රනිල්ට වැරදුණේ කොතැන ද?

October 27, 2002
Publication:
After the Supreme Court blocked the 19th Amendment strategy, Ivan assesses Ranil Wickremesinghe's leadership. He compares the goals and power bases of J.R. Jayewardene, Ranasinghe Premadasa, Chandrika Kumaratunga and Wickremesinghe, and argues that the Prime Minister missed the chance, just after his election victory, to use his mandate to force the President into constitutional reform. He praises his resolve on peace but faults his reliance on personal friends rather than the cabinet and his failure to explain his goals.

විධායක ජනාධිපති ධුරය ප්‍රතිපක්ෂයකට හිමිවී තිබෙන තත්ත්වයක් ඉදිරියේ පාර්ලිමේන්තුවට අවුරුද්දක් සම්පූර්ණ වීමෙන් පසුව අවශ්‍ය නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට ලැබී තිබෙන පරම බලය සීමා කරනු පිණිස ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට ගියේය. සංශෝධනය සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය අඩු ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට බලාපොරොත්තු වූයේ පොදු පෙරමුණෙනි. පොදු පෙරමුණේ සිට ඊට ආධාර කරන අයට ආරක්ෂාව ලබාදිම සඳහා එම සංශෝධනයට පමණක් සීමාවන ලෙස හෘද සාක්ෂියට අනුව ක්‍රියාකිරිමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ලබාදිම ආණ්ඩුවේ උපාය මාර්ගය වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වැඩපිළිවෙළ නීති විරෝධී කරන තත්ත්වයක් තුළ ආණ්ඩුවේ පැවැත්ම යම් පමණකට හෝ අර්බුදයකට යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ නිසා ආණ්ඩුව මුළුමණන් බිඳ දැමීමේ හැකියාවක් ජනාධිපතිනියට නැතත්, වඩා ශක්තිමත් ආකාරයට ආණ්ඩුවේ ඉදිරි ගමනට අවහිර කිරිමේ හැකියාවක් ඇයට ලැබී ඇත්තේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු පාලන ක්‍රියාවලිය සමහර අංශවලින් ඉතා ශක්තිමත් හා ආකර්ශනීය වුවත්, ඒ තුළ බරපතල දුර්වලකම් ද දැකිය හැකිය.

ඕනෑම ආණ්ඩුවක සාර්ථක පැවැත්ම කෙරෙහි ආණ්ඩු පාලනයේ සුක්කානම හසුරුවන්නාගේ තීක්ෂණභාවයේ හා ක්‍රියාකාරිත්වයේ සාර්ථක, අසාර්ථකභාවය බලපායි. හැම දේශපාලන ගමනකටම ඉලක්කයකුත්, ඒ ඉලක්කය කරා ගමන් ගැනීම සඳහා මනා සැලැස්මකුත් තිබිය යුතුය. ශක්තිමත් දැක්මක් හා හොඳ සැලැස්මක් තිබීම ප්‍රමාණවත් නැත. ගමන යන්නට වන්නේ කණ්ඩායමක් ද සමග ය. ඳ

නැවක කප්පිත්තාට ඉදිරිය ගැන දැක්මක් තිබිය යුතුය. සුක්කානම විධිමත් ලෙස හැසිරවිය යුතුය. ඒ සමග නැවේ අනෙකුත් කටයුතු මෙහෙයවන්නන්ගේ ක්‍රියාකාරිත්වය මනා තත්ත්වයක තබාගැනීමට හැකිවිය යුතුය.

සාමාන්‍ය නෞකාවක් පදවනවාට වඩා රාජ්‍ය නෞකාවක් පැදවීම සංකීර්ණ සේ ම දුෂ්කර ක්‍රියාවකි. එහිදි කප්පිත්තාට නෞකාව පදවන්නට සිදුවන්නේ ජල සාගරයක නොව, හිත් පිත් හා ඇට ලේ මස් ඇති මිනිසුන්ගෙන් යුතු ජන සාගරයකය.

ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය ක්‍රමයක් තුළ මැතිවරණයකදි මහජනයාගේ වැඩි කැමැත්ත ලබන පක්ෂය ආණ්ඩු පක්ෂය බවට පත්වන විට තරගකාරි විරුද්ධ පක්ෂ ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. මහජනතාව අතර විරුද්ධ පක්ෂවලට කැමති මහජනතාවක් ද සිටින්නේය. ආණ්ඩු පක්ෂයට ලැබෙන මහජන කැමැත්ත ද වෙනස් විය හැකිය.

රාජ්‍ය නෞකාවක් හසුරුවන කප්පිත්තාට මහජනයාගේ විශ්වාසයට හේතුවන ඉදිරි දර්ශනයක් සේ ම, ඒ ඉදිරි දර්ශනයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ද තිබිය යුතුය. නව පක්ෂයට ලැබුණු මහජන කැමැත්ත ආරක්ෂා කරගනිමින් වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන්නේ මහජනයාගේ එදිනෙදා ජීවිතවල යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන ඉදිරි දර්ශනයක් ඇති ඒ දර්ශනය ප්‍රායෝගික කරගැනීම සඳහා වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඇති හා ඒ සඳහා ඇප කැපවීමක් පෙන්නුම් කිරීමට සමත්වන නායකයන්ට පමණය.

ජේ.ආර්. ජයවර්ධනගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා බලයට පැමිණි නායකයන්ට තිබුණු ඉලක්ක එක සමාන නොවීය. වේගවත් ආර්ථික වර්ධනයක් දිනාගැනීම ජේ.ආර්.ගේ ඉලක්කය විය. දුප්පත් ජනයාට බර තබන ප්‍රතිපත්තියක් මත රට නගා සිටුවීම ප්‍රේමදාසගේ ඉලක්කය විය. සාමය චන්ද්‍රිකාගේ ප්‍රකාශිත ඉලක්කය වුවත්, ඇයට රට සඳහා ඇත්ත ඉලක්කයක් තිබූ බවක් පෙනෙන්නට නැත. රනිල්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ද සාමයයි.

මේ නායකයන් සිවුදෙනාටම ක්‍රීඩා කිරීමට ලැබුණු පිටිවල ස්වභාවය එකිනෙකට වෙනස්ය. වඩාත්ම දුෂ්කර හා අවාසිදායකම පිටිය ලැබුණේ රනිල් වික්‍රමසිංහට යැයි කිව හැකිය.

ජේ.ආර්.ට විධායක ජනාධිපති බලයට අතිරේකව හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ද තිබුණි. ප්‍රේමදාසට ද විධායක ජනාධිපති බලයට අතිරේකව හයෙන් පහක කෙසේ වෙතත්, බහුතර පාර්ලිමේන්තු බලයක් තිබුණි. චන්ද්‍රිකාට ද පාර්ලිමේන්තුවේ සුළු බහුතර බලයක් සමග විධායක ජනාධිපති බලය තිබුණ. එහෙත් රනිල්ට ලැබුණේ පාර්ලිමේන්තුවේ සුළු බහුතර බලයක් පමණය. ඒ සුළු බහුතර බලය පවා ලැබී තිබෙන්නේ එක් පක්ෂයකට නොව, පක්ෂ එකතුවකටය. විධායක ජනාධිපති බලය රැඳී ඇත්තේ ප්‍රතිපක්ෂය අතේය.

රනිල් වික්‍රමසිංහ සිය ප්‍රධාන ඉලක්කය කොට ගත්තේ ද වැඩිපුර ජනාධිපතිනියගේ විෂය සීමාවට වැටෙන විෂයක් ලෙස සැලකිය හැකි සාමයයි. සාමයක් අවශ්‍ය වූයේ ආණ්ඩුවේ හමුදා අතරත්, කොටි හමුදා අතරත් යුද්ධයක් තිබූ නිසාය. නිල බලයෙන් ත්‍රිවිධ හමුදාවට අණදෙන බලය ඇත්තේ අගමැතිට නොව, ජනාධිපතිටය. මේ තත්ත්වයන් තුළ උපාය උපක්‍රම සකස් කිරිමේදි තමන්ට හිමි බලයට ආවේණික සීමාසහිත බවත්, තමන් ඉලක්ක කොට ගත් අරමුණ අවශ්‍ය නම්, කඩාකප්පල් කිරීමට ජනාධිපතිට තිබෙන හැකියාවත් කල්පනාවට ගත යුතුව තිබුණි.

තමාට ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන ප්‍රතිපක්ෂ නායකයා පිළිබඳ හරි තක්සේරුවකට යෑම හා ඒ පුද්ගලයාට ගැලපෙන ප්‍රතිපත්තියක් සකස් කිරිමේදි ඊළගට සැලකිල්ලට ගත යුතුව තිබුණු තවත් වැදගත් කාරණයක් විය.

ජේ.ආර්. ගෙන් පසු බලයට පැමිණි නායකයන් අතරින් වඩාත්ම හිතුවක්කාරි නායකයා ලෙස සැලකිය හැක්කේ චන්ද්‍රිකාය. ජේ.ආර්. ද හිතුවක්කාරි නායකයකු විය. එහෙත් ජේ.ආර්. ජීවත් වූ යුගය චන්ද්‍රිකා ජීවත් වූ යුගයට වඩා වෙනස්ය. ජේ.ආර්. නියෝජනය කළේ ලෝකය ගෝලීයකරණයට යොමුවෙමින් තිබූ මුල් වකවානුවේය. ලංකාවේ කටයුතු එකල වැදගත් වූයේ ඉන්දියාවට පමණය. අනෙක් අතට ජේ.ආර්. සියලු හිතුවක්කාරකම් කළේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් සිය අතේ තබාගෙනය. චන්ද්‍රිකා ජීවත් වූයේ ගෝලීයකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින් තිබුණු යුගයකය. ලංකාවේ හැසිරිම ඉන්දියාවට පමණක් නොව, සෙසු ලෝකයම වැදගත් කොට සලකන යුගයකය. අනෙක් අතට චන්ද්‍රිකා ජේ.ආර්. මෙන් හැසිරෙන්නට ගියේ ද පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් අත ඇතිව නොව, පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයක බලයක් පමණක් තබාගෙනය.

ප්‍රජාතන්ත්‍රවාදි වත් පිළිවෙත් උල්ලංඝනයේදි චන්ද්‍රිකා ජේ.ආර්. ගිය සීමාව පවා ඉක්මවා ගිය නායිකාවකි. ඇය රට පාලනය කිරිමේ කලාව නොදැන සිටියත්, බලය ලබාගැනීම හා ලබාගත් බලය රැකගැනීම සඳහා ඕනෑම අන්තයකට යෑමේ හැකියාවක් තිබෙන නායිකාවකි. තමාගේ අත්වල කුණු ද, ලේ ද තැවරි ඇති බව දන්නා ඇය එහිදි තමාගේ ආරක්ෂාව බලය මත රඳ පවතින බව ද දනී. මානසික වශයෙන් ද ඇය ඉන්නේ සාමාන්‍ය නොවන තැනකය. ඇය එකවිට රටේ රාජ්‍ය නායිකාව ලෙස ද, විරුද්ධ පක්ෂ නායකයා ලෙස ද පෙනී සිටී.

මේ සියලු කරුණු අනුව චන්ද්‍රිකා වැනි නායිකාවක් සමග ගනුදෙනු කිරීමට තිබෙන දුෂ්කරතාව තේරුම් ගනිමින් ඊට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම වලට පටහැනි නොවන පිළිවෙතක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තෝරා ගත යුතුව තිබුණි.

චන්ද්‍රිකා බියට පත් එකම දේ මහජන බලයයි. මැතිවරණයෙන් එජාපය බලයට ආවත්, විධායක බලය ඇත්තේ තමා අත බවටත්, ආණ්ඩුවක් පිහිටුවන්නේ තමාට අවශ්‍ය අන්දමට බවටත් චන්ද්‍රිකා කයිවාරු ගැසුවාය. එහෙත් මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ඇගේ කයිවාරු ගැසීම මොහොතකට නතර වී ඇය එක් අඩියක් පස්සට ගන්නා පිළිවෙතක් අනුගමනය කළාය. චන්ද්‍රිකා පාලනය කළ හැක්කේ මහජන බලයට පමණක් බවත්, තමාට පක්ෂපාතව මහජන බලය ප්‍රකාශ වූ ඒ අවස්ථාවේදි තමන්ට බාධාවක් වී තිබෙන ක්‍රමය සංශෝධනය කරගැනීම සඳහා ඇය එකග කරගැනීමට තිබෙන හොඳම හා එකම අවස්ථාව බව තේරුම් ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අසමත් වූයේය.

ඒ විශේෂ අවස්ථාවේදි චන්ද්‍රිකා සමග ගනුදෙනුවට ගියේ නම්, තමාට මහජන වරමක් ලැබී ඇති නිසා තමන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට බාධාවක් ලෙස ක්‍රියාකරන බාධක ඉවත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට එකග වන ලෙස ඇගෙන් ඉල්ලා සිටියේ නම් හා ඊට එකග වේ නම් බාධාවකින් තොරව ඇගේ ධුර කාලය හෙබවීමට ඉඩ දෙන බවට සහතික වී නම් ඇය එවැනි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට එකග කරවා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. එවැන්නකට ජනාධිපතිනිය එකග නොවේ නම්, තමන්ට ලැබී තිබුණු මහජන බලය තවදුරටත් විකසිත කිරීමට හේතුවන ආකාරයේ මහජනයාට බර තබන වැඩපිළිවෙළත්, මගින් එම වැඩපිළිවෙළට එකග වන ලෙසට බලකිරීමට හෝ ඇය එවැන්නකට එකග නොවන දරදඬු පිළිවෙතක් අනුගමනය කරන්නේ නම්, ඇය බලයෙන් පළවා හරින ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට හැකිවන්නට හෝ ඉඩ තිබුණි.

දේශපාලනයේදි අවස්ථාව ඉතා වැදගත් සාධකයකි. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පක්ෂපාත මහජන බලයක් ප්‍රකාශිත ඒ විශේෂ අවස්ථාව තමන්ගේ ඉදිරි ගමනට තිබෙන බාධක ඉවත් කරගැනීමේ වැඩපිළිවෙළක් සඳහා යොදා නොගත්තේය. ආණ්ඩුවේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය කොන්දේසියක්ව පැවති ජනාධිපතිනිය එක්තරා ප්‍රමාණයකට හෝ පාලනයට යටත් තත්ත්වයකට ගැනීම සඳහා තමන්ට ලැබී තිබුණු මහජන බලය යොදා ගන්නවා වෙනුවට ඒ විශේෂ මොහොතේදි එවැනි ගනුදෙනුවකට නොගොස් වඩා අවැදගත් දේවල යෙදෙමින් මහජන බලය මිලින වී යමින් තිබෙන අවස්ථාවක ඉතා දුර්වල ආකාරයකින් ඒ ගනුදෙනුව කරන්නට ගොස් අත පුච්චා ගත්තේය.

මේ වැරැද්ද නිවැරදි කරගැනීම සඳහා ගෙවන්නට සිදුවනු ඇති වන්දිය ඉතා විශාල විය හැකි වුවත්, නැවත මෙවැනි බරපතල වැරදි සිදු නොවන ලෙස ඉදිරියට යා හැකිවනු ඇත්තේ ද ඉන් උගත යුතුව තිබෙන හරි පාඩම් ඉගෙන ගන්නේ නම් පමණය.

සාමය ඇති කිරීම සඳහා දක්වන ලද අධිෂ්ඨානය, ඇප කැපවීම හා ඊට අදාළ සමහර දුෂ්කර තීරණ ගැනීමේදි දක්වන ලද නිර්භීතභාවය රනිල් වික්‍රමසිංහ පාලනයට ආවේණික ප්‍රධාන යහපත් ලක්ෂණ ලෙස සැලකිය හැකිය. එහෙත් ඊට ආවේණික දුර්වලතා රාශියක් ද පවතී.

රනිල් වික්‍රමසිංහ රගපෑ විපක්ෂ නායක භූමිකාව ශක්තිමත් නැත. එහෙත් අගමැති භූමිකාව ශක්තිමත්ය. අවශ්‍ය දේ පමණක් කතා කරන තමන් හරියැයි විශ්වාස කරන දේවල් කරන එහිදි මතුවන විරෝධතාවලට බිය නොවන දුෂ්කර හා නිර්භීත තීන්දු ගැනීමට සූදානම් නායකයකු බව සනාථ කර ඇතත්, තමන්ගේ කණ්ඩායමේ ශක්තිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නා කණ්ඩායම්වාදි නායකයකු බව තවමත් සනාථ කොට නැත.

තම කණ්ඩායමට ඇතුළත් දක්ෂයින්ට තම තමන්ගේ දක්ෂතා උපරිම ලෙස මුදාහැරිමට ඉඩදෙමින් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රියා කළ කණ්ඩායම් නායකයා ලෙස සැලකිය හැක්කේ ජේ.ආර්. ය.

එජාපයේ ආරම්භයේ සිට ජේ.ආර්. එම පක්ෂය තුළ කැපී පෙනෙන එම පක්ෂය විසින් ඇති කළ ආණ්ඩු තුළ කැපී පෙනෙන තනතුරු දෑරූ පුද්ගලයෙකු වුවත්, රාජ්‍ය නායකත්වයට පත්වූයේ මහලු වියේදිය. බලයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ එකක් විය. කණ්ඩායමේ සිටි වෘද්ධතම පුද්ගලයා ජේ.ආර්. ජයවර්ධන වූ අතර, ඔහුට තිබුණු අත්දැකීම් හා පක්ෂය තුළ ලැබී තිබුණු අසහාය නායකත්වය නිසා ඔහුගේ නායකත්වයට අභියෝග කරන කිසිවෙක් එම කණ්ඩායම තුළ නොවීය. විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘවරයා ජේ.ආර්. ජයවර්ධන වුවත්, ජනාධිපති ප්‍රේමදාස හෝ ජනාධිපති චන්ද්‍රිකා මෙන් ඔහු දෑවැන්ත ජනාධිපති ලේකම් කාර්යාලයක් පවත්වාගෙන ගිය හෝ උපදේශක බුරුත්තක් සමග කටයුතු කළ නායකයෙකු නොවීය. ඔහු සිය උපදේශක මණ්ඩලය ලෙස සැලකුවේ ඔහුගේ ප්‍රධාන කණ්ඩායම වූ ඇමති මණ්ඩලයයි. ඔහු හැමදෙයක්ම ඇමති මණ්ඩලය සමග සාකච්ඡා කළේය. ඇමති මණ්ඩලයේ සාමාජිකයන්ට නිදහසේ අදහස් පළ කිරීමට ඉඩ දුන්නේය. ඔවුන් අතර, බලතල බෙදාදි සංසුන්ව ඔවුන් කටයුතු කරගෙන යන ආකාරය බලාගෙන සිටියේය. ඔවුන් අතර සිටින දක්ෂයන්ට ඔවුන්ගේ දක්ෂතා උපරිම ලෙස පෙන්නන්නට ඉඩ හැරියේය. ප්‍රේමදාස, රොනී, ලලිත් හා ගාමිණී ඒ ඇමතිවරුන් අතර සිටි කැපී පෙනෙන ප්‍රධාන චරිත හතර විය. ජේ.ආර්. තමන්ගේ ඉලක්ක හා ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියාවට නගමින් තිබෙන වැඩපිළිවෙළ ගැන සිය කණ්ඩායම හැමවිටම දැනුවත් තත්ත්වයක තබා ගත්තේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ක්‍රමය ඊට වෙනස් විය. ඔහු තීරණ ගත්තේ ද තීරණ ක්‍රියාවට නගන ලද්දේ ද ඇමති මණ්ඩලය හරහා නොව, තෝරාගත් රාජ්‍ය නිලධාරින් පිරිසක් හරහාය.

චන්ද්‍රිකාගේ ක්‍රමය ඊටත් වෙනස්ය. ඇගේ ඇමති මණ්ඩලය ද කිසිම විනයක් නැති බලයක් නැති නාමමාත්‍රික ආයතනයක් විය. සියලු තීන්දු ගනු ලැබුවේ දේශපාලන අත්දැකීම් හෝ අවබෝධයක් නැති පෞද්ගලික හිත මිතුරන් කිහිප දෙනෙකු සමගය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද තීන්දු ගැනීමේ ක්‍රියාවලියේදි සිය ප්‍රධාන කණ්ඩායම කෙරෙහි මුළුමණන් විශ්වාසය තබා ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට පෞද්ගලික හිත මිතුරන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබේ.

අපේ රටේ පවතින ආණ්ඩු ක්‍රමය තුළ ආණ්ඩුවේ ප්‍රධාන විධායක මණ්ඩලය ලෙස ක්‍රියාකරන්නේ කැබිනට් මණ්ඩලයයි. ඊට ඇතුළත් සාමාජිකයන් තුළ විවිධ සීමිතකම් සේ ම දක්ෂතා ද තිබිය හැකිය. කණ්ඩායමේ සාමාජිකයන් අතර උපරිම මට්ටමෙන් බලය බෙදාහැර දි දක්ෂතා ඇති අයට උපරිම මට්ටමින් සිය දක්ෂතා කල එලි දැක්වීමට පරිසරයක් ලබාදෙමින් වැරදි මග යන්නට ඉඩ නොදි ඔවුන් හරි මග ගෙනයාම නායකයාගේ වගකීමයි. හැම වැදගත් දෙයක්ම කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා විය යුතුය. හැම වැදගත් තීන්දුවක් ගැනීමක්මත් සිදුවිය යුත්තේ කැබිනට් මණ්ඩලය හරහාය. ආණ්ඩුවේ ඉලක්ක හා ඒ ඉලක්ක වෙත ළගාවීම සඳහා යොදා ගන්නට යන වැඩපිළිවෙළ ගැන මනා අවබෝධයක් කැබිනට් මණ්ඩලයට තිබිය යුතුය. කැබිනට් මණ්ඩලය සමගියෙන් හා විනය ගරුකව ක්‍රියාකරන තත්ත්වයක තබාගත යුතුය.

නායකයාගේ සිත තුළ ඉතා හොඳ හොඳ දේවල් තිබීම ප්‍රමාණවත් නැත. නායකයාගේ ප්‍රධාන ඉලක්ක හා ඒවා වෙත ළගාවන්නට යන ආකාරය පිළිබඳ වැටහීමක් මහජනතාවට ද ලබාදිය යුතුය. මහජනතාව ආණ්ඩුවකට සහාය දෙන්නේ ද, දුෂ්කර අවස්ථාවකදි ආණ්ඩුවක් ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියට එන්නේ ද ආණ්ඩුව ක්‍රියාවට නගන වැඩසටහන පිළිබඳ අවබෝධයක් මහජනතාව තුළ ඇති නම් හා ඒ වැඩපිළිවෙළ මගින් සිය ජීවිතවල යහපත් වෙනසක් ඇති කරන බව පෙනේ නම් පමණය. එහෙත් සාමය සඳහා හා පෞද්ගලිකකරණය සඳහා වන අධිෂ්ඨානය හැර ආණ්ඩුව අපේක්ෂා කරන ඉලක්ක මොනවාද යන්න මහජනතාවට පැහැදිලි නැත. දේශපාලන ක්‍රමය තිබෙන්නේ කුණු වී මජර ගලන තැනකය. එය ආණ්ඩුව ප්‍රතිසංස්කරණය කරන්නේ ද නැතිනම් ඒ කුණුවී මජර ගලන තුවාලය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට උත්සාහ කරන්නට යන්නේ ද යන්න කිසිවක් පැහැදිලි නැත. ඒ අපැහැදිලිභාවය මේ ආණ්ඩුවට ආවේණක ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැකිය.