ටෝනි සිරගත කිරිමේ සිද්ධිය හා සිරගත කිරිමෙන් පසුව අමානුෂික ලෙස පහරදිමේ සිද්ධිය ජාත්යන්තර හෘද සාක්ෂෂිය කම්පනයට පත් කිරීමට හේතු වී ඇතත්, ඒ සිද්ධිය ශ්රී ලාංකික හෘද සාක්ෂෂිය කම්පනයට පත් කිරීමට හේතු වී නැත.
එහි තේරුම අපේ රටේ සිදු වූ ලෝකයට බරපතළ වරදක් ලෙස පෙනුණු දෙයක් අපේ රටට බරපතළ වරදක් ලෙස නොපෙනුණු බව ය.
ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර ප්රධාන නිලධාරීයා ය. ටෝනිගේ සිද්ධිය තමන් තුළ මහත් කම්පනයක් හා වික්ෂෂිප්තභාවයක් ඇති කළ බව ඔහු ප්රසිද්ධියේ පිළිගත්තේ ය. ටෝනි සිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණු පිරිසක් ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඒ නඩුව විභාගයට ගෙන ටෝනිට එක් අවුරුදු සිර දඬුවමක් පැමිණවූයේ කෙසේදැයි තමාට තේරුම්ගත නොහැකි බව ඔහු ප්රකාශ කළේ ය. තමා නීතිඥ සංගමයේ නව සභාපතිවරයාට ද මේ ප්රශ්නය ගැන දුරකථනයෙන් කථා කළ බව ප්රකාශ කරමින්, ටෝනි නිදහස් කර ගැනීම සඳහා ප්රමාද නොකොට ශ්රේෂ්ඨාධිකරණය වෙත ප්රතිෂෝධන අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගම් ව්යාපාරයෙන් ඉල්ලා සිටිමින් අධිකරණයේ ඇති වී තිබෙන මේ තත්ත්වයට එරෙහිව විවිධ නැගී සිටීම්වලට කාලය පැමිණ ඇති බවට නීතිඥ සංගම් ව්යාපාරයට සංඥාවක් ද කළේ ය. එහි දි ටෝනි නිදහස් කර ගැනීම සඳහා ඉදිරියට එන ලෙස ශ්රී ලංකාවේ මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා සිටීමට ඔහු අමතක නොකළේ ය.
එහෙත් පරම්කුමාරස්වාමි මහතාගේ මෙම ප්රසිද්ධ ප්රකාශය ශ්රී ලංකාවේ නීතිඥ සංගම් ව්යාපාරය කෙරෙහි කවර ආකාරයකින් හෝ බලපෑමක් කර ඇති බවක් පෙනෙන්නට නැත. එක්කෝ ලංකාවේ නීති සමාජය කන් නෑසෙන සමාජයකි. නැත්නම් එම සමාජය හෘදය වස්තුවක් නැති සමාජයක් විය හැකි ය. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රාශියක් ඇතත් ඔවුන් ද මේ ප්රශ්නයේ දි මුළුමණන් නිහඬ ය. නූගත් මිනිසුන් කරන අපරාධ මිස යුක්තිය පසිඳලීම පිණිස තිබෙන ආයතනවල නම්බුකාර මිනිසුන් කරන අපරාධ ඔවුන්ගේ විෂය පථයට ඇතුළත් නොවනවා විය හැකි ය.
ශ්රී ලංකාවේ සමාජය තුළ තිබෙන්නේ ගල් ගැසුණු හෘද සාක්ෂෂියකි. ඔවුන් අයුක්තිය විඳ දරාගෙන සිටින පුද්ගලයින් දකින්නේ විනයගරුක හා නීතිගරුක පුරවැසියන් ලෙස ය. අයුක්තියට එරෙහිව නැගී සිටින හෝ කතා කරන මිනිසුන් පෙනෙන්නේ ඕනෑවට වඩා වැඩි නැත්නම් පිස්සු මිනිසුන් ලෙස ය.
ටෝනි නිදහස් කරන ලෙස ජාත්යන්තර සංවිධාන විශාල ගණනක් ජනාධිපතිනියගෙන් ඉල්ලා ඇතත් ඔහු නිදහස් කිරීමට ජනාධිපතිනියට ඇයගේ හෘද සාක්ෂෂිය ඉඩ දෙන්නේ නැත. සිර දඬුවම් ලබා සිටින පුද්ගලයකුට සමාව දිමේ බලය ඇය සතු ය. මේ ජනාධිපතිනිය ද ඇතුළු රටේ බලයට පත් ජනාධිපතිවරුන් තමන්ගේ පක්ෂෂ දේශපාලනයට සම්බන්ධ අපරාධකරුවන්ට හා වංචාකරුවන්ට සමාව දි ඇති බව අපි දනිමු. එහෙත් තමන්ගේ සමීපතම ආරක්ෂෂකයකු වූ අගවිනිසුරුවරයා අතින් වරදක් සිදු වූ පුද්ගලයකුට සමාව දෙතොත් ඒ නිසා තමාගේ ආරක්ෂෂකයාට අගතියක් වනු ඇතැයි ඇගේ කල්පනාව වනවා විය හැකි ය. සරත් සිල්වා ඉතාමත් දුෂ්කර තත්ත්වයක වැටී සිටින අවස්ථාවක ඔහු අගවිනිසුරු ධූරයට ගනිමින් ඔහු රැක ගත්තේ ජනාධිපතිනියයි. ඉන්පසු ජනාධිපතිනියට දුෂ්කර තත්ත්වයකට වැටී සිටින අවස්ථාවක සරත් සිල්වා ඇය රැක ගත්තේ ය. ඉන් පසු දෝෂාභියෝගයක් ඉදිරියේ සරත් සිල්වා දුෂ්කර තත්ත්වයකට වැටී සිටින අවස්ථාවක ඇය නැවත ඔහු රැකගත්තා ය. ඉදිරියේ දි නැවත තම පැවැත්ම රැකගැනීමේ විශාල වගකීමක් සරත් සිල්වා අත තිබෙන නිසා ඔහු දුෂ්කර තත්ත්වයකට පත් කරන කිසිවක් නොකළ යුතු යයි ඇය සිතනවා විය යුතු ය.
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ හෘද සාක්ෂෂිය මුළුමණන් පිරි ඇත්තේ ද සාමයෙනි. යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට මුළු බර යොදා ක්රියාකරමින් සිටින මෙවැනි අවස්ථාවක ටෝනි වැනි පුංචි මිනිසකුගේ ජීවිතය ගැන තමන් කල්පනා කළ යුත්තේ ඇයිද යන්න රනිල් වික්රමසිංහ මහතාගේ හෘද සාක්ෂෂිය ද කල්පනා කරනවා විය යුතු ය.
ටෝනි පිළිබඳ සිද්ධියේ දි සමහර ජාතික පුවත් පත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන විට ජනාධිපතිනියගේ හා මංගල සමරවීරගේ අනුග්රහය මත පළවන පුවත් පත් තුන ටෝනිට පහරදෙන හා ඒ සිද්ධියේ කරුණු විකෘති කරන පිළිවෙතක පිහිටා ක්රියාකරමින් සිටිනු දැකිය හැකි ය. ඔවුන්ට ටෝනි පෙනෙනවා විය යුත්තේ භයානක යූඑන්පී කාරයකු ලෙස ය. ඒ නිසා ඔහුට අසාධාරණ ලෙස හෝ දඬුවම් කිරීම හොඳ දෙයක් ලෙස ඔවුන්ට පෙනීම ස්වාභාවික ය. අනෙක් අතට අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඔවුන්ට පෙනෙනු ඇත්තේ ඉක්මණන් තමන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීමේ කාර්යයේ දි ඉතාමත් තීරණාත්මක වැඩකොටසක් ඉටු කිරීමට නියමිත වීරයකු ලෙස ය.
ඒ සියලු පුවත් පත් ටෝනි දකින්නේ තමාගේ වීරයාට එරෙහිව රාවය පවත්වාගෙන යන බිහිසුණු කුමන්ත්රණයකට සම්බන්ධ පුද්ගලයකු ලෙස ය. රාවයේ ඉගැන්වීම් බස් මත ටෝනි මේ නඩුව පවරන ලද බව ද එක් පුවත් පතක් ප්රකාශ කර තිබුණ. ඒ සියලු පුවත් පත් කියන්නේ උසාවියට අපහසායක් වන ලෙස ක්රියාකළ මේ පුද්ගලයාව බන්ධනාගාරයට යැවීමෙන් පසු පහරදුන්නේය කියන කතාව ප්රබන්ධ කළ කතාවක් බව ය.
ඒ සියලු පුවත් පත් අගවිනිසුරු විරෝධී අරගලය විග්රහ කරන්නේ රාවය කර්තෘට අගවිනිසුරුවරයා සමග තිබෙන පුද්ගලික වෛරයක් මත සිදුවන දෙයක් ලෙස ය. ඔවුන්ට පරම් කුමාරස්වාමි පෙනෙනවා ඇත්තේ රාවයෙන් පඩි ලබා ජීවත් වන පුද්ගලයකු ලෙස ය. අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ප්රතිපත්තියක පිහිටා ක්රියා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම, අන්තර්ජාතික ජූරී සංගමය, අන්තර්ජාතික නීතිඥ සංගමය, ආටිකල් 19, ආසියානු මානව හිමිකම් කොමිසම වැනි ආයතන පෙනෙනවා ඇත්තේ ද රාවය විසින් පවත්වාගෙන යන ආයතන ලෙස ය.
අද නිදහස් මාධ්ය ප්රතිපත්තියක් ගැන වීරයන් ලෙස කතා කරන මේ සියලු දෙනා පොදු පෙරමුණු ආණ්ඩු කාලයේ සිදු වූ බිහිසුණු අපරාධ ඉදිරියේ ඒ අපරාධවලට වගකිවයුතු අපරාධකරුවන් ආරක්ෂෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේ ය. කුමාර් පොන්නම්බලම් ඝාතනය, රෝහණ කුමාර ඝාතනය, රූකාන්ත-චන්ද්රලේඛා යුවළට පහරදිම හා වයඹ ඡන්ද කොල්ලය වැනි සිද්ධීන්හි දි ඒවාට අලුත් අර්ථකථන ඉදිරිපත් කරන විචාරකයින් වූයේ මේ වීරයින් ය. ඔවුන් ඍජු ලෙස අපරාධවලට සම්බන්ධ වූයේ නැතත්, අපරාධකරුවන් ආරක්ෂෂා කිරීම මගින් ඒ අපරාධවලට සම්බන්ධ වී ඇත්තේ ය. ඒ නිසා මේ වීරයින්ගේ අත්වල ද යම් පමණකට හෝ ලේ තැවරි ඇත්තේ ය.
ඉතාමත් ප්රගතිශීලී හා පෙරළිකාර පෙනුමකින් පළ කෙරෙන මේ පුවත් පත් ආරම්භ කිරීමට ධනය ගලා ආවේ ජනාධිපති චන්ද්රිකා කුමාරතුංගගේ හෝ මංගල සමරවීරගේ පුද්ගලික බූදල්වලින් නොවේ. රාජ්ය බලයේ සිටි හත් අවුරුදු කාලය තුළ පොදු දේපළ කොල්ල කෑමෙන් උපයාගත් ධනයෙනි. එම පුවත් පත්වල වැඩ කරන මේ ජනමාධ්ය වීරයින්ට ආකර්ශනීය පඩි ලැබෙන්නේ ද ඒ ධනයෙනි.
මේ පුවත් පත්වල පළමු පෙළේ ක්රියාධරයින් සියලු දෙනා පොදු පෙරමුණ ආණ්ඩු බලයේ සිටියදි ඒ ආණ්ඩුව විසින් කරන ලද සහාසික වැරදි ඉදිරියේ පවා ඒවා ආරක්ෂෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කරමින් විශේෂ වරප්රසාද ලැබුවේ ය. හොඳ පඩිනඩි, යාන වාහන හා ආණ්ඩුවේ ගෙවල් දොරවල් ලබාගත්තේ ය. ඒ ඉසුරුමත් යුගය නැවත ලබාගැනීම සඳහා උපරිම දේ කිරීම ඔවුන්ගේ වගකීමකි. එහෙත් ඔවුන් තමන්ගේ භූමිකාව හරියාකාරව තවමත් තේරුම්ගෙන නැත.
දඩයම් කරන්නේ සිංහ දෙනුව වුවත්, පළමුව එම දඩයම භුක්ති විඳීමේ අයිතිය ඇත්තේ සිංහයාට ය. ඊළග වාරය සිංහ දෙනුවට ය. අලුත් අමු මස් කෑමේ අයිතිය ලැබෙන්නේ සිංහයින්ට ය. ඉන් පසු අලුත් ම නැතත් පරණ ද නැති මස් කන්න ලැබෙන්නේ වෘකයින්ට ය. වෘකයින්ගෙන් පසුව කැනහිලූන්ට ය. කැනහිලුන්ට කන්න ලැබෙන්නේ කුණුවෙමින් තිබෙන මස් ය. ඉන් පසුව හොඳටම කුණු වූ මස් කන්නට ලැබෙන්නේ කබරගොයාට ය. කබරගොයාගෙන් පසුව නිල මැස්සා ද, ඊටත් පසුව ඉහඳ පණුවා ද කරළියට එන්නේ ය.
මේ චිත්රයේ දි නෙල්සන්ලාට හා රාජවසම්ලාට රගපාන්නට සිදු වී තිබෙන්නේ නිලමැස්සාගේ හෝ ඉහඳ පණුවාගේ භූමිකාව ය. ශ්රීපති, ෆර්ඩිනැන්ඩස් වැනි අයට රගපාන්නට සිදු වී තිබෙන්නේ කැනහිලාගේ හා කබරගොයාගේ භූමිකාව ය. මංගල සමරවීර වැනි අය රගපාන්නේ අලුත්ම අලුත් නැතත් පරණ ද නොවන මස් කන වෘකයාගේ භූමිකාව ය.