සාම සාකච්ඡා ඇණහිටීමේ ක්රියාවලිය ඇදි ඇදි ඉදිරියට යමින් පවතී. කොටි සංවිධානය ඉල්ලා සිටින අන්තර් පාලනය පිළිබඳ ප්රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදිමට ආණ්ඩුවට ඉක්මන් වුවමනාවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. එය ඉක්මන් කරගැනීමේ වුවමනාවක් කොටි සංවිධානයට ද තිබෙන බවක් පෙනෙන්නට නැත. යුද්ධයක් ද නැතිව, සාකච්ඡා ද නැතිව ප්රශ්නය ඇදි ඇදි යන්නට ඉඩ හැරිම දෙපාර්ශ්වයේම වුවමනාව වී තිබේද?
කොටි සංවිධානයට අන්තර් පාලනයක් ලබාදෙනවාට ජනතා විමුක්ති පෙරමුණ මුළුමනින්ම විරුද්ධය. අවසාන විසඳුමකට සම්බන්ධ නොකළ අන්තර් පාලනයකට පොදු පෙරමුණ ද විරුද්ධය. තමන්ගේ පිළිගැනීමට හේතු නොවන අන්තර් පාලනයකට මුස්ලිම් පක්ෂ ද විරුද්ධය.
තමන්ගේ ආරක්ෂාව හා අනන්යතාව ආරක්ෂා වන, තමන් ජීවත් වන භූමි ප්රදේශ පදනම් කරගත් ස්වයං පාලන ඒකකයක් දෙමළ ජනතාව බලාපොරොත්තු වේ. දෙමළ ජනතාවට ලැබෙන ඒ ඒකකය තුළ පාලනයේදි පරම බලය තමන්ට ලැබිය යුතු යැයි කොටි සංවිධානයේ අපේක්ෂාව වී තිබේ.
තමන් අපේක්ෂා කරන ඒ ඒකකයට උතුරු පළාත පමණක් නොව, නැගෙනහිර පළාත ද ඇතුළත් විය යුතු බව දෙමළ බුද්ධිමතුන්ගේ සේ ම කොටි සංවිධානයේ ද මතය වී තිබේ. කොටි සංවිධානය අන්තර් පාලනයක් ඉල්ලා සිටින්නේ ද ඒ ඒකකය සඳහාය.
අවසාන විසඳුමේ ප්රමාණය හා ස්වරූපය කෙරෙහි, ආරම්භයේ දෙන අන්තර් පාලන ඒකකයේ ප්රමාණය හා ස්වරූපය බලපායි.
කොටි සංවිධානයට එරෙහිව කෙරුණු යුද්ධය දෙමළ ජනතාව සැලකුවේ තමන්ට එරෙහිව කෙරෙන යුද්ධයක් ලෙසය. යුද්ධයේ පීඩාව දෙමළ ජනතාවට ඉමහත් ලෙස බලපෑවේය.
කොටි සංවිධානයේ මතය වී ඇත්තේ තමන් දෙමළ ජනයාගේ එකම නියෝජිතයා ලෙස සැලකිය යුතු බවය. ඒ අදහසට එකග නොවන දේශපාලන පක්ෂ ඇතත්, දෙමළ ජනයාගේ මතය බව පෙනෙන්නේ ද කොටි සංවිධානයේ මතයයි.
කොටි සංවිධානයට එරෙහිව කෙරුණු යුද්ධය තමන්ට එරෙහිව කරන යුද්ධයක් ලෙස දෙමළ ජනතාව සලකන්නේ නම්, දෙමළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ කරන සංවිධානය වශයෙන් අවසානයේ ඉතිරිවූ එකම සංවිධානය කොටි සංවිධානය ලෙස සලකන්නට සිදුවේ. ඒ අර්ථයෙන් දෙමළ ජනතාවට දෙන ස්වයං පාලන අයිතිය දෙමළ ජනතාව වෙනුවෙන් හිමිකර ගැනීමේ අයිතිය හිමි සංවිධානය ලෙස කොටි සංවිධානය සලකන්නට සිදුවේ.
කොටි සංවිධානය දෙමළ අයිතිවාසිකම් වලට සීමාවූ ව්යාපාරයකි. එය තමන් අතර ජීවත් වන දෙමළ නොවන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටි ව්යාපාරයක් ලෙස සැලකිය නොහැකිය.
මුස්ලිම් ජනතාව ද දෙමළ භාෂාව කතා කරන ජනතාවක් වේය යන අර්ථයෙන් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ හා මුස්ලිම් ජනයා එකම සංස්කෘතියකට හිමිකම් කියන ජනතාවක් වේය කියන අදහස මුල් යුගයේදි තිබුණ ද දෙමළ මුස්ලිම් ආරාවුල් නිසා ඒ තත්ත්වය වෙනස් වී මේ වර්ග දෙක එකක් ලෙස නොව දෙකක් ලෙස සලකන තත්ත්වයක් තහවුරු විය.
දෙමළ ප්රදේශවල ජීවත්වන දෙමළ ජනතාව සඳහා කොටි සංවිධානයට පරම බලය ලැබෙන අන්තර් පාලනයක් යුක්ති සහගත විය හැකි වුවත්, කොටි සංවිධානයට පරම බලය ලබාදෙන එවැනි පාලනයකට දෙමළ නොවන ජනයා (මුස්ලිම් හා සිංහල) ඇතුළත් කිරීම යුක්ති සහගත විය නොහැකිය.
උතුරු පළාත බොහෝ දුරට දෙමළ ජනයාට සීමාවූ ප්රදේශයක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා කොටි සංවිධානයට පරම බලයක් ලබාදෙන අන්තර් පාලනයක් උතුරට සාධාරණය.
එහෙත් නැගෙනහිර ජනවාර්ගික සංයුතිය ඊට වෙනස්ය.
නැගෙනහිර ජනවාර්ගික සංයුතිය පිළිබඳ මේ සංඛ්යා ලේඛන ලබාගෙන ඇත්තේ 1981 ජන ලේඛනයෙන් වන නිසා ජන සංඛ්යාවේ ප්රමාණයන් පිළිබඳ හරි චිත්රයක් වෙනුවට ඉන් අපට ලැබෙන්නේ අනුපාතිකයන් පිළිබඳ හරි චිත්රයක් පමණය.
දෙමළ ජනවර්ගය තනි කණ්ඩායමක් ලෙස ගත්විට මුළු ජනගහනයෙන් 41.30%කි. ඔවුන් එහි වෙසෙන ප්රධාන ජනවර්ගය ලෙස සැලකිය හැකි වුවත්, මුස්ලිම්, සිංහල යන ජන වර්ග දෙක එකට ගත්විට පළාතේ දෙමළ නොවන ජනවර්ගවල ප්රතිශතය 58.70%ක් බවට පත්වේ.
ඒ අනුව නැගෙනහිර පළාත සඳහා කොටි සංවිධානයට පරම බලය ලබාදෙන අන්තර් පාලනයක් ගැලපෙන්නේ නැත. එය මේ ජනවර්ග අතර දරුණු ගැටුම් ඇති කරන තත්ත්වයක් ඇති කරනු නොවැළැක්විය හැකිය. එසේම කොටි සංවිධානය දෙමළ නොවන වාර්ගික අභිලාෂයන් නියෝජනය කරන සංවිධානයක් නොවන නිසාම දෙමළ නොවන බහුතර ජනතාවක් මත දෙමළ ජනතාවගේ අභිලාෂයයන් නියෝජනය කරන සංවිධානයකට පරම බලය සහිත පාලනයක් පැටවීම යුක්ති සහගත වන්නේ ද නැත.
මේ අවුල විසඳ ගැනීම සඳහා තිබෙන විකල්ප කිහිපයක් මෙසේය.
(1) උතුරු නැගෙනහිර යන දෙපළාත තනි ඒකකයක් ලෙස නොගෙන ඒකක දෙකක් ලෙස ගැනීම. අතිවිශාල දෙමළ බහුතරයක් සහිත උතුර සඳහා කොටි සංවිධානයට පරම බලය සහිත අන්තර් පාලනයක් ලබාදි නැගෙනහිර ඒකකය සඳහා කොටි සංවිධානයට පරම බලයක් නොලැබෙන ඒ වෙනුවට නැගෙනහිර දෙමළ ජනයාගේ ප්රමාණයට ගැලපෙන නියෝජනයක් ද, අනෙක් ජනවර්ග වලට ද ඔවුන්ගේ ප්රමාණයන්ට ගැලපෙන නියෝජනයක් ද ලබාදෙමින් මෙම වර්ග තුනටම තම තමන්ට බලපාන කාරණා වලදි නිශේධ බලය පාවිච්චි කළ හැකි ව්යුහයක් සහිත අන්තර් පාලනයක් ලබාදිම හෝ උතුරු ඒකකයට ඡන්දයක් නොපවත්වා කොටි සංවිධානයට පරම බලය ලබාදෙන අන්තර් පාලනයක් ද නැගෙනහිර ඒකකයට ඡන්ද බලයෙන් තේරි පත්වන නියෝජිතයන්ගෙන් සමන්විත ප්රජාතන්ත්රවාදි ඒකකයක් ද ඇති කිරීම.
(2) උතුරේ ඒකකයට නැගෙනහිර දෙමළ ප්රදේශ ද එකතු කර දෙමළ ඒකකයක් ඇති කොට නැගෙනහිර සිංහල ප්රදේශ ඌවට යා කොට මුස්ලිම් ජනයාට ද මුස්ලිම් ඒකකයක් ලබාදිම හෝ උතුරේ ඒකකයට දෙමළ ප්රදේශ යාකොට නැගෙනහිර මුස්ලිම් සිංහල මිශ්ර ඒකකයක් ලෙස තිබෙන්නට ඉඩ හැරිම.
උතුර පමණක් නොව මුළු නැගෙනහිර පළාතම දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජබිම් වේය කියන මතයේ සත්ය පදනමක් නොපවතී. එකම භාෂාවක් කතා කරන ජනතාවක් වශයෙන් තමන් ද දෙමළ ජනතාවගේ ම කොටසක් වේය, ඒ නිසා දෙවර්ගයාට එකට ජීවත්වීම සඳහා එක ඒකකයක් ලැබිය යුතුයි කියන මතය නැගෙනහිර මුස්ලිම් ජනතාව අතර ද පැවති යුගයක් තිබුණි. ඒ යුගයට දෙමළ නිජබිම් කතාවේ යම් යුක්ති සහගතභාවයක් තිබුණි. මේ දෙවර්ගයා එක්ව ගත්විට හා උතුරු නැගෙනහිර දෙපළාත එක්ව ගත්විට, “අපි දෙපිරිස එම භූමි ප්රමාණයෙන් විශාල කොටසක පැතිරි සිටි ජනතාව වේ” යයි තර්ක කරන්නට ඉඩක් තිබුණි. එහෙත් තමන් දෙමළ භාෂාව කතා කරන ජන කොටසක් වුවත්, තමන් දෙමළ ජාතියේ කොටසක් නොවේ යැයි මුස්ලිම් ජනයා කල්පනා කරන තත්ත්වයක් යටතේ මුළු නැගෙනහිර පළාතටම අයිතිවාසිකම් කීමේ හැකියාවක් ද දෙමළ ජනතාවට නැත. එහෙත් ජනවර්ගයක් ලෙස ගත්විට නැගෙනහිර බහුතර ජනවර්ගය වන්නේ දෙමළ ජනතාවය. අනෙක් අතට දෙමළ නොවන ජනවර්ග දෙක එකට ගත්විට නැගෙනහිරදි දෙමළ ජනයා සුළුතරයක් බවට පත්වේ.
නැගෙනහිර ඇති මේ වෙනස්කම් අනුව උතුර සඳහා පරම බලයක් ඉල්ලා සිටීමේ අයිතියක් කොටි සංවිධානයට ඇතත් මුළු නැගෙනහිර පළාත සඳහා එවැනි හිමිකමක් ඉල්ලා සිටීමේ අයිතියක් කොටි සංවිධානයට තිබිය නොහැකිය.
පදිංචිය අනුව ගත්විට නැගෙනහිර පළාතේ දෙමළ නිජබිම් තිබුණා සේ ම සිංහල හා මුස්ලිම් නිජබිම් ද තිබුණේය. එක්කෝ කොටි සංවිධානය උතුරට අතිරේකව නැගෙනහිරදි දෙමළ නිජබිම් ලෙස සැලකිය හැකි දෙමළ ජනයා ජීවත් වන ප්රදේශ වලට සිය පරම බලය සහිත පාලනය සීමා කරගත යුතුය. නැතිනම් පරම බලය උතුරට පමණක් සීමා කොට නැගෙනහිර ජන අනුපාතිකයන්ට ගැලපෙන නියෝජන ක්රමයකට එකග විය යුතුය.
දෙමළ ප්රදේශවලට සීමාවන ආකාරයකට පමණක් වුවත්, කොටි සංවිධානය වැනි සංවිධානයකට පරම බලයක් ලබාදිම සුදුසු නැතැයි කියන මතයක් පවත්නා අතර, එවැනි මත දරන්නෝ දෙමළ ජනයා අතර ද සිටිති. තනි සංවිධානයකට පරම බලය ලබාදෙන ක්රමයක් හොඳම ක්රමයක් විය නොහැකි වුවත්, කොටි සංවිධානය විසඳුමකට එකග කරවා ගැනීම සඳහා කිසියම් කාලයකට එවැනි බලයක් ලබාදිම අත්යාවශ්ය වේ නම් එම අයිතිය ඔවුන්ට නොදි නැවත ඔවුන් සමග යුද්ධ කරන තැනකට යනවාට වඩා ඔවුන්ට දෙන පරම බලය ආශ්රයෙන් ගැටලු මතුවේ නම් එය දෙමළ ජනතාව විසින්ම අභ්යන්තරික වශයෙන් විසඳගත යුතු ප්රශ්නයක් ලෙස සලකා දෙමළ ජනතාව පමණක් ජීවත් වන ප්රදේශවලට පමණක් සීමාවන පරම බලයක් සහිත අන්තර් පාලනයක් කොටි සංවිධානයට ලබාදිම සුදුසුය.
ඒ නිසා දෙමළ ප්රදේශය ඇතුළත් ඒකකයේ ජීවත්වන දෙමළ ජනතාව මත යම් කලකට හෝ තනි පාලනයක් ඇතිවන්නේය. තනි පක්ෂ පාලනයක් හොඳම ක්රමය නොවෙතත්, යුද්ධයකට වඩා යහපත්ය. තෝරා ගැනීමට විකල්ප කිහිපයක් ඇත්නම් ඒ අතර තිබෙන හොඳම දේ තෝරාගැනීම අවශ්ය වුවත්, තෝරා ගැනීමට ඇත්තේ ඉතා නරක දෙයක් හා නරක දෙයක් යන දෙකින් එකක් නම් ඒ දෙකින් ඉතා නරක දෙය වෙනුවට නරක දේ තෝරා ගැනීමට සිදුවේ.
කොටි සංවිධානයට සංක්රමණීය කාලයක් සඳහා පරම බලයක් ලැබෙන පාලන ක්රමය දෙමළ ජනයාගේ සතුටට හේතු නොවේ නම්, එය වෙනස් කරගත යුතුව තිබෙන්නේ ද දෙමළ ජනයාය. වඩා හොඳ දෙයක් ලබාදිමට දරන ප්රයත්නයක් නැවත දෙමළ ජනයා යුද්ධයකට ගොදුරු කිරීමට හේතු වේ නම් හා යුදමය තත්ත්වයක් තුළ ගත කරන ජීවිතයකට වඩා කොටි සංවිධානයට පරම බලය ලැබෙන පාලනයක් තුළ ගත කරන ජීවිතය යහපත් වේ නම්, මේ මොහොතේ දෙමළ ජනයාට තෝරාගැනීමට සිදුවනු ඇත්තේ ද කොටි සංවිධානයට පරම බලය ලැබෙන පාලනයකි. එවැනි පාලනයක් දෙමළ ජනතාවගේ ප්රජාතන්ත්රීය අභිලාෂයන්ට නොගැලපේ නම් ක්රම ක්රමයෙන් හෝ සිය අභිලාෂයන්ට ගැලපෙන පාලනයක් ඇති කරගැනීම සඳහා ක්රියාකළ යුත්තේ ද දෙමළ ජනයාය. දෙමළ ජනයාට ස්වයං පාලනයක් අවශ්ය වේ නම් හා කොටි සංවිධානය සටන් කරන්නේ ඒ වෙනුවෙන් නම් කොටි සංවිධානයෙන් පරිබාහිර ප්රජාතන්ත්රවාදි ස්වයං පාලනයක් ඇතිකිරිමේ හැකියාවක් තිබිය නොහැකිය.