පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් බලා ගිය ජනාධිපතිනිය පිළිගැනීමට ජනාධිපතිනියගේ දරු දෙදෙනා රොනී පිරිස් සමග හීතෘ ගුවන් තොටුපොළට පැමිණ සිටි බවත් ජනාධිපතිනිය පිළිගැනීමෙන් පසුව ඒ සියලු දෙනා රොනී පිරිස්ට අයත් නවීන සුඛෝපභෝගී බෙන්ස් රථ දෙකක නැගී එංගලන්තයේ කෝටිපතියන් වෙසෙන හාටි ෆොඩ්ෂයර් ප්රදේශයේ ඇති රොනී පිරිස්ගේ මන්දිරය බලා ගිය බවත් පුවත් පත් වාර්තා කර තිබුණි. විපතට පත් පුද්ගලයකුට උපකාර කිරිමෙන් එලොව දි පමණක් නොව මෙලොව දි ද පළ ලැබිය හැකි බව රොනී පිරිස්ගෙන් රටට උගත හැකි ආදර්ශයකි. විජය කුමාරතුංග ඝාතනයෙන් පසු සිය දරු දෙදෙනා සමග රටින් පළා ගිය චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ දුක සැප සොයා බලාගත් පුද්ගලයා වූයේ රොනී පිරිස් ය. රොනී පිරිස් එකල ධනවතකු ලෙස සැලකිය හැකි පුද්ගලයකු නොවූවත් ඔහු තමන්ගේ ශක්ති පමණින් මේ පිරිස බලාගත්තේ ය. ජනාධිපතිනිය ම ප්රකාශ කර තිබෙන ආකාරයට එකල එහි ගතකළ ජීවිතය සැපවත් ජීවිතයක් නොවී ය. ජීවත්වීම සඳහා අනුන්ට පර වැඩ කරන්නට ද සිදුවූයේ ය.
එංගලන්තයේ දි තමන් ආධාර කළ තැනැත්තිය ශ්රී ලංකාවේ රජ වීමත් සමග රොනී පිරිස්ට හොඳ කලක් ලැබුණේ ය. තමන් කරන ලද උපකාර වෙනුවෙන් මිල කරන්නට බැරි තරම් ප්රති උපකාර ආපසු ලැබුණේ ය. අමාරුකම් තුළ ජීවත් වූ රොනී පිරිස් වසර කිහිපයක් තුළ කැපී පෙනෙන ධනවතකු බවට පත් විය. නැවත ජනාධිපතිනියට රට අතහැර එංගලන්තයට යන්නට සිදුවුවහොත් එහි ජීවත් වීම සඳහා නැවත පර වැඩ කරන්නට හෝ අමාරුකම් මැද ජීවත් වන්නට සිදුවනු ඇතැයි බියක් ඇතිකරගන්නට හේතුවක් නැත. තමන්ගේ පරම්පරා දහයක් ජීවත් කරනවාට අමතරව බණ්ඩාරනායක පරම්පරා දහයක් වුව ද සැපවත් ලෙස ජීවත් කරවීමට දැන් රොනී පිරිස්ට මුදල් තිබේ. ඔහුට ජනාධිපතිනිය කෙලෙහි ගුණ සැලකුවා සේ ම ඔහු ද ජනාධිපතිනියට කෙලෙහිගුණ සලකනු ඇතැයි සිතිය හැකි ය.
රොනීගෙන් උගත හැකි ලොකුම පාඩම වනුයේ හොඳ සල්ලිකාරයකු වීමට අවශ්ය නම් රාජ්ය නායකයකුගේ සමීප මිතුරකු වීමෙන් පමණක් ඒ ඉලක්කය ඉටුකරගත හැකි බව ය. එහෙත් රොනී පිරිස් වර්ගයේ පුද්ගලයින් පොදු පෙරමුණු ආණ්ඩුවකට පමණක් ආවේණික දෙයක් නොවන බව ද කිව යුතු ය. එවැනි සුවිශේෂ චරිත ඊට පෙර බලයේ සිටි යූඑන්පී ආණ්ඩු කාලවල දි සේ ම දැනුදු සිටින්නේ ය. රොනී පිරිස් කෙරෙහි මහත් ඊර්ෂ්යාවෙන් බලා සිටි සමහරු අද රොනී පිරිස්ගේ ද ඊර්ෂ්යාවට හේතුවන ලෙස රොනී පිරිස්ලා වී සිටිති.
එජාප බලයට එන්නට පෙර සේ ම බලයට ආ අලුත ද රොනී පිරිස්ලා ගැන බොහෝ දේ කතා කළේ ය. සිදු වී තිබෙන අයථා ගනුදෙනු පිළිබඳව සොයා බලන බව පුන පුනා කියා සිටියේ ය. ඒ ගාම්භීර කටවල් අද නිහඬ ය. අනුන් විසින් කරන ලද වැරදි ගැන සොයා බැලීමේ අයිතිය ලැබෙන්නේ තමන් ඒ වැරදි නොකරන්නේ නම් පමණ ය. තමන් ද ඒ වැරදි කරන්නට බලාපොරොත්තු වන්නේ නම් කළ හැකි හොඳම දේ නිහඬව සිටීම ය. දැන් වෙමින් තිබෙන්නේ ද එයයි.
බළලා මල්ලෙන් එළියට පැනීම
ජනාධිපතිනිය ලන්ඩන්වල දි කරන ලද දේශනයක දි පොදු පෙරමුණු ආණ්ඩුව ඉදිරියට ගෙනා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ නිර්මාණ අයිතිය පදනම් කොටගෙන ජී.එල්. පිරිස් ඇමතිවරයා විවේචනය කර තිබේ. එම ව්යවස්ථාව තමන්ගේ නිර්මාණයක් ලෙස හඳුන්වා ගනිමින් ලකුණු දා ගැනීමේ උත්සාහයක ජී.එල්. නිරත වී සිටින බවත්, එහෙත් එහි ජී.එල්.ගේ කිසිවක් නැති බවත් ඊට ඇතුළත්ව ඇත්තේ සරත් සිල්වාගේ, ජයම්පති වික්රමරත්නගේ දේවල් පමණක් බවත් ඇය එහි දි ප්රකාශ කර තිබේ.
ඇගේ නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරිමේ කාර්යයට සරත් සිල්වා සහභාගී වූයේ නම් එම කෙටුම්පත අධිකරණ විමර්ශනයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දි එය සරත් සිල්වා ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විමර්ශනයට ගැනුණේ කෙසේද? එම කෙටුම්පත සරත් සිල්වා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විමර්ශනය කරනවාට නීතිඥ එස්.එල්. ගුණසේකර මහතා විරුද්ධ වූයේ ය. කෙටුම්පත සකස් කිරීමට සරත් නන්ද සිල්වා මහතා සම්බන්ධ නිසා ඒ මහතා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ කෙටුම්පත විමර්ශනය කරනවාට තමන් විරුද්ධ බව එස්.එල්. ගුණසේකර මහතා ඒ අවස්ථාවේ දි ප්රකාශ කළේ ය. එහෙත් අගවිනිසුරුවරයා ඒ විරෝධය තුට්ටුවකටවත් මායිම් කළේ නැත.
එයින් පෙන්නුම් කෙරෙන්නේ උත්තරිතර අධිකරණයේ කටයුතු සිදුවෙමින් තිබෙන ශිෂ්ට සම්පන්න නොවන ආකාරය ය. එය අගවිනිසුරු වැනි ධූරයක් දරන පුද්ගලයකු විසින් නොකළ යුතු තරම් බරපතල වරදක් වනවා සේ ම එය ජනාධිපතිනියගේ ද අනුදැනුම ඇතිව සිදුවූ වරදක් වීමෙන් එහි බරපතලකම වඩාත් තීව්ර වේ.
නීලන් ගැන බාලසිංහම් කියන රස කතා
මාර්තු 12 වැනි දා කිලිනොච්චියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දි ඇන්ටන් බාලසිංහම් නීලන් තිරුචෙල්වම් පිළිබඳව අපූරු ප්රකාශයක් කර තිබුණි.
ඒ අනුව නීලන් තිරුචෙල්වම් 1996 දි ආණ්ඩුක්රම ව්යවස්ථාවට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ බලය බෙදාහැරිමේ වැඩ පිළිවෙළ ඔවුන්ට ද පිළිගත හැකි තත්ත්වයක පවතී. ඉන් පසු එය පදනම් කොටගෙන එහෙත් ඊට ඇතුළත් සමහර වැදගත් කරුණු විකෘති කෙරෙන ආකාරයට පොදු පෙරමුණු ආණ්ඩුව සකස් කරන ලද නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත ඔවුන්ට පිළිගත හැකි තත්ත්වයක නැත.
නීලන් මරා දමන ලද්දේ කොටි සංවිධානය විසිනි. ඒ ඔහු ජාතියට ද්රෝහිකම් කරන ලද පුද්ගලයකු ලෙස සලකා ය. එහෙත් අද ඒ කොටි සංවිධානයට ම නීලන් ගැන ප්රශංසාවෙන් කතා කරන්නට සිදු වී තිබේ.
කොටි සංවිධානයට ඔහුගේ ජීවිතය තුරන් කිරිමේ හැකියාවක් තිබුණත් ඔහු ද්රෝහියකු නොවන බව තේරුම් ගැනීමෙන් පසුව ඔහුට ජීවිතය දිමේ හැකියාවක් ඊට නැත. අනුන්ගේ ජීවිත සමග ගනුදෙනු කරන කවර ප්රචණ්ඩ දේශපාලනයක් වුවත් යුක්ති සහගත නොවන්නේ ඒ නිසා ය.
මේ වරද කොටි සංවිධානයට පමණක් ආවේණික දෙයක් නොවන බව ද කිව යුතු ය. ඒ වැරද්ද ද දෙමළ කොටි සංවිධානය සේ ම සිංහල ජනතා විමුක්ති පෙරමුණ ද කළේ ය. බලයේ සිටි විවිධ ආණ්ඩු ද ඒ වරද කළේ ය. ඒ බල කණ්ඩායම් තුන අතින් ඝාතනයට ලක්වූ පුරවැසියන් ගණන ඉතා විශාල ය. ඇතිකරගන්නට යන සාමයේ එක් ප්රධාන අරමුණක් විය යුත්තේ මින් පසු කවර පක්ෂෂයකට හෝ ආණ්ඩුවකට මිනිසුන් ඝාතනය කිරීමට හිංසාවන්ට ලක් කිරීමට ඉඩක් නොලැබෙන සමාජ පරිසරයක් ඇතිකර ගැනීම ය.
බාලසිංහම්ගේ ඒ කතාවෙන් කියැවෙන තවත් වැදගත් කරුණක් ද පවතී. පොදු පෙරමුණු ආණ්ඩුව ඉදිරිපත් කළ ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් බලය බෙදාහැරිමේ වැඩ පිළිවෙළට කොටි සංවිධානය එකග නැතත් නීලන්ගේ ව්යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුලත් බලය බෙදාහැරිමේ වැඩ පිළිවෙළට ඔවුන් එකග බව ය. එය එසේ නම් බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළක් පිළිබඳව කෙරෙන සාකච්ඡා පටන්ගත යුත්තේ එතැනින් නොවේද? එය මෙම ව්යසනයේ ම රුදුරු ගොදුරක් බවට පත් වූ නීලන් වෙනුවෙන් දැක්විය හැකි හොඳ උපහාරයකි.
අපරාධය හා දඬුවම
ටෝනි සිරගෙට යවා 6 වැනි දාට දින 60කි. ටෝනිට දෙන ලද සිර දඬුවම නීති විරෝධී බවත් ඔහු නිදහස් කර ගැනීම සඳහා ප්රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව විෂය භාර ඩාටෝ පරම් කුමාරස්වාමි මහතා ශ්රී ලංකාවේ නීතිඥ සංගම් ව්යාපාරයෙන් ප්රසිද්ධියේ ඉල්ලා සිටියේ ය. ඔහු ශ්රී ලංකා නීතිඥ සංගමයේ ආනන්ද විජේසේකර මහතාට දුරකථනයෙන් කථා කොට ටෝනි නිදහස් කර ගැනීම සඳහා ක්රියාකරන ලෙස ඉල්ලා සිටියේ ය. පරම් කුමාරස්වාමි මහතා ටෝනි වෙනුවෙන් ඒ ප්රසිද්ධ ප්රකාශය කොට 6 වැනිදාට දින 29කි. එහෙත් තවමත් ටෝනි වෙනුවෙන් කිසිවෙක් අධිකරණයට ප්රතිශෝධන අයදුම්පතක් වත් ඉදිරිපත් කොට නැත.
අපේ රටේ විශ්රාමලත් අගවිනිසුරුවරුන් තිදෙනෙක් ද විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශාල පිරිසක් ද නාමධාරි නීතිඥයින් සියයකට වැඩි පිරිසක් ද සිටින්නේ ය. එහෙත් ඒ කිසිවකුට පරම් කුමාරස්වාමිගේ හඬ කණ වැකී නැත. තමන් ජීවත්වන ගාම්භීර නම්බුකාර ලෝකයේ තමන්ගේ ප්රධානියා අතින් බරපතල අපරාධයක් සිදු වී ඇති බව පෙනී නැත.
අපි නූගත් රස්තියාදුකාරයන් අතින් සිදුවන සාහසික අපරාධ ගැන, පොලිස්කාරයින් අතින් සිදුවන වධ හිංසාකිරීම් ගැන කතා කරමු. යුක්තිය පසිඳලීම පිණිස රටේ තිබෙන ඉහළම ආයතනය විසින් දරුණු අපරාධයක් කර ඇතත් ඒ ඉදිරියට සහන පතාගෙන පැමිණි පුද්ගලයකු නීති විරෝධී ලෙස සිරගත කිරීම මගින් ඒ පුද්ගලයා කෘර වධහිංසාවකට ලක්කර ඇතත් අපි ඒ ගැන කතා කරන්නට සූදානම් නැත.
ටෝනිට සිදුකර ඇත්තේ අපරාධයකි. ඒ අපරාධය සිදු වී ඇත්තේ අගවිනිසුරු ද ඇතුළත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු අතිනි. පුද්ගලයකු කෘර වධහිංසාවන්ට ලක්කිරීම හෝ අවමන් සහගත සැලකිලිවලට භාජනය කිරීම යන අපරාධ සඳහා ශ්රී ලංකාව ජාත්යන්තර ප්රඥප්තියට අත්සන් තබා ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ නීතියක් ද නීතිගත කළේ ය. ඒ නීතිය යටතේ පුද්ගලයකු කෘර වධ හිංසාවන්ට ලක් කරන හෝ අවමන් සහගත සැලකිලිවලට භාජනය කිරීම යන අපරාධ සඳහා දිය හැකි අවම දඬුවම හත් අවුරුදු සිර දඬුවමකි.