අපරාධකරුවන් රජ කරන රටක්

September 14, 2003
Publication:
The editorial blames the collapse of law-enforcement institutions for the rise of violent crime, noting that suspects flee abroad on bail, that people linked to the killing of Satana editor Rohana Kumara and to Kumar Ponnambalam's murder have fled or been mysteriously shot, and that Dhammika Amarasinghe, suspected of some 50 killings, enjoys freedom and a mobile phone in remand. It argues that human rights laws were introduced without modern investigative methods, leaving police lax, and calls on the Interior Minister to act.

අපරාධකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කිරීම සඳහා තිබෙන ආයතන ක්‍රමයේ සිදුවී තිබෙන බිඳ වැටීම මීට හේතු වී තිබේ. බිහිසුණු අපරාධකරුවන්ට එරෙහිව සාර්ථක ලෙස පරික්ෂෂණ පවත්වන ක්‍රමයක් රටේ නොපවතී. බොහෝ විට සිදුවන්නේ දරුණු අපරාධකරුවන් උසාවියට ඉදිරිපත් කොට ඇප ලබා ගැනීමෙන් පසුව රටින් පලා යාමය.

“සටන” කර්තෘ රෝහණ කුමාර ඝාතනය කළේ තමන් බවට රූපවාහිනිය ඉදිරියට පැමිණ පාපොච්චාරණයක යෙදුණු තාරා අජිත් අද සිටින්නේ ප්‍රංශයේ ය. බිහිසුණු දේශපාලන අපරාධ ගණනාවකට සම්බනධ බව කියන ජනාධිපති ආරක්ෂෂක අංශයේ සාජන් රත්නායක සිටින්නේ බ්‍රිතාන්‍යයේය. ජනාධිපති ආරක්ෂෂක අංශයට සම්බන්ධ නමගිය අපරාධකරුවකු වන බැද්දගානේ සංජීවට වෙඩි තැබූ බව කියන උදය කුමාර ඉන්නා බව කියන්නේ ද බ්‍රිතාන්‍යයේ ය.

දේශපාලන ඇණවුම් මත අපරාධ කරනු ලැබ ඇති, හඳුනාගනු ලබන අපරාධකරුවන් අභිරහස් ලෙස මරා දැමීමේ ප්‍රවණතාවක් ද රටේ පවතී. රෝහණ කුමාර ඝාතනය ඇතුළු දේශපාලන අපරාධ ගණනාවකට සම්බන්ධ බැද්දගානේ සංජීව මැතිවරණයකට පෙර වෙඩිතබා මරා දැමුවේ ය. ඉන් පසු කුමාර් පොන්නම්බලම් ඝාතනයට සම්බන්ධ මොරටුව සමන් හා අතිරේක පොලිස් සේවයේ කොස්තාපල් රණසිංහ ද අභිරහස් ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදි.

සමහර බිහිසුණු අපරාධකරුවන් හා සමහර දේශපාලකයන් අතරත් නැවත බිහිසුණු අපරාධකරුවන් හා පොලීසියේ සමහර උසස් නිලධාරින් අතරත් සමීප සම්බන්ධකම් පවතී. බිහිසුණු අපරාධකරුවන් සිය ආරක්ෂෂාව සඳහා මේ බලවේග දෙකේ ම සහාය ලබා ගනී. දේශපාලන රැකවරණ මත දේශපාලන උවමනාවන් මත හා වෙනත් උවමනාවන් මත පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මරා දමා ඇති, රටේ සිටි දරුණුම අපරාධකාරයා ලෙස සැලකෙන ධම්මික අමරසිංහ දැන් ඉන්නේ ද රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. ඔහු දැඩි ආරක්ෂෂක විධි විධාන මත රඳවා තබන ලෙස අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාරයට දැනුම් දි ඇතත් බණ්ධනාගාරය එය නොසලකා ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරය තුළ නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දි තිබෙනවා පමණක් නොව ඔහුට සෙලියුලර් දුරකථනයක් ද පරිහරණය කිරීමට ඉඩ ලබා දි තිබෙන බව අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවේ මතය වී තිබේ.

මෙය ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මානව හිමිකම් උල්ලඝනය කරන පොලිස් නිලධාරින්ට එරෙහි ව නඩු පැවරිය හැකි තත්ත්වයක් ඇති කොට තිබුණ ද අත් අඩංගුවට ගන්නා සැකකරුවන් වධ හිංසාවට ලක් නොකොට ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා යොදා ගැනෙන නවීන පරික්ෂෂණ ක්‍රම පොලීසියට හඳුන්වාදි නොතිබෙන තත්ත්වයක් ඉදිරියේ මානව හිමිකම් නීතිවලට ඇති බිය නිසා පොලීසිය අපරාධකරුවන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන ලිහිල් ප්‍රතිපත්තිය ද රටේ අපරාධ වර්ධනයට බලපා තිබේ.

අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් සම්බන්ධයෙන් අතීතයේ දි අනුගමනය කරන ලද පිළිවෙත වූයේ ඔවුන් කතා නොකරන්නේ නම් ඔවුන් වධ හිංසාවන්ට ලක් කොට හෝ තොරතුරු ලබා ගැනීමය. ඒ ක්‍රමය මානව හිමිකම් ප්‍රතිපත්තිවලට නොගැලපෙන බවට සැකයක් තිබිය නොහැකි ය. එහෙත් එහිදි සිදුවිය යුතුව තිබුණේ එවැනි අය වධ හිංසාවන්ට ලක් කිරීම නීති විරෝධී කිරිමෙන් නොනැවතී අපරාධ පරික්ෂෂණ සඳහා යොදා ගැනෙන නවීන තාක්ෂෂණ ක්‍රම පොලීසියට හඳුන්වාදිමය. එහෙත් එසේ නොකොට මානව හිමිකම් නීති පමණක් හඳුන්වා දිමෙන් දැන් ඇති වී තිබෙන ප්‍රතිඵලය වී ඇත්තේ පොලීසිය සිය ආරක්ෂෂාව සඳහා අපරාධකරුවන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

මේ තත්වය වහාම නිවැරදි කිරීම ආණ්ඩුවේද අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාගේද වගකීමකි.