වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම

March 9, 2003
Publication:
The editorial protests that the Supreme Court sentenced a fundamental rights petitioner, an English teacher with a heart condition, to a year in prison for contempt without charge, legal advice or a chance to defend himself, on a bench that included the Chief Justice, a respondent in the case. It condemns the silence of the media, human rights groups and the legal community while international bodies react with shock.

ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදි රටක කිසිසේත් ම සිදුවිය නොහැකි අරුම පුදුම දෙයක් පසුගිය සතියේ දි අපේ රටේ සිදුවිය. ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ පුද්ගලයකු අධිකරණයට අපහාස කළේය යන පදනම මත එක් අවුරුදු සිර දඬුවමට යටත් කෙරිණ.

ඔහු අධිකරණයට කළ අපහාසය කුමක්ද යන්න නොපැහැදිලි ය. ඒ අවස්ථාවේ දි අධිකරණ ශාලාවේ සිටි විවිධ අයගෙන් ලබාගත් තොරතුරු අනුව ඔහු සිය නඩුව වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කර ඇත්තේ මහත් සංයමයකින් හා ගෞරවයකින් යුතුව ය. කෝපය ප්‍රකාශ කිරීමක්, බැණ වැදිමක් හෝ හිතුවක්කාරි හැසිරිමක් හෝ ඔහු කෙරෙන් පළවී නැත.

ඔහු අතින් අපහාසයක් සිදුවුවත් චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව, ඒ ඉදිරිපත් වී තිබෙන චෝදනා පිළිබඳව නීති උපදෙස් ලබාගැනීම හා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදිමෙන් තොරව පුද්ගලයකුට එක් අවුරුදු සිර දඬුවමක් පැමිණවීමේ බලයක් කිසිම අධිකරණයකට නැත.

එහෙත් පුදුමයකට මෙන් මේ පුද්ගලයාට එක් අවුරුදු සිර දඬුවමක් පමුණුවා ඇත්තේ චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව හා නීති උපදෙස් ලබාගැනීමට සාධාරණ කාලයක් ලබාදිමෙන් හා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් ලබාදිමෙන් තොරව ය.

එහි සිදු වී තිබෙන ඊළග පුදුම සහගත දේ වනුයේ පෙත්සම්කරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ පෙත්සමේ වගඋත්තරකරුවකු කර තිබියදි අගවිනිසුරු ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මේ නඩුව විභාගයට ගෙන ඔහුට දඬුවම් කිරීම ය. තමාගේ නඩුවක් තමා විසින් ම නොඇසිය යුතුය යන්න ස්වාභාවික යුක්තියේ පිළිගත් ප්‍රධාන මූලධර්මයකි.

නඩුව ගොනුකර තිබුණු ආකාරයේ වරදක් ඇතොත් ඒ බව ප්‍රකාශ කොට නඩුව නිශ්ප්‍රභ කරනවා හැර නඩුව ගොනුකළ පුද්ගලයා හිරේ යවන ක්‍රමයක් තිබිය නොහැකි ය. අවසානයේ මානව අයිතිවාසිකම් අහිමිවීමක් පිළිබඳව දුක්ගැනවිල්ලක් අධිකරණය වෙත රැගෙන ආ පැමිණිලිකරුවෙක් අධිකරණය විසින් හිරේට යැව්වේ ය. තමාගේ පියා ස්වාමිපුරුෂයාගේ දුක් ගැනවිල්ලට විසඳුමක් ලබාගෙන ගෙදර එනු ඇතැයි බලා සිටි එම ඉංග්‍රීසි ගුරුවරයාගේ පුංචි දරු දෙදෙනාට හා බිරිඳට වඳින්නට ගිය දේවාලය ඔහුගේ හිස මත කඩා වැටී ඇති බව දැනගන්නට ලැබුණු විට ඇතිවන්නට ඇති හැගීම කුමක් විය හැකිද? ඔහු හෘදයාබාධයකින් පෙළෙන රෝගියෙකි. සමහර විට ඔහුට සිදු කරන ලද මේ අගතිය ඔහුගේ ජීවිතය කාලකණ්ණ කිරිමෙන් නොනැවතී ඔහුගේ ජීවිතය අවසන් කිරීමට ද හේතුවිය හැකි ය.

සිදු වී තිබෙන මෙම අසාධාරණයේ දි බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව දැන දැන ම ඊට එරෙහිව කතා කළ යුතු බොහෝ දෙනක් නිහඬව සිටින තත්ත්වයකට පත්ව සිටිති. ජනමාධ්‍ය නිහඬ ය. මානව හිමිකම් සංවිධාන නිහඬ ය. නීති ප්‍රජාව ද නිහඬ ය.

රටේ මේ සියලු දෙනා ඒ ඉදිරියේ නිහඬව බලා සිටියත් මේ අනුවේදනීය පුවත අසන්නට ලැබීමෙන් මානව අයිතිවාසිකම් හා අධිකරණ විෂය සම්බන්ධ ජාත්‍යන්තර ආයතන විශාල සංඛ්‍යාවක් මහත් කම්පාවට පත්ව සිටින බවත් මේ තත්ත්වයට එරෙහිව ක්‍රියාකිරීම සඳහා ඔවුන් පෙළ ගැසෙමින් සිටින බවත් අපි දනිමු.

මේ බරපතල වරද සිදු වී ඇත්තේ නූගත් රස්තියාදුකාර පිරිසක් අතින් නොව රටේ සිටින ඉහළම අධිකරණය අතිනි. සාධාරණ නඩු විභාගයකින් තොරව පුරවැසියකුට එක් අවුරුදු සිර දඬුවමක් පැමිණවීම බරපතල වරදක් හා මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව ඒ විනිසුරු මඩුල්ලේ සිටි විනිසුරුවරුන්ට නොපෙනුනේද? මෙවැනි බරපතළ වැරදි ඉදිරියේ රටේ නායකයන්, ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන නිහඬව බලා සිටී නම් මේ රටට හිමි අනාගතය කුමක්ද?