කොටි සංවිධානය සමග පවත්වාගෙන යන සටන් විරාම ගිවිසුමට එරෙහිව එල්ලවන විරෝධය වර්ධනය වෙමින් පවතී. ජනතා විමුක්ති, පෙරමුණ කොටි සංවිධානය සමග මතබේද මැද පවත්වාගෙන යමින් තිබෙන එකගත්වයකට මුළුමණන් විරුද්ධ ය. සාම කතා අතහැර යුදමය වශයෙන් ඔවුන් විනාශ කළ යුතුය යන්න ජවිපෙ ස්ථාවරය වී තිබේ.
පොදු පෙරමුණේ ආකල්පය ද වැනෙන සුලු ය. ඔවුන් කියන්නේ තමන් සාමකාමී එකගත්වයක් ඇතිකර ගන්නවාට විරුද්ධ නැතත් දැන් ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම රටේ ගෞරවයට හේතු නොවන බව ය.
“ප්රභාකරන්ට රට පාවාදෙන රනිල් වික්රමසිහංගේ ද්රෝහී ගිවිසුමට” එරෙහිව සඳුදා පැවති විරෝධතා ව්යාපාරයට පොදු පෙරමුණ ද සම්බන්ධ වී සිටියේ ය. වෙනදා ජවිපෙ සමග පවත්වන විරෝධතා ව්යාපාරවලින් මගහැර සිටින ප්රතිපත්තියක් අනුගමනය කරන විපක්ෂෂ නායක මහින්ද රාජපක්ෂෂ මහතා ද සඳුදා පැවති විරෝධතා ව්යාපාරයට සම්බන්ධ වී සිටියේ ය. ඊට සම්බන්ධ වීමෙන් වැළකී සිටියේ පොදු පෙරමුණට සම්බන්ධ වමේ පක්ෂෂ දෙක පමණ ය.
ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් ජවිපෙ හා ශ්රීලනිප අනුගමනය කළ ප්රතිපත්තිය තරමක් මීට සමාන ය. ජනතා විමුක්ති පෙරමුණ එදා එය විග්රහ කළේ රට ඉන්දියාවට පාවාදෙන ද්රෝහී ගිවිසුමක් වශයෙනි. ඒ යටතේ ඇති කරන පළාත් සභා ක්රමය උතුරු නැගෙනහිරට ඊළමක් ලබාදෙන වැඩ පිළිවෙළක් ලෙස හඳුන්වමින් පළාත් සභා මැතිවරණ වලට තරග කරන අය පවා ද්රෝහීන් ලෙස සලකා ඔවුන්ට මරණ දඬුවම පමුණුවන තරමට සාහසික වූයේ ය.
ආණ්ඩුව කොටි සංවිධානය සමග ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමෙන් කොටි සංවිධානය සමග ගනුදෙනු කරමින් සිටින ආකාරයෙහි වැරදි හා අඩුපාඩුකම් තිබිය හැකි ය. ඒවා විවේචනයට හා සාකච්ඡාවට ලක්විය යුතු ය. එහෙත් ඇති කරගෙන තිබෙන එකගතාව අහෝසි කොට නැවත යුද්ධයකට අවතීර්ණ වීමෙන් නම් පොදුවේ රටට අති විශාල විනාශයක් ඇතිවනු මිස සුගතියක් ඇති වීමට ඉඩක් නැත.
ප්රභාකරන් විරෝධී හෝ දෙමළ විරෝධී හැගීම් උසිගැන්වීම මගින් රටේ දේශපාලන අස්ථාවරභාවයක් ඇති කළ හැකි ය. එයින් ආණ්ඩු විරෝධී පක්ෂෂවලට ජොලියක් ලැබිය හැකි වුවත් ඊළගට ඇතිවන විනාශය ඔවුන් කෙරෙහි ද බලපායි. මහජනයා විනාශ මුඛයට යවා හෝ ආණ්ඩු බලය අල්ලා ගනිමුයි කියන ප්රතිපත්තියක් නැවත රට ලේ විලක් බවට පත් කරන තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකි ය.
අවබෝධතා ගිවිසුමකට ආ පමණන් කොටි සංවිධානය වැනි සංවිධානයක් වහාම ප්රජාතන්ත්රවාදි අර්ථයෙන් සෝවාන් වන තතත්වයකට යන්නේ නැත. ආයුධ මිල දි ගැනීමේ හෝ ආයුධ ළග තබාගැනීමේ අයිතිය ඇත්තේ නීත්යනුකූල රජයකට පමණක්ය යන මතය මෙවැනි අර්බුදයකට වලංගු වන්නේ නැත. අද ප්රධාන දේශපාලන ප්රවාහයට එකතු වී සිටින ජවි පෙරමුණ ද කලක් ආයුධ අත ඇතිව පිස්සු නැටුවේ ය. ආණ්ඩුවේ නිල නොවන සාම කතා ගණනාවකට සහභාගී වුවත් තමන් අත තිබෙන ආයුධ සිය කැමැත්තෙන් ආණ්ඩුවට බාර දෙන පිළිවෙතක් අනුගමනය කළේ නැත.
දැනට සිදු වී තිබෙන එකම හොඳ දේ යුද්ධ කරන දෙපාර්ශ්වය යුද්ධ කිරිමෙන් වැළකී ප්රශ්න කතා කරන තැනකට පැමිණීමය. එහෙත් කතා අසාර්ථක වුවහොත් නැවත යුද්ධයකට යන්නට සිදුවනු ඇතැයි කියන හැගීම දෙපාර්ශ්වය කෙරෙහිම බලපායි. ඒ නිසා සාම කතා තිබියදිත් අවශ්ය වෙතොත් යුද්ධ කිරීමට ඇති සූදානම දෙපාර්ශ්වය විසින් ම අත් හරිනු ඇතැයි සිතිය නොහැකිය.
මේ සංකීර්ණ ප්රශ්නය තව තවත් අවුල් කිරීම පහසු ය. අමාරු දේ තිබෙන අවුල ලිහීම ය. රටට ගැලවීමක් ඇත්තේ අවුල ලිහන ප්රතිපත්තියකින් මිස තිබෙන අවුල තව තව අවුල් කරන ප්රතිපත්තියකින් නොවේ.