ඒකාධිපතියන් රටට අවශ්‍ය නැත

September 22, 2002
Publication:
The editorial accuses the President of abusing her powers under the distorted 17th Amendment. She has kept Priyani Wijesekera, the most senior and qualified candidate, as only acting Secretary-General of Parliament despite the 14-day limit on acting appointments, and passed over Justice Mark Fernando, whose ruling that presidential immunity ends with the term of office she resented, when naming an acting Chief Justice. It calls on all parties to correct the amendment.

රටේ රාජ්‍ය නායිකාව වශයෙන් ජනාධිපතිනිය 17 වැනි සංශෝධනයේ දි එම සංශෝධනයේ අරටුව විකෘති කිරීමකින් නොනැවතී දැන් ඒ විකෘති කරවන ලද සංශෝධනය යටතේ ප්‍රමුඛ තනතුරුවලට පුද්ගලයන් තෝරා පත් කිරිමේ ක්‍රියාවලියේ දි ද රටේ ගෞරවයට හේතු නොවන ලෙස සිය බලතල ක්‍රියාවට නගන තත්ත්වයකින් ක්‍රියාකරමින් සිටී.

නව පාලන කාලය තුළ පාර්ලිමේන්තුවේ ලේකම් තනතුර සඳහා පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවේ දි ඒ විෂය පිළිබඳ වැඩිම පළපුරුද්දක් තිබුණු ජේ‍යෂ්ඨතම පුද්ගලයා ලෙස සැලකිය හැකි ප්‍රියානි විජේසේකර මහත්මිය එම තනතුරට පත් නොකොට තමන්ට පාලනය කළ හැකි පුද්ගලයකු පිටස්තරින් ඒ තනතුරට ගෙනාවා ය. ඒ වරද නිවැරදි කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කළේ පාර්ලිමේන්තු ලේකම් ධූරය ඉසිලු ධම්මික කිතුල්ගොඩ මහතා ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට පත් කිරීම ය. ඒ මගින් ඇතිවන පුරප්පාඩුවට ප්‍රියානි විජේසේකර මහත්මිය පත් කිරීම ආණ්ඩුවේ අභිලාෂය විය.

විකෘති කරන ලද 17 වැනි සංශෝධනය අනුව ප්‍රමුඛ තනතුරු සඳහා පුද්ගලයන්ගේ නම් නිර්දේශ කළ යුත්තේ ව්‍යවස්ථා සභාව විසින් නොව ජනාධිපති විසිනි. ඒ අනුව ජනාධිපතිනිය එම තනතුර සඳහා සිටි සුදුසුම පුද්ගලයා ලෙස විවාදයකින් තොරව පිළිගත හැකි තත්ත්වයක සිටි ප්‍රියානි විජේසේකර මහත්මිය එම තනතුරට ස්ථිර ලෙස පත් කරනවා වෙනුවට පාර්ලිමේන්තු වැඩ බලන ලේකම් ලෙස පත් කළා ය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව වැඩ බලන තනතුරක වලංගුභාවය පවත්නේ දින 14කට පමණ ය. දින 14ක සීමාවක් පනවා ඇත්තේ ප්‍රමුඛ තනතුරු සඳහා වැඩ බලන තත්ත්වයේ පුද්ගලයන් පත් කිරීම වැළකීම සඳහා ය. එම දින 14 කල් පසු වූ පසුව කථානායකවරයා ඒ ගැන ජනාධිපතිනියට දැනුම් දුන්නේ ය. ඉන් පසුත් ජනාධිපතිනිය කළේ ප්‍රියානි විජේසේකර මහත්මිය ස්ථිර ආකාරයකින් එම තනතුරට පත් කරනවා වෙනුවට නැවත වැඩ බලන පදනමකින් පත් කිරීම ය. ඒ මගින් ප්‍රමුඛ තනතුරක් දරන පුද්ගලයකුට හිංසාවක් ඇති කර තිබෙනවා පමණක් නොව යහපත් ආණ්ඩුකරණයක් සඳහා වන මූලික කොන්දේසිය ද උල්ලංඝණය කර තිබේ.

ජනාධිපතිනිය ප්‍රියානි විජේසේකර මහත්මියට කැමති නැත. ඒ බව ඇය ප්‍රසිද්ධියේ ද ප්‍රකාශ කර තිබුණි. තමන් තුළ ඇති ඒ අකමැත්ත නිසා ම ඇයට කොතරම් සුදුසුකම් තිබුණත් එම තනතුරට පත් කිරිමෙන් වැළකී සිටීමට ජනාධිපතිනියට අවශ්‍ය වී තිබේ. මෙය ඉතාමත් අශෝභන තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ අශෝභන පිළිවෙත අධිකරණය කෙරෙහි ද බලපා තිබේ. විවාදයට හේතු වී සිටින අගවිනිසුරුවරයා නීති සමුළුවක් සඳහා එතෙර යන තත්ත්වයක් ඉදිරියේ අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිනිය විසින් පත්කර ඇත්තේ ඊළගට සිටි ජේ‍යෂ්ඨයා නොව ඊටත් පහළින් සිටින පුද්ගලයෙකි. ඊළගට සිටින ජේ‍යෂ්ඨයා වන මාර්ක් ප්‍රනාන්දු මහතා ජනාධිපතිනියගේ ප්‍රසිද්ධ විවේචනයට ලක් වූ චරිතයකි. ඒ තත්වය කෙරෙහි මාර්ක් ප්‍රනාන්දු මහතා ලබා දි ඇති ජනාධිපති මුක්තිය පිළිබඳ අර්ථ නිරූපණය බලපෑ බව ප්‍රකට ය. එම අර්ථ නිරූපනය අනුව ජනාධිපතිවරයකු කරන වැරදිවලට නඩු පැවරිය නොහැක්කේ ධූර කාලය තුළ පමණ ය. ඉන් පසු මුක්තියේ බලය අහිමි වී නඩු පැවරීය හැකි තත්ත්වයක් ඇති වේ. එවැනි අර්ථ නිරූපණයක් යහපත් ආණ්ඩු පාලනයක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. ජනාධිපතිවරු මුක්තියට මුවා වී කරන වැරදි රට කෙරෙහි විනාශකාරි ලෙස බලපා තිබෙන අතර මේ අර්ථ නිරූපණය නිසා මුක්තියට මුවා වී වැරදි කරන තත්ත්වයකින් ක්‍රියාකළහොත් ධූරය අත්මිදිමෙන් පසුව ඒ වැරදිවලට නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් ද ඇති වේ. ඒ යහපත් අර්ථ නිරූපණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් රාජ්‍ය නායිකාවගේ පළිගැනීම ලක්වීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි ය.

ජනාධිපතිනිය නිල බලය අනුව රටේ රාජ්‍ය නායිකාව වුවත් ඇගේ ක්‍රියාකලාපයන් අත්තනෝමතික වේ නම් හා ඒ අත්තනෝමතික ක්‍රියාකාරකම් රටේ ගෞරවයට හේතු නොවේ නම් ඒ තත්ත්වයට විසඳුමක්සොයා ගැනීමේ වගකීම පැවරෙන්නේ ද ජනතාවට ය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත සලකා බැලීමේ වගකීමක් හැම දේශපාලන පක්ෂෂයකටම ඇත්තේ ය. එහි බරපතල විකෘතියක් ඇතොත් එය නිවැරදි කළ යුතු ය. එම විකෘතියට ජනතා විමුක්ති පෙරමුණ ද, මනා සොයා බැලීමකින් තොරව සම්මත කිරීමට සම්බන්ධ වීමෙන් එජාපය ද දායක වූයේ ය. ඒ වරද නිවැරදි කිරීම දැන් ඒ සියලු දෙනාගේ වගකීමකි.