ජාතික ආණ්ඩුවක් හරහා හෝ අවුල ලිහාගත යුතු ය

June 22, 2003
Publication:
The government lacks the constitutional power to grant the interim administration the LTTE demands, and the main parties' power struggle blocks consensus. The editorial proposes a two-year national government to agree a solution, negotiate with the LTTE and identify principles for a new constitution, followed by an election open to the LTTE and a constituent assembly of all elected members.

සාම කතාවල ඇතිවී තිබෙන අවුල තවදුරටත් පල්වෙන්නට ඉඩ නොහැර ලිහාගැනීමට අසමත් වෙතොත් මුළු රට ම අවුලක් බවට පත්වීමේ අවදානමක් පවතී.

කොටි සංවිධානය අන්තර් පාලනයක් ඉල්ලා සිටියත්, අන්තර් පාලනයක් ලබාදිමේ ව්‍යවස්ථාමය බලයත් එජා පෙරමුණට නැත. එවැනි පියවරකට අත තැබිය හැකිවනු ඇත්තේ එජාප හා පොදු පෙරමුණ අතර පොදු එකගතාවක් ඇති කරගත හැකි නම් පමණ ය.

එහෙත් මේ පක්ෂ දෙකේ බලකාමී හැසිරිම අනුව දෙපක්ෂය අතර පොදු එකගතාවක් ඇති කරගැනීම පහසු නැත.

මෙවැනි අර්බුදකාරි අවස්ථාවකදි පොදු එකගතාවකට බල පොරයෙන් එල්ල වන හානිකර බලපෑම අවම කරගැනීම සඳහා යොදාගත හැකි එක් පිළියමක් වනුයේ බල තරගය තාවකාලික ලෙස අවසන් කළ හැකි ආකාරයට මේ දෙපක්ෂය අතර බලය බෙදාගන්නා වැඩපිළිවෙළකට යොමුවීම ය. ඉලක්කගත වැඩපිළිවෙළක් සඳහා සීමිත කාලයකට තාවකාලික ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීම මේ අර්බුදයට මුහුණ දිය හැකි එක් සාර්ථක ක්‍රමයකි.

එවැනි ජාතික ආණ්ඩුවක අරමුණ විය යුත්තේ ජනවාර්ගික ප්‍රශ්නයට පොදු එකගත්වයක් ඇතිව විසඳුමක් ඉදිරිපත් කිරීම, ඒ විසඳුම සඳහා කොටි සංවිධානය සමග සාකච්ඡා කිරීම, ඔවුන් සමග ද පොදු එකගතාවක් ඇති කරගනිමින් රාජ්‍යය නැවත ප්‍රතිසංවිධානය කිරීමට හේතුවන ලෙස නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන මූලධර්ම හඳුනාගැනීම යන කාරණා ය.

අවුරුදු දෙකක් වැනි සීමිත කාලයක් සඳහා ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමට හැකිවේ නම් හා නැවත ඒ ජාතික ආණ්ඩුවට කොටි සංවිධානය සමග ප්‍රතිසංස්කරණ සඳහා වන පොදු එකගතාවක් ඇති කරගැනීමට හැකිවේ නම් ඉන්පසු කොටි සංවිධානයටද සහභාගි විය හැකි ආකාරයට මැතිවරණයක් පැවැත්විය හැකි ය. ඒ මගින් කොටි සංවිධානය පරිධියට සීමා නොකොට කේන්ද්‍රයට සම්බන්ධ කරගැනීමට අවස්ථාවක් ලබාගත හැකි ය. ඉන්පසු අලුතෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වන සියලු දෙනා ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවකට යමින් එකගතාව ඇති කරගත් මූලධර්ම මත පිහිටා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගත හැකි ය.

ජාතික ආණ්ඩුවක් සඳහා වන එවැනි එකගතාවක් ඇතිකර ගැනීම පහසු නැතත්, එවැනි ක්‍රමයකින් හැර මේ අර්බුදය ජයගැනීම ද අමාරු ය. අනෙක් අතට ඇතිවී තිබෙන අවුල එවැනි ආකාරයකින් හෝ ලිහා ගැනීමට නොහැකි වෙතොත්, එහි ප්‍රතිවිපාක මුළු රටට ම විඳින්නට සිදුවනු නො වැළැක්විය හැකි ය.