නීති සමාජය ගොලුවීම

March 9, 2003
Publication:
After UN rapporteur Param Cumaraswamy visited Tony Fernando in hospital and urged the Bar Association to speak up, Ivan condemns the silence of lawyers, human rights figures and most newspapers, and alleges that the Chief Justice uses an $18.2 million World Bank judicial reform loan to buy silence through consultancies and trips. He faults President Kumaratunga and Prime Minister Wickremesinghe for tolerating the rot, questions the President's claims about LTTE arms ships and an assassination plot, and criticises W.J.M. Lokubandara's handling of the Public Trustee.

පරම් කුමාරස්වාමි මහතා පසුගිය බ්‍රහස්පතින්දා ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ශ්‍රේෂ්ඨාධිකරණය අතින් පුරවැසියෙකුට සිදුවී තිබෙන අති විශාල අගතිය ඉදිරියේ නීතීඥ සංගමයද නිශ්ශබ්දව බලා ඉඳීම ගැන සිය විශ්මය ප්‍රකාශ කරමින් මෙම තත්ත්වය ඉදිරියේ බයාදුව නොසිට ධෛර්යමත් ව දැන්වත් නැගී සිටින ලෙස නීතීඥ සංගමයෙන් ඉල්ලා සිටියේය.

තමා නීතීඥ සංගමයේ නව සභාපතිවරයාට දුරකථනයෙන් කථාකළ බවත් මේ පුරවැසියාගේ නිදහස වෙනුවෙන් නොපමාව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටි බවත් වැඩිදුරටත් ඔහු එහිදි කියා සිටියේය.

නිදා සිටින කෙනෙකු අවදිකිරීම පහසු වුවත් හොරට නිදා සිටින කෙනෙකු අවදි කිරීම පහසු නැත. නීතීඥ සංගමය නිදා සිටින්නේ හොරටයි. සිදුවෙමින් තිබෙන දේවල් සේම සිදුවූ දේවල් නීතීඥ සංගමයද දන්නේය. අගවිනිසුරුවරයා මෙතෙක් කරන ලද සියලු බරපතල වැරදි කළේ නීතීඥ සංගමයේද අනුග්‍රහය ඇතිවය. ඒ තත්ත්වය ඉදිරියේ එම සංගමයට නව සභාපතිවරයෙක් ලැබී ඇතත් ගෞරවය පිණිස දෙපයින් නැගී සිටීමේ හැකියාවක් එම සංගමයට තිබේද යන්න සැක සහිතය.

අධිකරණයේ ඇති වී තිබෙන මෙම විනාශකාරි තත්ත්වයට නීතීඥ සමංගයේ නාමධාරි පුද්ගලයන් හැම කෙනෙකුම වගකිව යුතුය. පිළිකාවක් බව දෑන දෑනම ඊට වර්ධනය වීමට ඔවුහු ඉඩ දුන්හ.

නීතී සමාජයේ හෘද සාක්ෂෂිය පරික්ෂෂාවට උරගා බැලීමකට ලක්කෙරුණ ප්‍රථම සිද්ධිය මෙය නූනත් ටෝනිගේ සිද්ධිය ඔවුන් හැම දෙනෙකුගේ ම හෘද සාක්ෂෂිය තීරණාත්මත ආකාරයකින් උරගා බැලීමකට ලක් කෙරුනු සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

ටෝනි සිරගෙට යවනු ලැබූ වහාම ඒ ගැන ඔවුන්ට කියන්න ඇත්තේ කුමක්දැයි නීති සමාජයේ තෝරාගත් නාමධාරි පුද්ගලයින් ගණනාවකින් අපි ප්‍රශ්න කළෙමු.

හැම කෙනෙකුගෙන්ම පාහේ එක් ආකාරයකින් හෝ තවත් ආකාරවලින් ලැබුණු පිළිතුර වූයේ අපි ඒ ගැන කිසිවක් තාමත් දන්නේ නැහැ. හරි හැදෑරිමකින් තොරව දැනට කිසිවක් කිව නොහැකියි යන පිළිතුරයි.

මානව හිමිකම් ගැන කථාකරන නාමධාරි පුද්ගලයින්ගෙන් ලැබුණු පිළිතුරද ඊට සමානය. තක්සේරුවක් සඳහා සියලු තොරතුරු ලබාදිමෙන් පසුත් තවමත් ඔවුන් ගොලුවී සිටිනවා මිස තමන් දරන අදහස ප්‍රකාශ කිරීමට සූදානම් නැත.

ටෝනිට දඬුවම් කිරිමේ පුවත විග්‍රහ කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයට ජනමාධ්‍ය ආයතන වලින් කිසිදු සැලකිල්ලක් නොලැබුනත් එම නිවේදනය මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ආයතනවල අවධානයට ලක් වී එම සිද්ධිය ඔවුන් අතර කම්පනයක් ඇති කිරීමට හේතුවිය. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් සිටින වාර්තාකාර ඩාටෝ පරම් කුමාරස්වාමි මහතා ටෝනි බලන්නට රෝහලට යෑමෙන් නොනැවතී ඔහුට දඬුවම් කිරිමේ සිද්ධිය පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වීය.

පරම් කුමාරස්වාමි මහතාගේ එම ප්‍රවෘත්ති සාකච්ඡා දේශීය පුවත්පත් වලට දැවැන්ත ප්‍රවෘත්තියක් විය යුතුව තිබුණත් මොනම හේතුවක් නිසා හෝ බොහෝ පුවත්පත් වලට එය වැදගත් ප්‍රවෘත්තියක් වුණේද නැත.

“සන්ඩේ ලීඩර” පුවත්පත මේ සිද්ධිය ගැන නිර්භීත කතුවැකියක් ලියා තිබූ අතර “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පතද ඒ ගැන දිර්ඝ කතුවැකියක් ලියා තිබුණි. එහෙත් “ලංකාදිප” ය, “සන්ඩේ ටයිම්ස්”, “දිවයින”, “ලක්බිම” වැනි පුවත්පත් වලට ටෝනිගේ සිද්ධිය හෝ පරම් කුමාරස්වාමි මහතා ඒ ගැන කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාව කතුවැකියක් ලියනවා තබා පළ කළ යුතු වැදගත් ප්‍රවෘත්තියක් ලෙසටවත් පෙනුනේ නැත.

“සන්ඩේ ටයිම්ස්” කර්තෘ සිංහ රත්නතුංගට එරෙහිව සාපරාධී අපහාස නීතිය යොදාගනු ලැබූ අවස්ථාවේදි අදහස් පළ කිරිමේ නිදහස ගැන උනන්දුවක් දක්වන ආයතන සිංහ රත්නතුංගගේ ආරක්ෂෂාව වෙනුවෙන් කෑගැහුවේය. එවැනි කණගාටුදායක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවූ පුද්ගලයෙකුට පවා ටෝනි ගැන හැගීමක් ඇති නොවීම ඛේදජනකය.

නීති සමාජය කෙරෙන් ප්‍රකාශ වී ඇති ගොලුබව බිය නිසා ඇති කරගත් ගොලු බවකටත් වඩා වරප්‍රසාද නිසා ඇත් වී තිබෙන ගොලු බවක් වේයයි කිව හැකිය. අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකු ව්‍යාපෘතියෙන් ලැබී තිබෙන අරමුදල් අගවිනිසුරුවරයා විසින් ඉතා දක්ෂෂ ලෙස නීති සමාජය ගොලු කිරීම සඳහා යොදා ගෙන ඇත්තේය.

අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුවෙක් ලැබී ඇති අරමුදලේ ප්‍රමාණය ඩොලර් මිලියන 18.2 කි. රුපියල් අගය අනුව එය රුපියල් මිලියන 1765.4 කට සමානය.

පිළිගත් ප්‍රතිපත්තිය අනුව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුත්තේ අධිකරණ අමාත්‍යාංශය විසින් මිස අගවිනිසුරුවරයා නොවේ. මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලධර්මවලට පටහැනිව මේ ව්‍යාපෘතිය මෙහෙය වන්නේද පාලනය කරන්නේද අගවිනිසුරුවරයාය.

අගවිනිසුරුවරයා මෙම අරමුදල තමන්ට ආධාර කරන පුද්ගලයින්ට (නීතීඥයන්ට, විනිසුරුවරුන්ට හා විශ්‍රාම ගිය විනිසුරුවරුන්ට) පමණක් නොව තමන්ට එරෙහිව කථා කරන හෝ කතා කරනු ඇතැයි සිතන පුද්ගලයින් නිහඬ කිරීම සඳහාද නොමසුරුව පාවිච්චි කරමින් සිටී. මෙම අරමුදලෙන් කප්පම් ගෙවන ක්‍රම විවිධය. පුහුණු කිරිම් කටයුතුවලට සම්බන්ධ දේශකයින්ට කරන ගෙවීම් ලෙස, හෝ උපදේශකයින්ට කරන ගෙවීම් ලෙස එම කප්පම් ගෙවනු ලැබේ. උපදේශකයන්ට ලැබෙන මාසික ගෙවීම රුපියල් ලක්ෂෂ 1 සිට 3 දක්වා වෙනස් වේ. තවත් සමහර පුද්ගලයන් විදේශ රටවලට යැවීම සඳහාද මෙම අරමුදල යොදා ගනු ලැබේ.

මෙම අරමුදල අගවිනිසුරුවරයාට ලෝක බැංකුව දි තිබෙන තෑග්ගක් නොව රටට ලැබී තිබෙන පොලී සමග ආපසු ගෙවිය යුතු ණය මුදලකි. එහෙත් අගවිනිසුරුවරයා එය පාවිච්චි කරමින් සිටින්නේ පුද්ගලික අරමුණු සඳහාය. අරමුදලෙන් ලැබෙන වාසි නිසා ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් හා දේශපාලකයෝ ද එම දැවැන්ත අරමුදලේ තොරතුරු රහසක් ලෙස සලකා සගවාගෙන සිටිති. මෙම අරමුදල ගණනය කිරීම ඔඩිටර් ජනරාල්වරයාගේ වගකීමකි. මෙම අරමුදලින් ගෙවීම් ලබාගන්නා අය කව්ද? ඔවුන් අතර සිටින විනිසුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, නීතීඥයන් හා රාජ්‍ය නිලධරින් කවුද යන්න සොයා බලතොත් නාමධාරි පුද්ගල පිරිසක් අතින් මහජන අරමුදල් නීති විරෝධී ලෙස පරිහරණය කෙරෙමින් තිබෙන ආකාරය පිළිබඳ කදිම චිත්‍රයක් සොයා ගැනීමට හැකි වනු නොඅනුමානය.

නායකයන් ගොලුවීම

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදායකය රටට න්‍යාය හා ප්‍රතිපත්ති සම්පාදනය කරන විටත් විධායකය ඒ න්‍යාය හා ප්‍රතිපත්ති ක්‍රියාවට නගන විටත් ඒ සියල්ල මහජන නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂෂා කෙරෙන ආකාරයට සිදුවේද යන්න සොයා බැලීමේ ප්‍රධාන වගකීම පැවරි ඇත්තේ අධිකරණයටය. රටක පවතින අධිකරණය කුණුවී ඇත්නම් එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ක්‍රමයක්ද තිබිය නොහැකිය. රටක ස්ථාපිත හා මහජනයාගේ ගෞරවයට හේතුවන අධිකරණයක් වේ නම් දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරින්ට පිස්සු නටන්නට ඉඩක් ලැබෙන්නේද නැත. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදි පැවැත්ම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන ආයතන ක්‍රමය වී ඇත්තේද අධිකරණයයි. ඉන්දියාවට ස්වාධීන හා මහජනයාගේ ගෞරවයට හේතු වූ අධිකරණයක් ඇතත් අපට ඇත්තේ කුණු වී මජර ගලන අධිකරණයකි. පුදුමයට මෙන් ඒ මජර ගලන තුවාලයට ඉක්මනින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේයයි ජනාධිපති හෝ අගමැති සිතන බවක්ද පෙනෙන්නට නැත.

අධිකරණ ස්වාධීනත්වය මරණයට පත්කිරීමට හේතුවන පුද්ගලයෙකු අගවිනිසුරුධූරයට ගෙනාවේ ජනාධිපතිනියයි. ඒ අර්ථයෙන් අගවිනිසුරුගේ පිස්සු නැටිල්ල ඉදිරියේ ජනාධිපතිනියගේ ගොලුබව තේරුම් ගැන්ම අමාරු නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා ලාභී තත්ත්වයක සිටි සරත් නන්ද සිල්වා මේ ගරු කටයුතු තනතුරට පත් කිරිමෙන් ජනාධිපතිනිය අපේක්ෂෂා කළේ තම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරන තැනකට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන ඒමය. සරත් නන්ද සිල්වා මහතා ඒ කාර්යය හොඳින් ඉටු කළේය. ඒ තත්ත්වය ඉදිරියේ සරත් නන්ද සිල්වාට එරෙහිව ක්‍රියාකිරිමේ හැකියාවක්ද ජනාධිපතිනියට තිබිය නොහැකිය.

එහෙත් පුදුමයකට මෙන් මේ අරවුලේදි ගොලුවී සිටිනුයේ ජනාධිපතිනිය පමණක් නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේද ගොලුවූ තත්ත්වයකය. විරුද්ධ පක්ෂෂයේ සිටියදි අගවිනිසුරුවරයාට එරෙහි ව මොරදුන් චරිත රාශියක් කැබිනට් ඇමතිවරුන් බවට පත්ව සිටියත් ඔවුන් සියලු දෙනා ඉන්නේද ගොලු වූ තත්ත්වයකය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූ දිනම ගංගාරාමයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතා ප්‍රකාශ කළේ තමා නීතිි පාලනය රජ කරන සමාජයක් ඇති කරන බවය. නීතියේ පාලනයක් තිබිය හැක්කේ ස්වාධීන අධිකරණයක් ඇතිනම් පමණය.

අධිකරණයේ වෙමින් තිබෙන දේවල් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොපෙනෙනවා විය නොහැකිය. ශ්‍රී ලංකාවේ අධිකරණය ජාත්‍යන්තර තලයේද විවාදයට හේතු වී තිබෙන මාතෘකාවක් වනවා පමණක් නොව ශ්‍රී ලංකා අධිකරණයේ සිදුවන කටයුතු අධිකරණ ස්වාධීනත්වය ගැන උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ආයතනවලද ප්‍රසිද්ධ විවේචනයට හේතු වී තිබේ. අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය පිළිබඳව විශේෂ වාර්තාවක් ජාත්‍යන්තර නීතීඥ සංගමය මගින්ද පළ කර තිබෙන අතර එම වාර්තාවට ඇතුළත් කරුණු මොනවාදෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නොදන්නවා විය නොහැකිය.

අධිකරණය තුළ ඉතාමත් බරපතළ වැරදි සිදුවන බව පෙනි පෙනීත් ඒ ඉදිරියේ එජා පෙරමුණු ආණ්ඩුව ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිද කියන රහස මහජනයාට කියා දිය යුත්තේද අගමැතිවරයාය. දේශපාලන ක්‍රමයේ තිබෙන සියලු වැරදි වහා වෙනස් කළ නොහැකිය. එහෙත් මේ ක්‍රමයේ ඇති කරන ඕනෑම වෙනසක් ආරම්භ විය යුත්තේ ද අධිකරණයෙනි. අධිකරණය හරි තැනකට ගත හැකි නම් ක්‍රමයේ තිබෙන වෙනත් බොහෝ දේවල් ද ඉබේම හරි තැනකට යන්නේය.

මෙවැනි අධිකරණයක් තබාගෙන පෙඩරල් ක්‍රමයක් ගැන කතා කිරීම හාස්‍ය ජනකය. සංධීය ආණ්ඩුක්‍රමයක අම්පයර්ගේ වගකීම යන්නේ අධිකරණයටය. සන්ධීය ආණ්ඩුක්‍රමයකට යන්න හදන්නේ මේ අම්පයර් සමග නම් ඒ හදන්න යන ආණ්ඩු ක්‍රමයට දෙයියන්ගේ පිහිටය.

ජනපතිනිගේ රස කතා

ජනාධිපතිනිය බදුල්ලේදි ප්‍රකාශ කර තිබෙන ආකාරයට සටන් විරාම කාලය තුළ මෙතෙක් කොටි සංවිධානය ගෙන්වා තිබෙන ආයුධ නැව් ගණන 5 කි.

තමා ඝාතනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂෂය හා කොටි සංවිධානය එතෙර රටකදි හවුලේ සාකච්ඡා කර ඇති බවත් එම සාකච්ඡා පවත්වා ඇති රට, හෝටලය, දිනය, ගමන් කළ අහස් යානයේ විස්තර හා සාකච්ඡාවේ හඬ පටි තමා ළග ඇති බවත් එහිදි ජනාධිපතිනිය ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිනිය කියන ආකාරයට විධායක බලය ඇත්තේ ජනාධිපතිනියටය. රටේ සේනාධිනායකයා වන්නේද ඇය ය. කොටි සංවිධානය ආයුධ නැව් පහක් ගෙන්වා ඇති බව ඇය හරියට දන්නේ නම් රටේ විධායක ජනාධිපති ලෙසත්, සේනාධිනායිකාව ලෙසත්, ඇය නිකම්ම බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයිද යන්න රටට කියා දිය යුතුය.

ඇය ඝාතනය කිරීම සඳහා එජාපය හා කොටි සංවිධානය අතර සාකච්ඡාවක් සිදුවී ඇත්නම් හා එම සාකච්ඡාවේ හඬපටි ඇය සතුව තිබේ නම් ඊට සම්බන්ධ වගකිව යුතු සියලු දෙනා වහාම අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්න ද ඇය රටට පැහැදිලි කළ යුතුය.

වි.ජ.මු. පිළිවෙත

මහාභාරකාරවරයාට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රසිද්ධ විවේචන නිසා මහාභාරකාරයා වෙත මෙතෙක් පැවරි තිබුණු මුදල් කටයුතු සම්බන්ධයෙන් තිබුණු වගකීම විජමු ලොකුබණ්ඩාර ඇමතිවරයා විසින් සිය අමාත්‍යාංශය වෙත පවරාගෙන ඇති බව ඉංග්‍රීසි පුවත්පතක වාර්තා කර තිබුණි.

මහාභාරකාරවරයා තක්කඩියෙක් නම් කළ යුතු හරි දේ වනුයේ සිදුවී තිබෙන තක්කඩිකම් සොයා බලා ඔහුට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමය. එහෙත් විජමු ලොකු බණ්ඩාර පිළිවෙත ඊට වෙනස්ය. ඔහුගේ පිළිවෙත වී ඇත්තේ මින් මතු ඔහුට තක්කඩිකම් කරන්නට ඉඩ නොදෙමියි කියන පිළිවෙතකි. මහාභාරකාරයා ඉල්ලා සිටින රැකවරණයද එයම විය හැකිය.

ඇමතිවරයාට මහාභාරකාරවරයාගේ තක්කඩිකම් ගැන දැන ගැනීමට අවශ්‍ය නම් කළ හැකි හොඳම දේ ඔහුට එරෙහිව මෙතෙක් කර තිබෙන පරීක්ෂෂණ මොනවාද? එල්ල වී තිබෙන චෝදනා මොනවාද යන්න අපරාධ පරීක්ෂෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා දැන ගැනීම ය.

ඔහු ධර්මපාලතුමාගේ පවුලෙන් පැවත එන්නෙකුගේ අවසාන කැමැත්තක්ද වංචා කර ඇත්තේද. ඒ දේපලේ තක්සේරු වටිනාකම කෝටි 65 කි. එම වංචාව ගැන දැවැන්ත පරීක්ෂෂණයක් අපරාධ පරීක්ෂෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබුණත් මහාභාරකරයා තමන්ට තිබෙන දේශපාලන සම්බන්ධකම් මත ඒ පරීක්ෂෂණය යටපත් කිරීමට සමත් විය.

ඔහු හිටපු අගවිනිසුරුගේ බෙන්ස් රථය ලබාගැනීමෙන් පසුව ඊට අලුත් එන්ජිමක් සවිකළ බව කියා ලක්ෂෂ ගණනක් සාක්කුවේ දමා ගත්තේය. බෙන්ස් කාර් හදන්නේ එන්ජින් වෙනස් කිරීමට නොව ජීවිත කාලයක්ම පාවිච්චි කළ හැකි ආකාරයටය. මහාභාරකාරයාගේ තක්කඩිකමේ තරම දැන ගැනීමට ඇමතිවරයාට අවශ්‍ය නම් ඒ බෙන්ස් රථය පරික්ෂෂා කිරීම පමණක් වුවත් ප්‍රමාණවත්ය. අලුත් එන්ජිමකට මුදල් ලබාගෙන ඇතත් තාමත් එම රථයේ තිබෙන්නේ මුල් එන්ජිමමය.