ස්වාධීනත්වයට දක්වන බිය

December 8, 2002
Publication:
The editorial notes that the fight for judicial independence since Sarath N. Silva's appointment as Chief Justice has come from outside the judiciary, and that a Bar Association committee report by K. Narendra Kumar endorsing the International Bar Association's findings was suppressed. It reports that the Judicial Service Officers' Association has now made judicial independence the theme of its 60th anniversary, and that the Chief Justice tried to wreck the event by withholding funds and leave and calling a compulsory paid seminar on the same day.

අගවිනිසුරුධුරයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් සිල්වා පත් කිරීම ආශ්‍රයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට අදාළව මතුවී තිබුණු අර්බුදයේදි මෙතෙක් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගල කෙරුණේ අධිකරණයේ අභ්‍යන්තරයෙන් නොව බාහිරෙනි. මෙය මෙම විෂය ගැන උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ආයතනවලට ද පුදුමයට හේතුවී තිබුණු කරුණක් වී තිබුණි.

වැරදි පත්කිරීමක් සිදුකිරිමෙන් නොනැවතී ඒ පුද්ගලයා අධිකරණයේ ගෞරවය විනාශ කිරීමට හේතුවන ලෙස පිස්සු නටන තත්ත්වයක් ඉදිරියේ විනිසුරුවරුන්, නීතිඥ සංගමය වැනි ආයතන දක්වන නිහඬතාව ඔවුන්ගේ විශ්මයට හේතුවී තිබුණි.

සාමාන්‍යයෙන් මෙවැනි බරපතල වරදකදි එය නිවැරදි කිරීම සඳහා නැගී සිටිය යුත්තේ විනිසුරුවරුන් හා නීතිඥයින්ය. අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වන අවස්ථාවලදි සංවිධානය වී නැගී සිටීමේ අයිතිය නීතිඥවරුන්ට පමණක් නොව, අධිකරණ නිලධාරීන් ද සතු අයිතියක්ය යන්න එක්සත් ජාතීන්ගේ සංගමය පවා පිළිගත් මූලධර්මයකි. එහෙත් රහසේ කන්කෙඳිරි ගාන පිළිවෙත් හැරුණු විට සිදුවී තිබෙන බරපතල වැරදි නිවැරදි කිරීම සඳහා නිර්භීතව නැගී සිටින තත්ත්වයකට විනිසුරුවරුන් හෝ නීතිඥයන් යොමුවූයේ නැත.

අධිකරණයේ මතුවී තිබෙන අර්බුදය පිළිබඳවත් නීතිඥ සංගමයේ හා අධිකරණ සේවා කොමිසම එහිදි අනුගමනය කරන ලද වැරදි ක්‍රියාපිළිවෙත පිළිබඳවත් ජාත්‍යන්තර නීතිඥ සංගමය පළකළ වාර්තාවට ඇතුළත් කරුණු 2001 දෙසැම්බර් 15 වැනිදා පැවති නීතිඥ සංගම් රැස්වීමේදි සාකච්ඡාවට ලක් කරන ලද අතර, එම වාර්තාවේ එන කරුණු පිළිබඳ වාර්තාවක් සංගමයට ලබාදිම සඳහා සිව් පුද්ගල කමිටුවක් ද පත් කරවා ගත්තේය. මේ සිව් පුද්ගල කමිටුවට එල්.සී. සෙනෙවිරත්න, එස්.එස්. විජේරත්න, අජන්තා අතුකෝරාල, කේ. නරේන්ද්‍ර කුමාර යන නීතිඥයන් ඇතුළත් විය. කමිටුවේ වාර්තාව ලිවීම බාරවී ඇත්තේ නරේන්ද්‍ර කුමාරටය. ඔහු එල්ල වී තිබෙන චෝදනා ගැන කරුණු සොයා බැලීමක යෙදි සිය නිරික්ෂණ ඇතුළත් කොට වාර්තාවක් සකස් කළේය. ජාත්‍යන්තර නීතිඥ සංගමය මේ අර්බුදය පිළිබඳව පළකර තිබෙන මූලික මත නිවැරදිය යන්න ඒ වාර්තාවේ පළවී තිබෙන එක මතයකි. අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් ඇතුළත් කමිටුවක් මගින් පරික්ෂා කළයුතු බවත්, එතෙක් ධුරය ඉසිලීමෙන් වැළකී සිටිය යුතු බවට සංගමය අගවිනිසුරුවරයාට දැනුම් දිය යුතු බවත්, පරික්ෂණය අවසන් වන තෙක් අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන කිසිම උත්සවයකට විනිසුරු සංගමය හෝ එහි සාමාජිකයන් සහභාගි නොවිය යුතු බවත්, ඊට ඇතුළත්ව තිබූ තවත් කැපී පෙනෙන නිර්දේශයන් විය.

එහෙත් කමිටුවේ වාර්තාව නීතිඥ සංගමය වෙත ඉදිරිපත් කළේ නැත. සිදුවිය යුතුව තිබුණේ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් එම වාර්තාවට එකග නොවේ නම් ඔවුන්ගේ නිරික්ෂණ ඇතුළත් තවත් වාර්තාවක් ලියා වාර්තා දෙකම සංගමය වෙත ඉදිරිපත් කිරීමය. ඒ වෙනුවට සිදුවූයේ අගවිනිසුරුවරයාට අවශ්‍ය ලෙස වාර්තාව යට ගැසීමය.

ඉන්පසුව දැන් ඇතිව තිබෙන අලුත්ම තත්ත්වය වනුයේ අගවිනිසුරුවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව නැගී සිටින තත්ත්වයකට අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය යොමුවීමය. රෝහණ කුමාර සිද්ධියේදි එවැනි පුද්ගලයෙකු අධිකරණයට සම්බන්ධ ආයතනයකට සම්බන්ධ කරගනු ලැබුවේ කෙසේද යන කාරණය පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් ඒකච්ඡන්දයෙන් සම්මත කරගනු ලැබූවත්, අධිකරණ සේවා කොමිසම නිහඬව බලා සිටින පිළිවෙතක් අනුගමනය කළා මිස, ඒ ගැන පරික්ෂණයකට ගියේ නැත. දෑන් සංගමය තමන්ගේ 60 වැනි සංවත්සරය පවත්වන්නට සැලසුම් කොට ඇත්තේ “අධිකරණයේ ස්වාධීනත්වය හා විනිශ්චයකරුවන්ගේ ස්වාධීනත්වය” ප්‍රධාන තේමාව කොටගෙනය.

මේ තේමාව අගවිනිසුරුගේ සංතෝෂයට හේතුවිය නොහැකිය. අගවිනිසුරුගේ ක්‍රියාකලාපය බරපතල ලෙස විවේචනයට ලක් කෙරෙන ජාත්‍යන්තර නීතිඥ සංගමයේ වාර්තාව පළවූයේ ද මේ තේමාව යටතේය. අගවිනිසුරුවරයා මුල් කොටගෙන ශ්‍රී ලංකා අධිකරණයේ මතුවී තිබෙන අර්බුදය ජාත්‍යන්තර තලයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන්නේ ද මේ තේමාව යටතේය.

අගවිනිසුරුවරයා සංගමයේ වාර්ෂික සම්මේලනය කඩාකප්පල් කිරීම සඳහා තමන්ට කළහැකි හැමදෙයක්ම කළේය. ජනාධිපති හා අගමැති සම්මේලනයට සහභාගී වන බව දැනුම් දි තිබියදි, සම්මේලනයට තමන් සහභාගි වන්නේ ද යන්න ගැන කරන විමසීම්වලදි ඒවාට පිළිතුරු දිමෙන් වැළකී සිටියේය. සංගමයේ වාර්ෂික සම්මේලනය පැවැත්වීමට අවශ්‍ය මුදල් සේ ම විනිශ්චයකාරවරුන් සඳහා අදාළ දින දෙකට නිවාඩු අනුමත කිරිමෙන් වැළකී සිටියේය.

දැන් අවසාන වශයෙන් පාවිච්චි කර තිබෙන තුරුම්පුව වී ඇත්තේ සම්මේලනය පැවැත්වීමට නියමිත එක් දිනක් සඳහා (දෙසැම්බර් 14) අධිකරණ පරිපාලනය පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කොට ඊට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස විනිසුරුවරුන් වෙත දැනුම් දිමය. සම්මන්ත්‍රණයට සහභාගිවන්නන් සඳහා දිරි දිමනාවක් ගෙවන බව ද දැනුම් දිමේ ලිපියේ සඳහන් වේ.

දිරීදිමේ දිමනාව එක් පුද්ගලයෙක් සඳහා රුපියල් 1800කි. ඊට අතිරේකව ගමන් වියදම් හා ආහාර සඳහා විය යුතුය. එවිට එක් පුද්ගලයෙකු සඳහා වන වියදම රුපියල් 2500ක් පමණ විය හැකිය. අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය කඩාකප්පල් කිරීම සඳහා පමණක් දරන්නට යන වියදම රුපියල් ලක්ෂ 6ක් 7ක් විය හැකිය. අගවිනිසුරුවරයාට ඒ මුදල් ලැබෙන්නේ කෙසේද? ඊට යොදාගන්නේ නීති ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකු ආධාර යටතේ ලැබෙන මුදල් ද?