19 වැනි ව්යවස්ථා සංශෝධනයට අදාළව ශ්රේෂ්ඨාධිකරණය දි තිබෙන තීන්දුව මුල් කොටගෙන දේශපාලන වශයෙන් අස්ථාවරභාවයක් පිළිබඳ හැගීමක් ගොඩ නැගී තිබේ. එහෙත් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන ව්යාපාර දෙකම හිරවන තැනකට යනවා මිස, කිසිවකුටත් මේ මොහොතේ එකිනෙකා අභිබවා නැගී සිටීමේ හැකියාවක් නැත.
ආණ්ඩුවට අවහිර කිරිමේ හැකියාවක් ජනාධිපතිනියට තිබේ. එහෙත් ආණ්ඩුව පෙරළා දැමීමේ හැකියාවක් ඇයට නැත. ජනාධිපතිනියගේ කටයුතුවලට ද අවහිර කිරිමේ හැකියාවක් ආණ්ඩුවට ඇත්තේ ය. එහෙත් ආණ්ඩුවට ද ඇය බලරහිත කිරිමේ හෝ පලවා හැරිමේ හැකියාවක් නැත.
බැලු බැල්මට පෙනෙන්නේ ආණ්ඩුවට සිටින්නේ 114ක් බව ය. ඒ නිසා හතර පස්දෙනෙකුගේ වෙන්වීමක් පවා ආණ්ඩුවේ බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවනු ඇත යන හැගීමක් ඇතිවී තිබේ. එහෙත් පිටස්තරීන් සිටින දෙමළ සන්ධානයේ 16 දෙනා සිටින්නේ ද ආණ්ඩුව සමග ය. එවිට මුළු ගණන 114ක් නොව 130කි. ඒ නිසා හතරපස්දෙනෙකු එහා මෙහා කිරිමෙන් පමණක් ආණ්ඩුව බිඳ දැමීමේ හැකියාවක් නැති අතර, පොදු පෙරමුණට ද කවර මට්ටමකින්වත් ආණ්ඩුවක් තාවකාලිකව හෝ පූට්ටු කරගැනීමේ හැකියාවක් නො පවතී.
ඒ අර්ථයෙන් මේ බලවේගයන් දෙකම ඉන්නේ එකිනෙකා අභිබවා යා නො හැකි හිරවූ තැනක ය. ඒ හිරවූ තත්ත්වය ද රටේ ඉදිරි ගමනට බාධාවකි.
රටේ යහපත පිණස නම් දෑන් සිදුවිය යුතුව තිබෙන්නේ ආත්මාර්ථකාමී භාවයෙන් මොහොතකට අත්මිදි රටේ යහපත පිණිස රටේ ඇති කළ යුතුව තිබෙන ප්රතිසංස්කරණ පිළිබඳව පොදු එකගතාවකට ඒම ය. රට විධායක ජනාධිපති ක්රමය යටතේ ම ඉදිරියට යා යුතුද එය එසේ වේ නම් විධායක ජනාධිපති ක්රමය තුළ ඇති කළ යුතු ප්රතිසංස්කරණ මොනවාද? විධායක ජනාධිපති ක්රමය සුදුසු නොවේ නම්, ශ්රී ලංකාවට තෝරා ගැනීමට තිබෙන හොඳම ක්රමය කුමක් ද? මොන පක්ෂය බලයට ආවත්, බාධාවකින් තොරව සංවර්ධන ක්රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ජාතික ප්රතිපත්තියක් ඇති කරගත යුතුද? එවැන්නක් අවශ්ය නම් ඊට ඇතුළත් කළ යුතුව තිබෙන විෂයයන් මොනවාද? සාම ක්රියාවලිය පොදු එකගතාවකින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? ඒ සඳහා ඇති කරගත යුතු විසඳීමේ හැඩතල මොනවාද? වාර්ගික විවිධත්වය හා අයිතිවාසිකම් සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුළත් කළ යුතුව තිබෙන මූලික කාරණා මොනවාද? යනාදි කරුණු පිළිබඳව පොදු කථිකාවකට යමින් දේශපාලන ක්රමය සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීම තිබෙන හොඳම අවස්ථාව මෙය විය හැකි ය.