ඉරාක යුද්ධය

April 6, 2003
Publication:
The editorial welcomes a Supreme Court ruling, on a Batticaloa voter's petition over 55,000 people in an LTTE-held area being prevented from voting, which ordered compensation from the army commander and censured the Elections Commissioner, recalling that the President was allowed to vote from her residence in 1999. It argues that senior officials such as the Elections Commissioner and Attorney General, who served ruling parties and stood by during Tony Fernando's jailing, have done more harm than politicians.

එල්ටීටීඊ බල ප්‍රදේශයක සිටි තමන් ඇතුළු 55,000කට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ නොදිමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කර ඇති බවට චෝදනා කරමින් මඩකලපුවේ වැසියකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දි තිබෙන තීන්දුව ඉතා වැදගත් ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකිය හැකිය. මේ තීන්දුවෙන් ඒ වරදට සම්බන්ධ හමුදාපතිවරයාට විශාල වන්දියක් ගෙවීමට නියම කිරිමෙන් නොනැවතී මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපය ද දැඩි දෝෂාරෝපණයට ලක් කොට තිබේ.

99 ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරිමෙන් පසුව ජනාධිපතිනිය තමන් කැමති පිටස්තර පුද්ගලයෙකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයේ තබාගෙනය. එම මැතිවරණයේදි බෝම්බ පිපිරිමකින් තුවාල ලබා සිටි ජනාධිපතිනියට සිය මන්දිරයේ සිට ඡන්දය පාවිච්චි කිරිමේ අවස්ථාව දෙනු ලැබීය. ඒ සම්ප්‍රදාය ඉන්පසු පවත්වන ලද මැතිවරණවලදි ද ක්‍රියාත්මක ය.

ඡන්ද ප්‍රකාශ කිරිමේදි, කිසිම පුද්ගලයෙකු උසස්, පහත් හෝ සුවිශේෂ වන්නේ නැත. මෙය මුළු ලොවටම පොදු මූලධර්මයකි. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා තම දැනුම ඇතිව හෝ නැතිව මේ මූලධර්මය උල්ලංඝනයවීමට ඉඩ දුන්නේ ය. ඒ මගින් මහජනයා ප්‍රවේණිදාස පිරිසකගේ තත්ත්වයට ඇද දැමුවේය. එය මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය නොමැතිව සිදුවූවක් නම් ඊට වගකිවයුතු නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසා ඔවුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාකිරිමේ වගකීමක් මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණි. අද අපි මේ ගැන කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් එසේ කියන නිසා නොව එය වරදක් බව ඒ වරද සිදුවූ අවස්ථාවේම ප්‍රකාශ කළ පුවත්පතක් වශයෙනි.

හැම රාජ්‍ය නිලධාරියෙකුම තමන් වෙත පැවරි තිබෙන වගකීම් හා තනතුරේ ගෞරවයට හේතුවන ලෙස ඉටු කළ යුතුය. ලංකාව මෙවැනි කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටී තිබෙන්නේ දේශපාලකයින්ට වඩා ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරින්ගේ නෝන්ජල් ක්‍රියා කලාපය නිසාය. මෙය මැතිවරණ කොමසාරිස්වරයාට පමණක් ආවේණික ලක්ෂණයක් නොව, නීතිපති, විගණකාධිපති, භාණ්ඩාගාර ලේකම් වැනි ප්‍රධාන තනතුරු දරන බොහෝ ප්‍රමුඛ පෙළේ නිලධාරින්ට ආවේණික පොදු ලක්ෂණයකි.

නීතිපති පොදු මහජන වැදගත්කමක් ඇති කාරණාවල නිල ආරක්ෂකයාය. එහෙත් ඒ විෂයට අදාළ එවැනි වගකීමක් තමන්ට ඇති බව නීතිපති දන්නේ නැත. හැම නීතිපතිවරයෙකුම ක්‍රියාකරන්නේ හරි වරද නොසලකා බලයේ සිටින පාලක පක්ෂයේ අවශ්‍යතාවන්ට අනුකූලවය. අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසම වගඋත්තරකරුවන් කරමින් ටෝනි විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේදි අගවිනිසුරු ඒ නඩුව තමන් ඉදිරියේ විභාගයට ගෙන ටෝනිට සිරදඬුවම් පැමිණවීමේ අවමාන සහගත සිද්ධියේදි අන් සියලු දෙනාට ප්‍රථම ඒ වරද නිවැරදි කිරීම සඳහා මැදිහත් විය යුතුව තිබුණු පුද්ගලයා නීතිපතිවරයාය. පාර්ලිමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් පනවන තැනකට ගිය අවස්ථාවේදි නීතිපතිවරයාගේ වගකීම විය යුතුව තිබුණේ ඒ වැරැද්දට අනුබලදිම හෝ ඒ ඉදිරියේ ඇස් වසාගෙන සිටීම නොව, එවැනි බරපතල වරදකට ඉඩ නොදෙන තත්ත්වයකින් ක්‍රියාකිරීමය. එහෙත් ඒ හැම අවස්ථාවකදිම සිදුවූයේ නීතිපති ද වරදේ දැනුවත් කොටස්කරුවකු බවට පත්වීමටය.

වර්තමාන අගවිනිසුරුවරයාගේ පාලනය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට මහජනයා පීඩාවට පත් කරන ආයතනයක තත්ත්වයට ඇද වැටී තිබේ. ටෝනිගේ සිද්ධිය පමණක් ඒ නඩුව විමසූ විනිසුරුවරුන් තිදෙනාම දෝෂාභියෝගයකට ලක්කිරීමට ප්‍රමාණවත්ය. තමාට එරෙහිව පවරන ලද නඩුවක් තමා නොඇසිය යුතුය කියන මූලධර්මයවත් ඒ විනිසුරුවරුන් නොදැන සිටියහ.

රට කම්මුතු වෙමින් තිබෙන්නේ ආත්මාර්ථකාමී දේශපාලකයින්ට වඩා සිය වගකීම් ඉටු නොකරන රාජ්‍ය නිලධාරින් නිසාය. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන්ට එරෙහිවය.