ස්වයං විනාශයකට යෑම

June 22, 2003
Publication:
Ivan asks why the LTTE demands an interim administration it knows the government cannot grant, and argues that it seeks recognition as an equal state, as it did when excluded from the Indo-Lanka Accord. He recalls that the Accord already conceded much the Sinhalese now resent, and that the JVP, which bombed Parliament in 1987, now backs the President's resistance. Examining Sinhala Mahavamsa myths and the Tamil claim to the East, he warns that both leaderships are steering the country towards anarchy.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීම දුෂ්කර ප්‍රහේළිකාවක් වනවා වෙනුවට විසඳිය නොහැකි ප්‍රහේළිකාවක් බවට පත්වෙමින් තිබේ ද?

මුලදි හැම දෙයක්මත් වෙන කවරදාවත් නැති තරම් සුහද හා සාර්ථක ආකාරයකින් ඉදිරියට ගමන් ගන්නා බවක් පෙනෙන්නට තිබුණි. එහෙත් දැන් ඒ ගමන හිරවී තිබෙන්නේ ඉදිරියක් දැකීම පහසු නැති ආකාරයකටය.

සාකච්ඡා මගින් ස්ථිර විසඳුමක් ඇති කරගන්නා තෙක් උතුරු නැගෙනහිර පාලන කටයුතු පවත්වාගෙන යෑම සඳහා කොටි සංවිධානය ද සම්බන්ධ කරගන්නා ආකාරයට අන්තර් පාලනයක් ඇති කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයේදි පොරොන්දු වී තිබුණි.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව එකගතා ගිවිසුමක් ඇතිකර ගනිමින් ආරම්භ කෙරුණු සාකච්ඡාවලදි පළමු වටයේදිම අන්තර් පාලන ප්‍රශ්නය ද මතුවිය. එහෙත් අන්තර් පාලනයක් ඇති කරගන්නට යාමේදි මතුවිය හැකි ව්‍යවස්ථාමය ගැටලු සලකා අන්තර් පාලනයක් වෙනුවට ආණ්ඩුව යෝජනා කළ කාර්ය සාධන බලකායක් ද සහිත කමිටු ක්‍රමය බාරගැනීමට කොටි සංවිධානය එකග විය. එහෙත් ඒ ඇති කළ ක්‍රමය කිසිම යහපත් ප්‍රතිඵලයක් ලබාදිමට හේතුවී නැති බව පසුව කොටි සංවිධානය ප්‍රකාශ කළේය. අන්තර් පාලනයක් අවශ්‍ය යැයි කියන තැනකට කොටි සංවිධානය තල්ලු වූයේ ඉන්පසුවය.

අන්තර් පාලනයක් ලබාදිමට අවශ්‍ය තරම් බලයක් අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට නැති බව දැන දැනම කොටි සංවිධානය අන්තර් පාලනයක් ඉල්ලා සිටින්නේ ඇයි? සාකච්ඡාමය ක්‍රියාවලිය කඩාකප්පල් කොට නැවත යුද්ධයකට යෑමට අවශ්‍ය වී තිබෙන නිසාද? නැතිනම් ප්‍රධාන පක්ෂ දෙකම එකතුවී තීන්දුවක් ගන්නා ලෙසට බලකිරීමට ද? එසේත් නැත්නම් සාකච්ඡාමය ක්‍රියාවලිය ගමන් ගනිමින් තිබෙන ආකාරය පිළිබඳව තමන් තුළ පවත්නා අසතුට බලවත් ලෙස ප්‍රකාශ කරන මාර්ගයක් වශයෙන් ද?

සමාන තත්ත්වයක්

යුද්ධමය වශයෙන් පරාජය කරනු නොලැබූ ඕනෑම ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකදි සමාන තත්ත්වයක් අපේක්ෂා කරයි. එහිදි එවැනි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සාකච්ඡා මේසයේ සිටින ආණ්ඩුවක් කොතරම් සුහද ආකල්පයකින් ක්‍රියා කළ ද ඒ සුහද ආකල්පය තුළ සමාන තත්ත්වයක් නොපවතී නම් සාකච්ඡාමය ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයකට යා හැකිය.

තමන් ද රාජ්‍යයක් නියෝජනය කරන සංවිධානයක් වේය යන්න කොටි සංවිධානයේ ආකල්පය වී තිබේ. තමන් ද භූමි ප්‍රදේශයක් පාලනය කරන බවත්, ඒ භූමි ප්‍රදේශය තුළ තමන්ගේ ම රාජ්‍යයක් තිබෙන බවත් ඊට අධිකරණයක්, පොලිසියක්, යුද්ධ හමුදාවක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවක් හා රේගුවක් තිබෙන බවත්, ඒ රාජ්‍යය යුදමය වශයෙන් යටපත් කිරීමට දරන ලද උත්සාහයන් පරාජය කරමින් එහි පැවැත්ම ආරක්ෂා කරගැනීමට තමන් සමත් වූ බවත්, එක රටක රාජ්‍යයන් දෙකක් තිබීම රටේ පැවැත්මට තර්ජනයක් ලෙස සලකා මේ රාජ්‍යයන් දෙක ඒකාබද්ධ කොට එක රාජ්‍යයක් ඇති කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කෙරෙන සාකච්ඡා, රාජ්‍යයන් දෙකක් අතර කෙරෙන සාකච්ඡා ස්වරූපයක් ගත යුතු බවත් විශේෂයෙන්ම එහිදි දෙපාර්ශ්වයට සම තත්ත්වයක් ලැබිය යුතු බවත් කොටි සංවිධානයේ ආකල්පය වී තිබේ.

මේ හා සමාන ආකල්පයක් ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේදි ද ඔවුන් කෙරෙන් ප්‍රකාශ විය. ජේ.එන්. ඩික්සිත් මහතා ලියා තිබෙන ආකාරයට ඉන්දු-ලංකා ගිවිසුමේදි තමන් ද එහි පාර්ශ්වකරුවකු කරගැනීමෙන් තොරව එය ඉන්දියාවේ රජීව් ගාන්ධි හා ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් කෙරෙන ගිවිසුමක් වීම ප්‍රභාකරන්ගේ විරෝධයට හේතු විය. කොටි සංවිධානය හැමදාමත් කල්පනා කළේ තමන් දෙමළ ජනයාගේ එකම නියෝජිතයා නොවේ නම් ප්‍රධාන නියෝජිතයා බවය. ඉන්දු-ලංකා ගිවිසුමෙන් අපේක්ෂා කළේ ශ්‍රී ලංකා දෙමළ ගැටලුවට විසඳුමක් ලබාදිම නම් ඒ වෙනුවෙන් ඇතිකර ගන්නා ගිවිසුමකට අත්සන් කිරිමේ අයිතිය තමන්ටත් ලැබිය යුතුව තිබුණා යැයි ප්‍රභාකරන් කල්පනා කළා විය හැකිය. සමහරවිට කොටි සංවිධානය ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිවීමට බලපෑ ප්‍රධාන හේතුව ද එය විය හැකිය. තමන් සමාන තත්ත්වයකින් නොසැලකුවේය කියන ප්‍රශ්නය ඉන්දියානු හමුදාවට එරෙහිව යුද්ධ කරන තත්ත්වයක් ඇති කිරිමෙන් ආරම්භ වී එය කෙළවර වූයේ රජීව් ගාන්ධි ඝාතනය කිරිමෙනි.

පළමු කොට තමන්ට නිසි පිළිගැනීමක් ඉල්ලා සිටීම අන්තර් පාලනයක් ඉල්ලා සිටීමේ සැබෑ තේරුම ලෙස සැලකිය හැකිය. අවසාන විසඳුමක් ඇති කරගන්නා තෙක් දෙමළ ප්‍රදේශ පාලනය කිරීමට තමන්ට තිබෙන අයිතිය පිළිගනිමින්, ඒ අයිතිය පවත්වාගෙන යාමට තමන්ට ඉඩ ලැබිය යුතුය යන්න ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ. එයින් දෙනු ලබන ඊළග සංඥාව වනුයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සඳහා කෙරෙන කිසිම කාරියක් තමන්ගේ මූලිකත්වයෙන් තොරව කරන්ට ඉඩ නොදෙන බවය.

ඉන්දු-ලංකා ගිවිසුම

වර්තමානයේ සිංහල ජනතාවගේ විරෝධයට හේතුවී තිබෙන බොහෝ දේවල් බොහොමයක් ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ද ක්‍රියාත්මක විය.

එමගින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ සියලු දෙනාට පොදු සමාවක් ලබා දුන්නේය. උතුරු-නැගෙනහිර ප්‍රදේශ දෙමළ ජනතාවගේ පාරම්පරික ගම් ප්‍රදේශ ලෙස පිළිගනු ලැබීය. උපාය මාර්ග වැදගත්කමක් ඇති ප්‍රදේශවල අලුතෙන් ඉදිකර තිබුණු හමුදා කඳවුරු ඉවත් කරගැනීමට සේ ම, එම ප්‍රදේශවල හමුදා කඳවුරුවල සිටින සියලු දෙනා බැරැක්කවලට සීමා කොට තැබීමට ද එකග වී තිබුණි. අන්තර් පාලනයක් ඇති කිරීමට ද ඒ අන්තර් පාලනයේ බහුතර බලය කොටි සංවිධානයට ලබාදිමට එකග වී තිබුණි. ජේ.ආර්. ජයවර්ධනගේ ඒ වැඩපිළිවෙළට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සේ ම, වර්තමාන ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද පක්ෂ විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සැමියා වූ විජය කුමාරතුංග මහතාට සිය ජීවිතය පූජා කරන්නට සිදුවූයේ ද ඒ වැඩපිළිවෙළට පක්ෂපාතව පෙනී සිටි නිසාය. එම වැඩපිළිවෙළ රට පාවාදිමක් ලෙස සලකා එදා ජනතා විමුක්ති පෙරමුණ නැගී සිටියේය. එල්ටීටීඊයට එරෙහිව නොව, ඉන්දියාවට එරෙහිවය. ඉන්දියාවෙන් ගෙන්වන භාණ්ඩ පරිහරණය කිරීම පවා මරණ දඬුවම ලබාදිමට තරම් බරපතළ වරදක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සැලකුවේය. පළාත් සභා ක්‍රමය රට බෙදිමක් ලෙස සලකා පළාත් සභාවලට තරග කරන අපේක්ෂකයන් පවා මරා දමන පිළිවෙතක් අනුගමනය කළත් අද ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමයට විරුද්ධ නොවනවා පමණක් නොව, පළාත් සභා නියෝජනය කරන බලවේගයක් ද වී සිටී. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ගිවිසුම පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් මුළු කැබිනට් මණ්ඩලය ද ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා පැවති රැස්වීමට (1987 අගෝස්තු 18) ජනතා විමුක්ති පෙරමුණෙන් ගේ‍රනේඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බ ප්‍රහාරයෙන් අපේක්ෂිත ඉලක්කය සාර්ථක වී නම් කැබිනට් මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩු පක්ෂයම සමූල ඝාතනයට ලක්වන්නට ඉඩ තිබුණත්, ඝාතනයට ලක්වූයේ එක් දිස්ත්‍රික් ඇමතිවරයෙක් පමණය. ලලිත් ඇතුලත්මුදලි ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවකට තුවාල සිදුවිය. එදා පාර්ලිමේන්තුවට බෝම්බ එල්ල කළ දේශපාලන ව්‍යාපාරය අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් වී තිබෙනවා පමණක් නොව, එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන නායකයාගේ මස්සිනා විසින් එම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම ද දෛවෝපගත සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

දැන් නැවත වරක් එක්සත් ජාතික පක්ෂය විධායක බලය නැති ආණ්ඩු පක්ෂය බවට පත්වී ඉන්දියාව පමණක් නොව, ලෝක ප්‍රජාවගේ ද සහාය ඇතිව මේ අවුලට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා කොටි සංවිධානය සමග සාකච්ඡා කරන තැනකට පැමිණ සිටින්නේය. එහිදි විධායක බලය ඇතිව විපක්ෂය බවට පත්ව සිටින ශ්‍රීලනිප රගපාන්නට යන භූමිකාව ඉන්දු-ලංකා ගිවිසුමේදි රගපෑ භූමිකාවට සමානය. ජනාධිපතිනිය රගපාමින් සිටින්නේ ද සරල වෙනස්කම් කිහිපයක් ඇතිව එදා ඇගේ මව සිරිමා බණ්ඩාරනායක මැතිනිය රගපෑ භූමිකාවමය. තමන්ගේ සැමියාට මේ ආරවුල වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අතින් මැරුම් කන්නට සිදුවූ බව ද අමතක කරමින් ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇති කරගනිමින් ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා දරන උත්සාහයට එරෙහිව නැගී සිටින තත්ත්වයකට ඇය තල්ලු වෙමින් සිටින්නීය.

මහා ගින්නක පෙර නිමිති

තාමත් රට ගිනිගෙන නැතත්, මහා ගින්නක් ඇතිවීමේ ලකුණු පහළ වෙමින් පවතී. මහ ගින්නක් ඇතිවීමේ ලකුණු පෙනි පෙනීත් එය වළකා ගැනීමේ බලවත් උනන්දුවක් සමාජයට හෝ දේශපාලන පක්ෂවලට තිබෙන බවක් පෙනෙන්නට නැත. ලී ක්වාන් යූ ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලංකාව යනු ජනවාර්ගික ආවේගයන් කළමනාකරණය කරගැනීමට නොදන්නාකම නිසා විනාශවෙමින් තිබෙන රටකි. මහා අවුලක් බවට පත්වී ඇත්තේ පහසුවෙන් විසඳගත හැකිව තිබූ සරල ගැටලුය. මහා අර්බුදයක් බවට පත්වීමෙන් පසුත් සන්සුන්ව හා බුද්ධිමත්ව අවුල ලිහාගන්නවා වෙනුවට අවුල් වැඩි කරගනිමින් සිටින්නේය. අර්බුදය තව තව උත්සන්න කරගැනීම තුළ ජීවත්වෙන්න හදන ජාතියකි. ජාතික ව්‍යසනයකදි පවා පක්ෂ භේද නොසලකා ක්‍රියාකරන්නට සූදානම් නැති ජාතියකි. ඇතිවූ මහා ගංවතුර විපතේදි පවා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පමණක් නොව, විප්ලවකාරි දේශපාලන පක්ෂ ද තමන් බෙදන බත් පැකට්වල පවා පක්ෂයේ නම අලවන තරම් පහත් තත්ත්වයකට පත් දේශපාලන පක්ෂ ක්‍රමයක් මත ක්‍රියාකරන ජාතියකි. ගාමිණී දිසානායක මහතාගේම වචනවලින් කියතොත් “භේදබින්න වී හා පැටලිලි වලට මැදිවී ස්වයං විනාශය කරා පිය නගන රටකි. එය තවදුරටත් පැවතීම පවා ප්‍රාතිහාර්යයකි.”

මේ අර්බුදය මහා ජාතියේ නායකයන් විශාල සංඛ්‍යාවකට මහ පාරේ මැරෙන්නට වන තත්ත්වයක් ඇති කර තිබියදිත් බල පුඩිම අත්පත් කරගැනීමට ඇති කෑදරකම මොහොතකට අමතක කොට එහි ඇති වස විස ඉවත් කරමුයි කියන ආකල්පයක් ඇති කරගැනීමට සමත් වී නැත. මහජනතාව ද මෝඩ බැටලු රැලක් මෙන් තම තමන් තෝරාගත් දේශපාලන පක්ෂ පසුපස ගමන් කරනවා විනා ඒ සියලු දෙනා තමන් රැගෙන යමින් සිටින්නේ පතුලක් නැති ආගාධයකට බව තේරුම් ගැනීමට සූදානම් නැත.

අර්බුදයේ අනෙක් ප්‍රධාන පාර්ශ්වය වී සිටින දෙමළ ජාතිය ඉන්නේ ද තමන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩා හේතු කොටගෙන සන්සුන්ව හා තර්කානුකූලව කරුණු සලකා බැලීමේ හැකියාවක් නැති මානසික තත්ත්වයකය. දැන් උතුරු නැගෙනහිර ඉතිරිවී සිටින්නේ රටින් පලායාමට ආර්ථික ශක්තියක් නැති බොහෝවිට දුගී දුප්පත් අය හා වියපත් අය පමණය. කොටි සංවිධානය කියන ඕනෑම දේකට එකග වෙනවා හැර තර්කානුකූලව කරුණු සලකා බලා තීන්දු ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත.

සිංහල හා දෙමළ මනස

සිංහල විඥානය කෙරෙහි මහා වංශය ඇති කර තිබෙන බලපෑම සුවිශාලය. තමන් වෙනත් ඕනෑම ජාතියකට වඩා වෙනස් විශේෂ සම්භවයක් ඇති සුවිශේෂ ජාතියක් වේ යැයි කල්පනා කරන අතර, ඒ ජාතිය, බුද්ධාගම, සිංහල භාෂාව, සිංහල රට අතර වෙන් නොකළ හැකි සම්බන්ධයක් ඇතැයි ද කල්පනා කරයි. දෙමළ ජනතාව කෙරෙහි ඇති පසමිතුරු ආකල්පය කෙරෙහි ද තමන්ට හිමි දියුණු හා දිර්ඝ ශිෂ්ටාචාරය විනාශ කිරීමට හේතුවූ පරසතුරු දුෂ්ට ආක්‍රමණ පිළිබඳ ඉතිහාස කතා බලපායි. සිංහල ජනයා රටේ බහුතර ජාතිය වුවත්, දෙමළ ජනයා දකින්නේ ද යාපනේ ළග අසල්වැසි තමිල්නාඩුවේ දෙමළ ජනයා ද එකට ගෙන ඔවුන් ඉදිරියේ තමන් සුළු ජාතියක් වේය කියන හැගීම මත පිහිටාය. තමන් අතින් දෙමළ ජනතාවට කිසිම අසාධාරණයක් වී නැතැයි කියන මිත්‍යාව ද සිංහල මනස තුළ රජ කරයි. යුදමය වශයෙන් තමන් සිටින ජයග්‍රාහී නොවන තත්ත්වය ඉදිරියේ යුද්ධයකින් තොරව සිටින්නට සිංහල ජනයා තුළ කැමැත්තක් ඇතත්, මේ ආරවුල විසඳ ගැනීමට දෙමළ අයිතිවාසිකම් ලබාදෙනවා දකින්නට ද කැමති නැත. මේ ආරාවුල දෙමළ ජනයා කෙරෙහි ඇති කර තිබෙන විනාශයේ තරම පිළිබඳව බලවත් කම්පනයක් සිංහල මනස තුළ නැත. උතුරේ ඇතිවී තිබෙන අතිවිශාල විනාශය ගැන ඔවුන් තුළ අවබෝධයක් නැතිවා සේ ම, එය අවබෝධ කරගැනීමේ වුවමනාවක් ද ඔවුන් තුළ නොපවතී.

තමන්ට අහිමි කර තිබෙන අයිතිවාසිකම් දිනාගැනීමේ අරමුණට සීමා නොවී තමන්ගේ ප්‍රමාණයේ තරමට වඩා ලොකුවට හිතන ගතියක් දෙමළ මනස තුළ පවතී. එය ද සිංහල මනස බියගැන්වීමට හේතුවී තිබෙන සාධකයකි. ඉන්දු-ලංකා ගිවිසුම මගින් ද තහවුරු කොට ඇති උතුරට අතිරේකව නැගෙනහිර ප්‍රදේශය ද තමන්ගේ පාරම්පරික ගම් ප්‍රදේශ වේ යැයි කියන මතය දෙමළ දේශපාලන මනස තුළ රජ කරන මිත්‍යාවකි. මෙවැනි මිත්‍යාවක් දෙමළ මනස තුළ ඇතිකර ගැනීමට අවශ්‍ය වන්නට ඇත්තේ තමන්ගේම වන ප්‍රබල රාජ්‍යයක් සඳහා වඩා විශාල භූමි ප්‍රදේශයක් තමන්ට තිබිය යුතුයි කියන මතය සලකා විය හැකි වුවත්, ඒ මිත්‍යාව දෙමළ අරගලයට අවසානයක් දැකීමට තිබෙන හැකියාව සීමා කිරීමට හේතුවී තිබේ. නැගෙනහිරට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමකින් තොරව ස්වයං පාලන අයිතිය තමන් දැන් ජීවත් වන භූමි ප්‍රදේශ ලෙස සැලකිය හැකි උතුරට පමණක් සීමා කරගන්නේ නම්, දෙමළ අරගලය යථාර්ථවාදි හා ඉක්මන් අවසානයක් දැකිය හැකි දෙයක් වන්නට ඉඩ තිබුණ. නැගෙනහිර ප්‍රදේශ සඳහා ඉදිරිපත් කරන අයිතිය දෙමළ අයිතිවාසිකම් සඳහා කරන අරගලය සංකීර්ණ කොට එය තර්කානුකූල අවසානයක් දැකිය නොහැකි අරගලයක් බවට පත්කිරීමට හේතුවී තිබේ.

දුටුගැමුණු-එළාර සටන

මේ දෙවර්ගයා අතර වර්තමානයේ පවත්නා අරගලය දුටුගැමුණු – එළාර යුද්ධයේ ඓතිහාසික පුනරාවර්තනයක් ලෙස සැලකිය නොහැකිය. උග්‍ර දෙමළ විරෝධී ආකල්පයක පිහිටා ලියා ඇති මහාවංශයේ පවා එළාර විග්‍රහ කොට ඇත්තේ ධර්මිෂ්ඨ රජ කෙනෙකු ලෙසය. මහා මිනිස් සංහාරයක් ඇතිවීම වළකනු පිණිස දුටුගැමුණුට ද්වන්ද්ව සටනකට ආරාධනා කළේ එළාරය. එළාර අසූවිය ඉක්මවූ මහල්ලෙකු වනවිට දුටුගැමුණු විසි ගණන් වයසැති තරුණයෙකු විය. ද්වන්ද්ව සටනින් ජයගන්නා පුද්ගලයාට රාජ්‍යයේ බලය හිමිවන බව ද ප්‍රකාශ කොට තිබුණි. දුටුගැමුණු මේ ද්වන්ද්ව සටනින් එළාර මරා රාජධානියේ පාලකයා බවට පත්විය. එහෙත් දුටුගැමුණු එළාරගේ මෘත ශරිරය කපා කොටා කැනහිලුන්ට කන්න ඉඩ හැරියේ නැත. මහත් ගෞරවයෙන් අවසන් කටයුතු සිදු කළා පමණක් නොව, ඒ වෙනුවෙන් ඉදිකළ ස්මාරකය අසළින් ගමන් ගන්නා විට ඊට ගරු සැලකිලි දක්වන ක්‍රමයක් ද ඇති කළේය. යුද්ධයෙන් මරා දැමුවේ දෙමළුන් වුවත්, ඔවුන් මනුෂ්‍යයන් නේද කියන කම්පාවක් මරණ මංචකයේදි හෝ දුටුගැමුණු තුළ ඇතිවීමෙන් පෙනී යන්නේ වර්තමාන සිංහලයින්ට නැති හෘද සාක්ෂියක් එදා දුටුගැමුණුට තිබුණු බවය.

එහෙත් වර්තමාන අරගලයේ සිංහල ජාතික නායකත්වය මූර්තිමත් කරන්නේ දුටුගැමුණු කෙනෙකු වෙනුවට කාවන්තිස්ස කෙනෙකි. දෙමළ ජාතික නායකත්වය මූර්තිමත් කරන්නේ ද එළාර කෙනෙකු වෙනුවට ඕනෑම ජන සංහාරයකට සූදානම් සිත් පිත් නැති කෘර නායකයෙකුගේ චරිතයකි. එය සිංහල සමාජය විසින් කලක් තිස්සේ දෙමළ ජනයාට එරෙහිව මුදාහරින ලද සාහසිකත්වයේ තර්කානුකූල ඵලයක් ලෙස ද සැලකිය හැකිය.

එක්කෝ මේ දෙපාර්ශ්වය නියෝජනය කරන සමාජය බුද්ධිමත් විය යුතුය. නැතිනම් ඔවුන් මෙහෙයවන නායකයින් බුද්ධිමත් විය යුතුය. ඒ දෙපිරිසම අඥානව ක්‍රියා කරන තත්ත්වයක් ඉදිරියේ සිදුවිය හැක්කේ දෙපාර්ශ්වයම එකිනෙකා අතින් විනාශ වන තත්ත්වයකට රට යොමුවීමය.

දැන් තිබෙන තත්ත්වය යටතේ එජා පෙරමුණු ආණ්ඩුව හා පොදු පෙරමුණ අතර එකගත්වයක් ඇති කරගනිමින් කොටි සංවිධානය ඉල්ලා සිටින අතර, අන්තර් පාලනය ඔවුන්ට ලබාදිය හැකි තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. ඒ තත්ත්වය තුළ ඇතිවිය හැකි අවුල් මනා ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් රට තුළ අරාජික තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.