බන්ධනාගාර වර්ජනයේ අරමුණ කුමක් ද?

March 9, 2003
Publication:
The government has left Emmanuel Fernando in prison despite international calls for his release, though the Cabinet could ask the President to pardon him. The editorial suggests the Welikada jailers' strike over the remand of two officers accused of beating him was instigated from above, notes his account of being assaulted by a plain-clothes officer and medical evidence of injury, and warns that ignoring problems centred on the Chief Justice will cost the government dearly.

බලධාරින් එම්මානුවෙල් ප්‍රනාන්දු ප්‍රශ්නයට විසඳුමක් ලබාදිමෙන් තොරව එය තවදුරටත් දිග්ගැස්සෙන්නට ඉඩ හැර බලා සිටින බව පෙනේ.

එම්මානුවෙල්ට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදි තිබෙන දඬුවම නීති විරෝධී වන නිසා ඔහුට වහාම නිදහස ලබාදිම පිණස ක්‍රියා කරන ලෙස මානව හිමිකම් විෂය වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ආයතන ගණනාවක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇතත්, තවමත් එම්මානුවෙල් සිටින්නේ හිරගෙදර ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උසාවිය විසින් දඬුවම් කරනු ලැබූ පුද්ගලයෙකුට නිදහස ලබාදිමේ බලය ඇත්තේ ජනාධිපතිනියට නිසා ඇය කුමක් ැ්ෂ දෙකකට අයත් වන බව ද සැබෑවකි. එහෙත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වනුයේ ජනාධිපතිනියයි. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට එම්මානුවෙල් නිදහස් කරන ලෙස ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටිය හැකි ය. එවැනි ඉල්ලීමක් නොසලකා සිටීමේ හැකියාවක් ජනාධිපතිනියට තිබිය නො හැකි ය.

එම්මානුවෙල් සිද්ධිය මුල් කොටගෙන බන්ධනාගාර නියාමකයන් අතර ද වැඩ වර්ජනයක් ඇතිවිය. එම්මානුවෙල්ට පහරදිමේ සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කළ විශේෂ විමර්ශන ඒකකය විසින් ඒ පහර දෙන අවස්ථාවේදි එම්මානුවෙල් භාරව සිටි බන්ධනාගාර නිලධාරින් දෙදෙනා උසාවියට ඉදිරිපත් කරන ලදුව උසාවි නියෝගයක් මත ඒ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට පත් කෙරිණ. වැලිකඩ බන්ධනාගාරයේ නියාමකයන් වැඩ වර්ජනය කළේ රක්ෂිත බන්ධනාගාරයට යවනු ලැබූ එම බන්ධනාගාර නිලධාරින් දෙදෙනා වෙනුවෙනි.

එහෙත් බන්ධනාගාර නියාමක වැඩ වර්ජනය ස්වාභාවික ලෙස ඇතිවූ වැඩ වර්ජනයකට වඩා බන්ධනාගාරයේ ඉහළ සඥාවක් මත ආරම්භ වූ වැඩ වර්ජනයක් බව බැලු බැල්මට පෙනී යයි. තමන්ට එහි එම අවස්ථාවේ සිටි සියලු බන්ධනාගාර නිලධාරින් පහර දුන් බව එම්මානුවෙල් ප්‍රකාශ කර නැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ එහි සිටි එක් සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරියකු පහර දුන් බව ය. ඒ පුද්ගලයා කව්ද? ඔහුට ඒ පහරදිම කිරීමට අවශ්‍ය වූයේ ඇයි? ඉන්පසු බන්ධනාගාරයට ගෙනයාමෙන් පසුත් තමන් වද හිංසාවට ලක් කළ බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කරයි. ඔහුට මුත්‍රා සමග ලේ යන තත්ත්වයක් ඇතිවී නම් හා පහරදිමක් සිදුවී ඇති බව වෛද්‍යවරුන් ද පිළිගන්නේ නම් එම්මානුවෙල්ට බන්ධනාගාරයේදි පහරදිමක් සිදුකර තිබෙන බව පිළිගන්නට සිදුවේ. එය එසේ වී නම්, එසේ සිදුවී ඇත්තේ කුමන අරමුණක් මත ද යන්න සොයා බැලිය යුතු ය. දඬුවම් පැමිණවීම හා මෙම පහරදිම අතර සම්බන්ධයක් ඇත්නම් එය බරපතල තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

අගවිනිසුරුවරයා මුල් කොටගෙන මතුවී තිබෙන ප්‍රශ්න ඉදිරියේ තවදුරටත් ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආණ්ඩුවේ පිළිවෙත නම්, ඒ වෙනුවෙන් ආණ්ඩුවට අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නො අනුමාන ය.