ජේවීපි -පීඒ සභාගයක් වෙනුවට යූඑන්පී -පීඒ සභාගයක්

March 30, 2003
Publication:
The piece maps the calculations behind the PA–JVP rapprochement: Mangala Samaraweera and Anura Bandaranaike pushed for a firm alliance to topple the government, Wimal Weerawansa championed it in the JVP, while the President, wary of a snap election and focused on her own political survival, would not commit. Ranil Wickremesinghe held on until the aid conference and internationalised the peace process; a referendum on it could isolate the JVP and lead to a UNP–PA coalition, which could be good or dangerous.

ජේවීපීය දරන අදහස්වලට ආවේණික සීමා නොසලකා එය සමග ස්ථිර සන්ධානයක් ඇති කරගනිමින් නොපමාව ආණ්ඩුව පෙරළා බලය අල්ලා ගත යුතුයි කියන මතය දරන කිහිපදෙනෙකු ජනාධිපතිනියට සමීප අය අතර සිටියේය. මේ මතවාදය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධානම පුද්ගලයා වූයේ මංගල සමරවීරය. අනුර බණ්ඩාරනායක ඉන්නේ ද ඊළග ජනාධිපති අපේක්ෂකයා තමා විය යුතුයි කියන මතයකය. ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා ජේවීපී සහාය අත්‍යාවශ්‍ය වේ යැයි කල්පනා කළ අනුර බණ්ඩාරනායක ද ජවිපෙ සමග ඇති කරගන්නා ස්ථිර සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටියේය.

ජේවීපීය සිටියේ ද තිබෙන පන්තිමය හා දෘෂ්ටිමය වෙනස්කම් නොසලකා පොදු පෙරමුණ සමග සන්ධානයකට යමින් ජනාධිපතිනිය ලවා විධායක බලය යොදවා හෝ ආණ්ඩුව පෙරළා දමා පොදු පෙරමුණ සමග ආණ්ඩුවක් ඇති කරගත යුතුයි කියන මතයකය. එසේ ගොඩ නගන ආණ්ඩුවක් එක්තරා විශාල ප්‍රමාණයකට තමන් කැමති දිසාවකට ගෙනයා හැකිවනු ඇතැයි ද ඔවුන්ගේ මතය වී තිබුණ. එතෙර සිටින සෝමවංශ අමරසිංහගේ ද ආශිර්වාදය ඇතිව ඒ මතය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පුද්ගලයා වූයේ විමල් වීරවංශය.

විමල් වීරවංශ මගින් ජවිපෙට බලපෑමේ හැකියාවක් මංගල සමරවීරට තිබුණු අතර මංගල සමරවීර මගින් ජනාධිපතිනියට බලපෑමේ හැකියාවක් විමල් වීරවංශට ද තිබුණි. ඉතා ඉක්මනින් දෙපක්ෂය එකට එකතු වී ආණ්ඩු බලය අල්ලා ගන්නේ යැයි කියන අදහස දෙපක්ෂයේම පාක්ෂිකයන් අතර ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවී තිබුණා සේ ම එය රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් පිළිබඳ හැගීමක් ද ඇති කිරීමට හේතුවී තිබුණ. ඒ තත්ත්වය යම් පමණකට සාම කතා කෙරෙහි ද බලපෑවේය.

ජනාධිපතිනියට සමීප අය අතර මංගල කල්පනා කරන ආකාරයට වෙනස්ව කල්පනා කරන පිරිසක් ද සිටියේය. එයින් එක් පිරිසක් දරනු ලැබූ මතය වූයේ ජවිපෙ සමග එකතු වී ආණ්ඩු බලය ලබාගත්ත ද, එසේ ගොඩ නගන ආණ්ඩුවකට එක් අඩියක්වත් ඉදිරියට යා නොහැකි බවය. ජවිපෙ සමග ස්ථිර සන්ධානයකට යන බව පෙන්වා ආණ්ඩුව තුළ චකිතයක් ඇති කරවා ආණ්ඩුව සමග එකට එකතු වී ජාතික ආණ්ඩුවකට යාම වඩා උචිත බව ඔවුන්ගේ මතය විය.

ජනාධිපතිනිය දේවල් දකිමින් සිටි ආකාරය ඒ සියලු දෙනාට වඩා වෙනස්ය. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ ද සහාය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගත හැකි නම්, විධායක බලය යොදා ආණ්ඩුව වෙනස් කළ යුතුය යන්න ඇගේ මතය වී තිබුණි. එහෙත් 113ක් සඳහා වන අඩු සංඛ්‍යාව පහසුවෙන් ලබාගත හැකි බවට කරන ලද පුරාජේරු කතාවල ඇත්තක් නැති බව ඇය ක්‍රමයෙන් තේරුම් ගනිමින් සිටියේය.

මංගල සමරවීර ඇගේ විශ්වාසවන්තම සගයා වුවත්, මංගල කියන දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ කැමැත්තක් ඇයට නොතිබුණි. විරුද්ධ පක්ෂයක් ලෙස ඇගේ පක්ෂය ක්‍රියාකාරි තත්ත්වයක තබාගැනීමට ජේවීපීය සමග හවුලේ වැඩ කරනවාට ඇය අකමැති නොවීය. එහෙත් එය සමග එකතු වී ස්ථිර සන්ධානයක් ඇති කරගනිමින් විධායක බලය යොදා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යන්නට ඇය තුළ කැමැත්තක් නොතිබුණි.

හදිසි මැතිවරණයකට යනවාට සිය මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කැමති නැති බව ඇය දැන සිටියාය. අනෙක් අතට එවැනි මැතිවරණයකින් වැරදිලාවත් පැරදුණහොත් කබලෙන් ලිපට වැටෙන බව ද ඇය දැන සිටියාය. එවැනි මැතිවරණයකින් ජයගත්තත්, ජේවීපීය අපේක්ෂා කරන ආකාරයට යුද්ධයට යාමේ හැකියාවක් නැති බව ද ඇය දෑන සිටියාය. එහෙත් විධායක ජනාධිපති වශයෙන් බල පරාක්‍රමය පෙන්විය යුතු හැම අවස්ථාවක ඒ බල පරාක්‍රමය තමා ප්‍රදර්ශනය කළ යුතු බව ඇගේ මතය විය. ඇය මුහුණදි සිටි වඩාත්ම සංවේදි ප්‍රශ්නය වූයේ ධුර කාලය සම්පූර්ණ වීමෙන් පසුව තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින්නේ කෙසේද යන ප්‍රශ්නයයි. පවුලේ අනුප්‍රාප්තිකයෙක් කරළියට ගන්නා තෙක් දේශපාලනයේ රැඳී සිටීමට ඇයට අවශ්‍ය වී තිබුණි. ඒ ප්‍රශ්නයට මංගලගේ වැඩපිළිවෙළ තුළ විසඳුමක් නැති බව ද ඇය දැන සිටියාය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ තක්සේරුව වී තිබුණේ විධායක බලය ජනාධිපතිනිය අත තිබුණත්, ආධාර සමුළුවේ කටයුතු අවසන් වී රටට මුදල් ගලා එන තත්ත්වයක් ඇති වන තෙක් බෝට්ටුව පෙරළෙන්නට ඉඩ නොදි කෙසේ හෝ අල්ලා ගෙන සිටීමය. ඒ තත්ත්වය යටතේ ජනාධිපතිනියගේ ගෝරනාඩු ඉදිරියේ ප්‍රතික්‍රියා දැක්වීමකින් තොරව නිහඬව බලා සිටියේය. ජනාධිපතිනියට හෝ කොටි සංවිධානයට බෝට්ටුව පෙරළන්නට ඉඩ නොලැබෙන පීඩනයක් ඇති කරනු පිණිස ප්‍රශ්නය උපරිම මට්ටමකින් ජාත්‍යන්තර තලයකට රැගෙන යාම රනිල්ගේ උපාය මාර්ගය විය.

සාම වැඩපිළිවෙළට ලෝකය වැඩි වැඩියෙන් සම්බන්ධ කරගන්නා ප්‍රමාණයට ජනාධිපතිනියට හෝ කොටි සංවිධානයට මේ මොහොතේ බෝට්ටුව පෙරළීමට තිබෙන හැකියාව ද සීමා වන බව ඔහු දැන සිටියේය. ජනාධිපතිනියගෙන් ප්‍රකාශ වෙමින් තිබුණු තර්ජන නිසාම හිතුවක්කාරි වීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාවක් කොටි සංවිධානයට ද තිබුණේය.

ගොඩනැගී තිබෙන ජාත්‍යන්තර මතය මුළුමණන් නොසලකා ක්‍රියාකිරිමේ හැකියාවක් ජනාධිපතිනියට නැති බව ඔහු දැන සිටියේය. එල්ටීටීඊයට ද මේ අවස්ථාවේ හිතුවක්කාරි වීමේ හැකියාවක් නැති බව ද ඔහු දැන සිටියේය. ඔහුගේ ඉලක්කය ඩොලර් බිලියනයකි. ඒ මුදල් රටට ලැබේ නම් රටේ ආර්ථික පරිසරය යහපත් වී තම තත්ත්වය ශක්තිමත් වනු ඇති බව ඔහුගේ තක්සේරුව විය.

දැන් රනිල්ගේ ඊළග තුරුම්පුව වී ඇත්තේ සාම වැඩපිළිවෙළට අනුමැතිය ලබාගැනීම සඳහා වන ජනමතවිචාරණයකට යාමය. පොදු පෙරමුණෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉවත් කොට ඔවුන් තනි කොට පරාජය කිරීම ඒ වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.

සාම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට යායුතුද නැද්ද යන ප්‍රශ්නය මුල් කොටගෙන පවත්වන ජනමතවිචාරණයකදි ඊට එරෙහිව නැගී සිටින තැනකට යාමේ හැකියාවක් පොදු පෙරමුණට නැත. එයින් සිදුවිය හැක්කේ ජවි පෙරමුණ තනිවී මහජනයා අතින් පරාජයට පත්වන තත්ත්වයකට ඇද වැටීමය.

මේ තත්ත්වය තුළ ඇතිවිය හැකි පෙළගැස්ම යූඑන්පී – පීඒ සභාගයකි. සාමය සඳහා ඇති කරගන්නා අවසාන විසර්මකට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත හැකිවනු ඇත්තේ ද එවැනි සභාගයක් ඇත්නම් පමණය.

ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදි එකට එකතු වී ක්‍රියාකිරීම හොඳ වුවත්, මේ පක්ෂ දෙකම එකට එකතු වී පිස්සු නටන තත්ත්වයක් ඇතිවුවහොත් රටට ඉන් ඇතිවිය හැකි ප්‍රතිඵල වඩා බිහිසුණුය.