මව්බිම සුරැකීමේ ව්යාපාරයට නායකත්වය දුන් තරුණ භික්ෂූන් වහන්සේ නමක් කිසියම් පිරිසක් විසින් පැහැර ගනු ලැබීමෙන් පසුව, පහර දි හුංගම ප්රදේශයේ ගමක දමා ගොස් ඇති බව එම පෙරමුණ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙවැනි සාහසික දෙයක් කළ හැක්කේ ආණ්ඩුවට හා ආණ්ඩුවේ අනුග්රහය ඇතිව, ආණ්ඩුවට සම්බන්ධ පිරිසකට පමණ ය.
මව්බිම සුරැකීමේ ව්යාපාරයේ අරමුණ කුමක් වුවත්, ප්රජාතන්ත්රවාදි රාමුවක් තුළ ක්රියා කරන තෙක් බාධාවකින් තොරව ඔවුන්ගේ විරෝධතා ව්යාපාරවලට ගලායන්නට ඉඩදිය යුතු ය. ඔවුන්ගේ ක්රියාකාරකම් රට තුළ අවුල්සහගත තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි වුවත්, ඒ ක්රියාකාරකම් ප්රජාතන්ත්රවාදි රාමුවක් තුළ ක්රියාත්මක වන තාක් ඒ මතු කරන ගැටලු වලට ප්රජාතන්ත්රවාදි ආකාරයකින් ම මුහුණ දෙනවා විනා ඉන් බැහැර මර්දනයකට යෑම ප්රජාතන්ත්රවාදයට පටහැනි ය.
සමාජයේ තිබෙන අදහස්, විවිධ හා විෂම වේ. මතුවන සමහර අදහස් සමාජයේ ඉදිරි ගමනට බාධා කරන පසුගාමී අදහස් ද විය හැකි ය. එහෙත් ඒවා පරාජය කිරීම සඳහා බලහත්කාරය ආයුධයක් කරගන්නා පිළිවෙතක් නිවැරදි නොවන්නා සේ ම, ප්රජාතන්ත්රවාදයට අනුකූලවන්නේ ද නැත. මව්බිම සුරැකීමේ ව්යාපාරය දරන අදහස් නිවැරදි නොවන්නේ නම්, ඔවුන් පරාජය කළයුත්තේ බලහත්කාරි පිළිවෙතක් මගින් නොව, නිවැරදි අදහස් මහජනතාව අතර ගෙන යන ප්රජාතන්ත්රවාදි ක්රියාමාර්ගයක් ඔස්සේ ය.
මව්බිම සුරැකීමේ ව්යාපාරයේ නායකයෙක් පැහැර ගෙන ගොස් පහරදි ඈත ප්රදේශයකට දමා යෑමෙන් පෙනෙන්නේ ආණ්ඩු විරෝධී බලවේගයන් බලහත්කාරයෙන් මැඬලීමට උනන්දුවක් දක්වන නැඹුරුවක් ආණ්ඩුවට තිබෙන බව ය. එය ඉතාමත් අයහපත් තත්ත්වයක් වන අතර, ඒ නැඹුරුවට උඩ ගෙඩි නොදි ආණ්ඩුවේ ක්රියාකාරකම් ප්රජාතන්ත්රවාදි රාමුවක තබා ගැනීම පිණිස ක්රියා කිරීම ආණ්ඩුව මෙහෙයවන නායකයන්ගේ ද මහජනතාවගේ ද වගකීම ය. මේ සාහසික සිද්ධියට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව නීතිය අකුරට ම ක්රියාත්මක විය යුතු ය. නැවත මෙවැනි සාහසික සිද්ධීන් ඇතිවීම වැළකිය හැකිවනු ඇත්තේ ඊට වගකිවයුතු සියලු දෙනා හඳුනාගනිමින් ඔවුන් කවුරුන් වුව ද ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වන තත්ත්වයක් ඇති කිරිමෙනි.