ඔස්ලෝ ආධාර සමුළුව

December 1, 2002
Publication:
The piece defends the LTTE's inclusion in the Oslo aid conference but says involving the President would have strengthened it, and notes that Western delegates stressed sovereignty, territorial integrity, human rights and democracy. It contrasts Chandrika Kumaratunga, who offers much on paper but nothing in practice, with Ranil Wickremesinghe, who has no prepared plan but concedes whatever is asked, and warns that opposition obstruction is strengthening the LTTE's hand.

ඔස්ලෝ ආධාර සමුළුවට කොටි සංවිධානය සහභාගී කරවා ගැනීම ගැන විවිධ විවේචන එල්ලවෙමින් පවතී. ඇමරිකානු බ්‍රිතාන්‍ය අභිප්‍රායන් සිංහල ජාතියේ යහපතට හේතු නොවේය කියන මතයක් ද ප්‍රකාශ වෙමින් පවතී. දිර්ඝ කලක් එකට යුධ වැදි සිටි පාර්ශ්ව දෙකක් එකට එකතු වී යුද්ධයෙන් ඇති වී තිබෙන විනාශය සලකා තම රටට ආධාර කරන ලෙසට කරන ඉල්ලීමක් ජාත්‍යන්තර ප්‍රජාවගේ ආරක්ෂෂණයට හේතුවනු නොඅනුමාන ය. ඒ අර්ථයෙන් ගත් විට එම සමුළුවට කොටි සංවිධානය කැඳවා ගැනීමෙන් රටට යහපතක් මිස අයහපතක් වූයේ යයි කිව නොහැකි ය. එහෙත් තිබෙන මතබේද නොසලකා මේ ආධාර සමුළුවට ජනාධිපතිනිය ද සහභාගී කරගත්තේ නම් ආධාර සමුළුව වඩා ආකර්ශනීය වන්නට ඉඩ තිබුණ.

බටහිර රටවල් සාමකාමී විසර්මකට පක්ෂෂ නමුත් කොන්දේසි විරහිතව කොටි සංවිධානය හුරතල් කිරීමට ද සූදානම් නැති බව ජාත්‍යන්තර නියෝජිතයන් ඒ සමුළුවේ දි පළ කරන ලද අදහස් අනුව පෙනී යයි. ඒ හැම නියෝජිතයෙකුම විසඳුමක් ඇතිකර ගැනීමේ දි රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව පමණක් නොව මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය යන සාධක සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කළේ ය.

මෙම වාර්ගික අවුල අරබයා ජනාධිපතිනිය කෙරෙන් ප්‍රකාශ වී ඇති පිළිවෙත හා අගමැති රනිල් වික්‍රමසිංහ කෙරෙන් ප්‍රකාශ වී ඇති පිළිවෙත අතර මූලික පරස්පරයන් පවතින අතර නායකයන් දෙපළ අන්ත දෙකක පිහිටා ක්‍රියා කරන බවක් ද පෙනී යයි. ජනාධිපතිනිය බැලු බැල්මට අති විශාල දෙයක් දෙන්නට සූදානම් ය. එහෙත් ප්‍රායෝගිකව කිසිවක් ම දෙන්නට සූදානම් නැත. අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්නේ එහි අනෙක් අන්තයේ ය. ඔහු අත බැලු බැල්මට දෙන්නට කල් තියා සූදානම් කරගත් කිසිවක් නැත. එහෙත් ප්‍රායෝගික තලයේ දි ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නට සූදානම් ය.

ස්ථිර විසඳුමක් ඇතිකර ගැනීම සඳහා අවුරුදු තුන හතරක් තරම් කාලයක් ගත වනු ඇති බව රනිල් වික්‍රමසිංහ දන්නේ ය. අවුලක් ඇති නොවන ලෙස අවශ්‍ය තරමටත් වඩා මටසිලූටු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් සාම වැඩ පිළිවෙළ නොකඩවා ඉදිරියට ගලායන තත්ත්වයක් පවත්වාගෙන යාම ඔහුගේ අභිප්‍රාය වී තිබෙන බව පෙනේ. ඒ කාලය තුළ රටට ආධාර ගලා එන තත්ත්වයක් ඇති වී රට සමෘද්ධිමත් වේ නම් තමාගේ තත්වය ශක්තිමත් වනු ඇති බව අගමැතිගේ ගණන් බැලීම වී තිබෙන බව පෙනේ.

විරුද්ධ පක්ෂෂ ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහාය නොදි අවුල් කරන තත්ත්වයකින් ක්‍රියා කිරීම මේ ගනු දෙනුවේ දි කොටි සංවිධානයේ තත්වය වඩා ශක්තිමත් කිරීමට හේතු වී තිබේ. දකුණේ විරුද්ධ පක්ෂෂයෙන් එල්ල වී තිබෙන විරෝධතා ඉදිරියේ සාම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා කොටි සංවිධානය සමග කරන ගනුදෙනුවේ දි වැඩි වැඩියෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අගමැතිවරයාට සිදු වී තිබෙන බව ද පෙනී යයි.

මේ මොහොතේ ද කොටි සංවිධානය ප්‍රතිපක්ෂෂයට වඩා දක්ෂෂ ලෙස ක්‍රියා කරන තත්ත්වයක සිටී. එහෙත් ඔවුන්ට පවා ඔවුන්ගේ සාධාරණ අයිතිවාසිකම් ලබාගත හැකි තත්ත්වයක් ඇති කරගත හැකිවනු ඇත්තේ සිංහල හා මුස්ලිම් අපේක්ෂෂා ද සැලකිල්ලට ගනිමින් ඔවුන් අතර බලවත් සැකයක් හෝ භීතියක් ඇති කිරීමට හේතුවන තරම් හික්මීමක් පවත්වාගෙන යාමට ඔවුන් සමත් වේ නම් පමණ ය.