හිරේ සිටිය යුත්තේ කව්ද?

July 27, 2003
Publication:
After a bench headed by the Chief Justice rejected Tony Fernando's revision application against his one-year sentence for contempt, Ivan argues that the bench included judges Fernando had named as respondents, that the judgment identifies no contempt beyond raising his voice, and that it is Sarath N. Silva who belongs in prison. Further sections contrast the Constitutional Council's published character criteria, drafted by H.L. de Silva, with the Chief Justice's conduct and criticise delays in appointing the Judicial Service Commission.

ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් ලබාදිමේ තීන්දුවට එරෙහිව ටෝනි වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන අයදුම්පත අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලය මගින් පසුගිය සතියේ නිෂ්ප්‍රභා කළේය.

ටෝනි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ හරි වරද කුමක් වුවත්, ඔහු සිය පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ විනිසුරුවරුන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ එම පෙත්සම විභාගයට ගෙන ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් පැනවීම නීති විරෝධී බව ප්‍රකාශ කරමින් ප්‍රමාද කිරීමකින් තොරව ඒ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර ප්‍රධාන නිලධාරියා වන ඩාටෝ පරම්කුමාරස්වාමි මහතාය.

තම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන විනිසුරුවරුන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පෙත්සම විභාගයට ගැනීමට ලැයිස්තු ගතකොට ඇති බව දැනගත් ටෝනි, මෝසමක් මගින් එම විනිශ්චය මණ්ඩලයට සිය විරෝධය පළකරමින් වගඋත්තරකරුවන් ඇතුළත් නොවන විනිශ්චය මණ්ඩලයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබුණු අතර, ටෝනිගේ පෙත්සම එම විනිශ්චය මණ්ඩලය ඉදිරියේම විභාගයට ගත්තේ ද ඒ ඉල්ලීම ද නොසලකාය.

ටෝනිගේ පෙත්සම වෙනුවෙන් නීතිඥයෙකු ඉදිරිපත් නොවීය. ඔහු තමාගේ පෙත්සම වෙනුවෙන් තමාම පෙනී සිටියේය. ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් පනවන ලද්දේ අධිකරණයට අපහාස කළේය යන චෝදනාව මත වුවත්, හඬ නගා කතා කළේය යන කාරණය හැරුණු විට ටෝනි අධිකරණයට කළ අපහාසය කුමක්ද යන්න ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් පමුණුවමින් දෙන ලද තීන්දුවේ වත් සඳහන් වන්නේ නැත.

නීතිඥයකුගේ සහාය නැති සාමාන්‍ය පුද්ගලයකු තමාගේ නඩුවක් වෙනුවෙන් තමාම පෙනී සිටින අවස්ථාවකදි එවැනි පුද්ගලයකු අතින් වරදක් සිදුවුවත් ඒ පුද්ගලයා, කෙරෙහි සානුකම්පිතව බැලීමේ යුතුකමක් අධිකරණයට ඇත්තේය. ටෝනි අතින් එහිදි වරදක් සිදුවුවත් එක් අවුරුදු සිරදඬුවමක් පැමිණ වීමට තරම් බරපතළ වරදක් ඔහු අතින් සිදුවී නම්, කළ යුතුව තිබුණේ චෝදනා පත්‍රයක් බාරදි ඒ නඩුව ඇසීම වෙනත් දිනකට කල් තබා නීතිඥයකුගේ සහාය ලබාගන්නා ලෙස ඔහුට දැනුම් දිමය.

අන් සියල්ලටම පෙර අනුන්ගේ වැරදි විනිශ්චයට ලක් කරන ආයතන ශිෂ්ටසම්පන්න විය යුතුය. ටෝනි පවරන ලද නඩුවේ හරි වරද කුමක් වුවත්, ඔහුගේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලද විනිශ්චයකාරවරුන් දෙදෙනෙකු ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ එය විභාගයට ගැනීම ශිෂ්ටසම්පන්න නොවනවා සේ ම, නීතියට ද පටහැනිය. ටෝනිගේ නඩු පැවරිල්ලේ වරදක් තිබුණේ නම්, ඒ වරදට දඬුවම් පැමිණවිය යුතුව තිබුණේ නම්, එය කළයුතුව තිබුණේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ විනිශ්චයකාරවරුන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් විසින් නොව ඉන් පරිබාහිර විනිශ්චය මණ්ඩලයක් මගිනි.

තිබෙන කරුණු එකින් එක ගෙන විග්‍රහ කර බලන විට පෙත්සම වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරිමේ දි ටෝනි අධිකරණයට අපහාසයක් වන ලෙස ක්‍රියාකර ඇති බවක් පෙනෙන්නට නැත. සිදු වී ඇති බව පෙනෙන්නේ තමා මේ පෙත්සමේ වගඋත්තරකරුවකු කිරීම ගැන කෝපයට පත් අගවිනිසුරුවරයා ටෝනිගෙන් කෘර ලෙස පළිගැනීමට එය අවස්ථාවක් කරගෙන ඇති බව ය. සිරගත කරනු ලැබීමෙන් පසුව ටෝනිට එල්ල කෙරුණු ප්‍රහාරය ද අහම්බෙන් සිදුවූවක් ලෙස සැලකිය නොහැකි ය.

ප්‍රතිශෝධන ඉල්ලීම ප්‍රතික්ෂෙෂ්ප කරමින් දෙන ලද තීන්දුවේ ද එම ලක්ෂෂණ යම් පමණකට විද්‍යමාන වේ. පෙත්සම්කරු අධිකරණයට ඇති අධිකාරි බලයට අභියෝග කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වගඋත්තරකරුවන් කිරීමට පෙත්සම්කරු ක්‍රියාකර ඇති බව ද එහි සඳහන් වේ.

ටෝනිගේ පෙත්සමේ අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් තිදෙනෙක් වගඋත්තරුකරුවන් කර තිබුණේ ඔවුන් විනිසුරුවරුන් ලෙස සලකා නොව අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් ලෙස සලකා ය. අධිකරණ සේවා කොමිසම පරිපාලන ආයතනයකි. එවැනි ආයතනයකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන අවස්ථාවක දි ඒ ආයතනයේ සාමාජිකයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිමේ අයිතිය සියලු පුරවැසියන් සතු අයිතියකි. ඔහු තමන්ගේ නඩු තීන්දුව රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලා සිටියේ ය. එය ලබාදිම ප්‍රතික්ෂෙෂ්ප කළ විට ඔහු ඒ බව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේ ය. රෙජිස්ට්‍රාර්වරයා අධිකරණ සේවා කොමිසම යටතේ සිටින පුද්ගලයෙකි. අධිකරණ සේවා කොමිසමෙන් ද යුක්තිය ඉටු නොවූ කල අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් ද රෙජිස්ට්‍රාර්වරයා ද වගඋත්තරකරුවන් කරමින් ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

ටෝනිගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ හරි වරද කුමක් වුවත්, එහිදි අගවිනිසුරු තමන්ගේ කෝපයට හේතුවී සිටි පුද්ගලයෙකුගෙන් පළිගැනීම සඳහාත් ඔහු හිංසාවට ලක්කිරීම සඳහාත් තමන්ට තිබෙන අධිකරණ බලය අයථා ලෙස යොදාගෙන ඇති බව පැහැදිලිය. ඒ අර්ථයෙන් දඬුවම් ලබා හිරගෙදර සිටිය යුත්තේ ටෝනි නොව අගවිනිසුරු ධුරයේ සිටින සරත් සිල්වා ය.

ව්‍යවස්ථා සභාව තමන් යටතට වැටෙන කොමිෂන් සභා හා තනතුරු වලට පුද්ගලයින් නිර්දේශ කිරිම් හා අනුමත කිරිම් සඳහා යොදාගන්නා කාර්ය පටිපාටිය හා ඒ සඳහා යොදා ගැනෙන නිර්ණායකයන් පාර්ලිමේන්තු ප්‍රකාශන මාලාවක් ලෙස ප්‍රසිද්ධ කර තිබේ.

පොදු නිර්ණායකයන්ට ඇතුළත් මූලික කාරණ මෙසේය.

1. අපක්ෂපාතීභාවය

2. අවංකභාවය

3. සත්‍යවාදිභාවය

4. චරිතවත්භාවය

5. බංකොලොත් තත්ත්වයක නොසිටීම

6. වෘත්තියේ සදාචාරාත්මක විෂමාචාරයට ලක් නොවූ කෙනෙකු වීම.

7. සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ සූදුව, මත්ද්‍රව්‍ය ව්‍යාපාර හෝ මත්පැන් නිෂ්පාදනය හෝ වෙළෙඳම වැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් සමග සම්බන්ධකම් නොපවත්වන අයකු වීම.

මේ සියලු කරුණු අතර චරිතවත් බවට ලබාදි තිබෙන්නේ ප්‍රධාන ස්ථානයකි. තැනක මනා චරිතවත් බවක් ගැන ද, තවත් තැනක පවිත්‍ර චරිතයක් ගැන ද, තවත් තැනක චරිත දූෂණ වරදකට වැරදිකරුවකු නොවී සිටීමේ අවශ්‍යතාව ගැන ද, තවත් තැනක තම පෞද්ගලික හා ප්‍රසිද්ධ ජීවිතයේ කුමන අවස්ථාවකදි හෝ වෘත්තීය හෝ සදාචාරාත්මක විෂමාචාර සම්බන්ධයෙන් වරදකරු නොවී සිටීම හා එවැනි වරදකට චෝදනා ලබා නොසිටීම ගැනද යනාදි වශයෙන් චරිතවත් බව ගැන පුන පුනා සඳහන් වේ. එහි දක්වා ඇති නිර්ණායකයන්ට අනුව නම් සරත් නන්ද සිල්වා මහතාට අගවිනිසුරු තනතුරේ එක මොහොතක් වත් රැඳී සිටිය නොහැකි ය.

මේ නිර්ණායකයන් කෙටුම්පත් කර ඇති බව කියන්නේ ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා ය.

ඉහළ අධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් සරත් නන්ද සිල්වාට අනාචාර ජීවිතයක් ගත කළ හැකිද යන ප්‍රශ්නය නීති සමාජයේ විවාදයට බඳුන් වී තිබුණු අවස්ථාවක, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව, ඉන්දියාවේ විශ්‍රාම ලත් අගවිනිසුරුවරයකු වන බගවතී මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමුළුවක දි එච්.එල්. ද සිල්වා මහතා එම තත්ත්වය විග්‍රහ කළේ මෙසේ ය.

“විනිසුරු ධුරයේ ඓතිහාසික සම්ප්‍රදාය හා කීර්තියත්, රාජකාරිය පිළිබඳ පූර්ණ අවබෝධය හා වගකීම පිළිබඳ ගැඹුරු හැගීමක් ඇතිව යුක්තිය පසිඳලීම සඳහා විනිශ්චයකාරවරයකු යෝග්‍ය වන්නේ කෙසේද යන්න තහවුරු කරන වඩාත් මූලික සාධකයන් කෙරෙහි දැන් මම මාගේ අවධානය යොමු කරමි. විනිශ්චයකාරවරයාගේ ස්වාධීනත්වය ඔහුගේ සදාචාරාත්මක අවංකභාවය මත රඳ පවත්නේ ය. ඒ සමග ඍජුවම බැඳී පවත්නේ ය. නීතිය පිළිබඳ නිපුණතාවටත්, විනිශ්චය සඳහා අවශ්‍ය විශ්ලේෂණ ශක්තියටත්, එක් අතකින් හිමි වන්නේ දෙවැනි තැන ය. වැදගත්කම අතින් සදාචාරාත්මක අවංකභාවයට වඩා පහළ තැනකි. විනිශ්චයේ දි දක්ෂෂ කපටියෙකුට වඩා අවංක සාමාන්‍ය මිනිසකුට වැඩි අභිමතයක් ලැබෙන්නේ ය. විනිශ්චයේ දි බුද්ධිමතකුගෙන් පළවන වංකභාවය ගරහා කළ යුත්තක් වන අතර, දුරාචාරය හා දූෂණය ඒකාන්තයෙන් ම හෙළා දැකිය යුතු වෙයි.

විනිශ්චයාසනය සඳහා අපේක්ෂෂකයින් තෝරා ගැනීමේ දි සැලකිල්ලට ගැනෙන සදාචාරය නිගමනය කිරිමේ දි ඊට පදනම් විය යුතු වැදගත් සාධකයක් වෙයි. අදාළ පුද්ගලයා සමකාලීන සමාජයේ පවත්නා සදාචාරාත්මක ලිංගික චර්යාවට සහමුලින් අනුකූල විය යුතු අතර ඉන් බැහැර වන පැවතුම් ඔහු තුළ පවත්නේ නම් ඒවා කිසිසේත් නොසලකා හැරිය හැකි නොවෙයි. අධිකරණ ක්‍රියාවලියේ දි ඔහු දක්වන නිපුණතාව අනුව එහි වෙනසක් සිදුවිය යුතු ද නොවේ.”

ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා විනිශ්චයකාරවරුන්ගේ චරිතවත් බව හා සදාචාරාත්මක අවංකභාවය ගැන කරන මේ විග්‍රහය හා ඒ පිළිබඳව ව්‍යවස්ථා සභාවේ පොදු නිර්ණායකයන්ට ඇතුළත් කර තිබෙන කාරණා ඉතා වැදගත් වුවත් ඒ සියලු නිර්ණායකයන්ට අනුව නුසුදුසුම තත්ත්වයට වැටෙන පුද්ගලයකු අගවිනිසුරු ධූරයේ සිටීම පිළිබඳ ප්‍රශ්නයට ව්‍යවස්ථා සභාවට දිය හැකි විසඳුමක් තිබේද? තමන් ඇති කර තිබෙන සියලු නිර්ණායකයන්ට නොගැළපෙන පුද්ගලයකු එවැනි තනතුරක ඉඳීම ව්‍යවස්ථා සභාවේ සමස්ත වැඩ පිළිවෙළ හාස්‍යයට ලක් කරන්නේ නැද්ද?

අධිකරණ සේවා කොමිසම

ව්‍යවස්ථා සභාව අධිකරණ සේවා කොමිෂන් සභාවට අදාළව පනවා තිබෙන නිර්ණායකයන් ද ඉතාමත් සුවිශේෂ ය.

ඒ අනුව අධිකරණ සේවා කොමිසම සමන්විත විය යුත්තේ අගවිනිසුරුට අතිරේකව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ‍යෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි. අගවිනිසුරු හා ජේ‍යෂ්ඨතම විනිසුරු යන දෙදෙනාම වෘත්තීය අධිකරණ නිලධාරින් නොවන අවස්ථාවල දි එක් සාමාජිකයකු ජේ‍යෂ්ඨතම වෘත්තීය විනිශ්චයකාරවරයා විය යුතු ය.

ඒ අනුව අධිකරණ සේවා කොමිසම සමන්විත විය යුත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේ‍යෂ්ඨතම විනිසුරු මාක් ප්‍රනාන්දු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ‍යෂ්ඨතම වෘත්තීය විනිශ්චයකරු ලෙස සැලකිය හැකි විග්නේෂ්වරන් යන අයගෙනි.

එහෙත් තවමත් ව්‍යවස්ථා සභාව එම කොමිෂන් සභාව පත්කර නැත. ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ කොමිෂන් සභාව සඳහා යෝජනා කර ඇති නිර්ණායකයන් ජනාධිපතිනිය සමග සාකච්ඡා කරන තුරු අනුමත කිරිම් කල්දැමූ බව ය. එම තීරණය ගෙන ඇති බව පෙනෙන්නේ 2002 ඔක්තෝබර්වල දි ය. දැන් අප ඉන්නේ 2003 ජූලි වල ය.

අධිකරණ සේවා කොමිසමේ සංයුතිය අතීතයේ දි සකස් වී තිබුණේ අගවිනිසුරුට අතිරේකව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ‍යෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි. එම ක්‍රමය ජනාධිපතිනිය ලවා වෙනස් කරවා ගත්තේ ද සරත් නන්ද සිල්වා මහතා ය. තමන්ට එරෙහිව පනවන ලද අනාචාර නඩුව තමන්ට පක්ෂෂපාතව ඉතාමත් අගතිගාමී ආකාරයකින් විමසූ උපාලි අබේරත්න විනිසුරුවරයාට එරෙහිව සම්පූර්ණ කර තිබූ විනය පරීක්ෂෂණය යටපත් කිරීම එහි අරමුණ විය. ඒ ඉතිහාසය ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් නොදන්නවා විය නොහැකි ය. දැන් ව්‍යවස්ථා සභාවට තමන් සකස් කර තිබෙන නිර්ණායකයන් සඳහා එකග කරවා ගැනීමට සිදු වී ඇත්තේ ඒ පාපයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා වන ජනාධිපතිනිය යි.

සරත් නන්ද සිල්වාගේ පාලනය තුළ අද අධිකරණය වැටී තිබෙන්නේ නරකාදියකටත් අන්ත තත්ත්වයකට ය. එහි අනාචාරය, දුරාචාරය, දූෂණය පමණක් නොව භීෂණය ද රජ කරයි. ව්‍යවස්ථා සභාවටවත් පාර්ලිමේන්තුවටවත් අධිකරණයේ රජ කරන එම අශීලාචාර තත්ත්වය අවසන් කොට නැවත එය ශීලාචාර තත්ත්වයකට ගැනීමේ උවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැත.