක් ඇති කිරීම සීමා කරන සාධකයක් ලෙස ක්‍රියා කරයි. ශ්‍රීලනිපයේ නායකත්වය සීමා වී ඇත්තේ එක පවුලකටය. එජාප නායකත්වය බොහෝ දුරකට සීමිත පවුල් කණ්ඩායමකට සීමා වී තිබේ. අනෙක් පක්ෂෂ තුළද මේ ප්‍රවණතාව අඩු වැඩි වශයෙන් පවතී.

සිංහල නොවන බෞද්ධ නොවන හා ගොවිගම නොවන කෙනෙකුට රටේ නායකයා විය නොහැකිය කියන ආකල්පය ද දක්ෂෂ නායකයින් බිහි වීම සීමා කරන සාධකයක් ලෙස ක්‍රියා කරයි. මේ සුදුසුකම් තුන නැති කෙනෙකුට දේශපාලනයේදි දැරිය හැකි ලොකුම තනතුර වී ඇත්තේ කැබිනට් ඇමතිකමක් පමණ ය.