බල අරගලයේ කෙළවර කුමක් ද?

July 27, 2003
Publication:
Barred from a third term, Chandrika Kumaratunga now wants the executive presidency she once enjoyed reformed so she can keep her party leadership, while Ranil Wickremesinghe wants it untouched until he inherits it. Ivan traces her options, from a JVP alliance and a snap dissolution to a caretaker cabinet, and warns that with Sarath N. Silva controlling the courts the rivalry could slide into a civil conflict decided by which side the police and army take.

ජනාධිපතිනියට ඊළග ජනාධිපතිවරණයට තරග කළ නොහැකිය. දේශපාලනයෙන් විශ්‍රාම යෑමේ හැකියාවක් ද ඇයට නැත. පක්ෂයට නියම උරුමකරුවකු ඉදිරියට ගන්නා තෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටීම ඇගේ අභිලාෂයයි. එහෙත් පක්ෂ නායකත්වයේ ඉබේ රැඳී සිටිය නොහැකිය. ඒ සඳහා රාජ්‍ය නායකත්වයේ හෝ විපක්ෂ නායකත්වයේ සිටින ක්‍රමයක් තිබිය යුතුය. එහෙත් එවැනි ක්‍රමයකට දැන් තිබෙන ක්‍රමයෙන් ඉඩක් නැති නිසා ඊට ගැලපෙන ලෙස ක්‍රමය වෙනස් කිරිමේ වුවමනාවක් ජනාධිපතිනිය තුළ පවතී.

ඇය විධායක ජනාධිපති ධුරයට එන්නට පෙර විධායක ජනාධිපති ක්‍රමයට වෛර කළාය. එහෙත් ධුරයට පත්වීමෙන් පසුව විධායක ජනාධිපති ධුරයේ බලය විසින් ජනිත කළ රසය උපරිම ලෙස භුක්ති වින්දාය. එහෙත් දැන් ඒ ක්‍රමය විසින් ම තමන් අවලංගු කරන තත්ත්වයක් ඉදිරියේ ක්‍රමය වෙනස් කිරිමේ බලවත් වුවමනාවක් නැවත ඇය තුළ ඇතිවී තිබේ.

එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අංශුමාත්‍රයකින් හෝ වෙනස් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කැමති නැත. වාද විවාද මැද කාලය ගතවන්නට ඉඩ හැර චන්ද්‍රිකා දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත්කරමින්ම විධායක ජනාධිපති වීම රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අභිලාෂය වී තිබේ.

තමා අවලංගු කරමින්ම රජවීම රනිල්ගේ අභිලාෂය වී තිබෙන බව චන්ද්‍රිකා දන්නීය. ඒ නිසාම රනිල්ගේ ගමන් මගට උදව් කිරිමේ හැකියාවක් ඇයට නැත. අනෙක් අතට චන්ද්‍රිකාට ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ සිය පැවැත්ම රැකගනිමින් තමන්ට ලැබෙන්නට නියමිත රජකම බාල්දු තත්ත්වයකට පත්කිරීමට බව රනිල් වික්‍රමසිංහ ද දන්නේය. ඒ නිසා චන්ද්‍රිකා, ඉදිරියේ කරන කිසිම ප්‍රතිසංස්කරණයකට එකගවීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහට නැත.

රනිල් වික්‍රමසිංහ තමන් අරමුණු කළ ගමන සඳහා කොටි සංවිධානයේ සහාය ලබාගන්නා විට චන්ද්‍රිකා කුමාරතුංග ද සිය ප්‍රතිවාදියාගේ දේශපාලන වැඩපිළිවෙළ අවලංගු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාගන්නා තත්ත්වයකට යොමුවී සිටී.

මේ නායක චරිත දෙකේ අභිලාෂයන් අතර ගැටුම සමහරවිට ලේ හැලෙන තත්ත්වයක් දක්වා ද වර්ධනය වීමේ අවකාශයක් පවතී.

චන්ද්‍රිකාට බොහෝ කලක් බලා සිටීමේ හැකියාවක් නැත. ගතවන හැම දිනයක් ම තමන්ගේ ඇති වලංගුභාවයේ කාලය සීමා කරයි. හැකිතරම් කාලයක් ගතවන්නට ඉඩ හැරිම රනිල් වික්‍රමසිංහගේ උපාය වී ඇතත්, එම තත්ත්වය ඉදිරියේ හැමදාමත් ඉවසාගෙන බලා සිටීමේ හැකියාවක් චන්ද්‍රිකාට නැත.

තමන්ගේ අභිලාෂයන්ට ගැලපෙන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකග නොවන බව ඇය දන්නීය. ඒ නිසා ඇයට ඒ සඳහා ඊළගට තෝරාගැනීමට ඉතිරිවී තිබෙන විකල්පය වී ඇත්තේ තමන්ට තිබෙන විධායක බලය මත පිහිටා සිය ප්‍රතිවාදියාගේ ගමන් මග කඩා බිඳ දැමීමය.

එජාපයේ කණ්ඩායමක් තමන්ට එකතු කරගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඔස්සේ ආණ්ඩුව වෙනස් කිරීම ඒ සඳහා තිබෙන සරල එක් මාර්ගයකි. එහෙත් පක්ෂ මාරුවකට පහසු ඉඩක් නැතිකම නිසා ඒ අරමුණ ජයගැනීම දුෂ්කරය.

මතභේද නොසලකා ජවිපෙ සමග සන්ධානයක් ඇතිකර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගොස් නැවත බලය උරගා බැලීමක යෙදි එක් වැඩි ඡන්දයකින් හෝ පාර්ලිමේන්තු මැතිවරණය ජයගත හැකි වෙතොත්, ඉන්පසු එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එකතු කරගනිමින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන මුවාවෙන් තමන්ගේ ප්‍රශ්නයට ද විසඳුමක් ලැබෙන ලෙස ක්‍රමය වෙනස් කරගැනීම ඒ අරමුණ ජයගැනීම සඳහා තිබෙන ඊළග විකල්පය ලෙස සැලකිය හැකිය. එහිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමට 2/3 බලයක් අවශ්‍යවන්නේ නැත. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්කර ගත හැකිය. ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදිම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රමුඛ අංගයක් බවට පත් කරන ක්‍රියාමාර්ගයක් මගින් එම වැඩපිළිවෙළට සුළු ජාතීන්ගේ සහය ලබාගන්නා තත්ත්වයක් ද ඇතිකර ගත හැකිය.

එහෙත් එහිදි නිකම්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් ජනාධිපතිනියට වාසිදායකවන්නේ නැත. එවිට මැතිවරණ කාලයේදි භාරකාර ආණ්ඩුව ලෙස ක්‍රියාකිරිමේ බලය ලැබෙන්නේ එක්සත් ජාතික පෙරමුණටය.

ජයග්‍රහණය සඳහා භාරකාර ආණ්ඩු බලය අත්‍යවශ්‍ය කොන්දේසියකි. ව්‍යවස්ථානුකූල නොවෙතත්, කැබිනට් මණ්ඩලය වෙනස් කොට එම කැබිනට් මණ්ඩලයට භාරකාර ආණ්ඩුවක් බවට පත්වීමට ඉඩ ලැබෙන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණට බැවින් එවැනි ක්‍රියාමාර්ගයකට එරෙහිව අභියෝග කිරිමේ අයිතිය එක්සත් ජාතික පෙරමුණට ලැබෙන්නේය. අභියෝග කරනවා යන්නෙහි තේරුම වනු ඇත්තේ අධිකරණය ඉදිරියට යාම නොවේ. සරත් නන්ද සිල්වා අධිකරණය පාලනය කරන තත්ත්වයක් තුළ එවැනි ප්‍රශ්නයක් සාධාරණව විසඳීමේ හැකියාවක් අධිකරණයට නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්නේය. ඒ නිසා එවැන්නකදි වියහැකි දේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියකට එක්සත් ජාතික පෙරමුණ තල්ලු වීමය. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ඡන්ද සටනක් වෙනුවට බල කණ්ඩායම් දෙකක් අතර කෙරෙන සිවිල් යුද තත්ත්වයක් රටේ ඇතිවීමය.

අවසානයේ ජයග්‍රාහකයා තීන්දු කෙරෙනු ඇත්තේ සිවිල් යුද්ධයක් සඳහා අවශ්‍ය වැඩි බලය තිබෙන්නේ කොයි පැත්තේ ද යන කාරණය මතය. තවදුරටත් පොලිසිය, යුද හමුදාව වැනි ආයතන කොයි පැත්ත ගන්නේ ද යන කාරණා මතය. මෙවැනි තැනකට රට තල්ලු වුවහොත් ඇතිවිය හැකි විනාශය සුළුපටු නැත.