මජරකමද? වැඩවසම් උද්ධච්ඡකමද?

June 30, 2002
Publication:
The dispute over luxury bullet-proof vehicles bought under the People's Alliance, some now missing, shows how selfishly the country has been run. The editorial lists the purchases for the President's security from 1999 to 2000, costing Rs 1,110 million for cars and perhaps Rs 3,000 million with helicopters, and contrasts this with UNP leaders who faced worse threats without such spending and with meagre budgets for agriculture, labour and irrigation.

පොදු පෙරමුණු ආණ්ඩු කාලයේ දි ගෙන්වන ලද අධි සුඛෝපභෝගී අධි ආරක්ෂිත වාහන හා ඉන් සමහරක් අතුරුදහන්ව තිබීම පිළිබඳව ආණ්ඩු පක්ෂෂය හා ජනාධිපතිනිය අතර කෙරෙමින් තිබෙන විවාදය, රටේ කටයුතු සිදුවී තිබෙන ආත්මාර්ථකාමී හා විනාශකාරි ස්වභාවය ගැන රටට වැදගත් පාඩමක් උගන්වයි.

2000 ජූලි 07 වැනි දින පුවත්පත්වල පළවී තිබුණු ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපතිනියගේ උපදෙස් මත ප්‍රකාශ කර තිබෙන නිවේදනයට අනුව ජනාධිපතිනියගේ පොදු පෙරමුණ බලයට පත්වන විට ආණ්ඩුවට තිබුණේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වෙනුවෙන් ගෙන්වන ලද ඹහු විසින් පරිහරණය කොට භාරදි ගිය වෙඩි නොවදින එක් රථයක් පමණය. ජනාධිපතිනියගේ ජීවිතයට එල්ල වන තර්ජන වැඩිවෙමින් තිබූ නිසා 1999 දි තවත් අධි ආරක්ෂෂිත මෝටර් රථ දෙකක් ගෙන්වනු ලැබීය. ඒ ගැන කැබිනට් මණ්ඩලයේදි කෙරුණු සාකච්ඡාවලදි අනාවරණය වී තිබෙන ආකාරයට එම වාහනවල මිල එක් මෝටර් රථයක් සඳහා රුපියල් ලක්ෂ 400කි. ලක්ෂෂ 400 මිල හෙට්ටුකොට ලබාගත් අඩුම මිලකි. නැත්නම් ඒවායේ මිල ඊටත් වඩා වැඩිය. ලක්ෂෂ 400 බදු රහිත මිලයි. බදු ගාස්තු එකතු කළහොත් එහි මිල ලක්ෂෂ 800 ක් හෝ ඊට තරමක් වැඩිවිය හැකිය. ජනාධිපතිනිය ගේ ලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබෙන ආකාරයට දෙසැම්බර් 18 වැනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිනියගේ ජීවිතය බේරුණේද එම අධි ආරක්ෂෂිත මෝටර් රථ දෙකට පින් සිදුවන්නටය.

ඉන්පසු 2000 ජනවාරි 16 වැනිදා ආරක්ෂෂක බලධාරින්ගේ බල කිරීම නිසා තවත් එවැනි අධි ආරක්ෂෂිත වාහන 16 ක් මිලදි ගත්තේය. ඒ තොගයට වෙඩි නොවදින BMW රථ 08 ක්ද, වෙඩි නොවදින රේන්ජ් රෝවර් රථ 02 ක්ද, වෙඩි නොවදින බෙන්ස් රථ 06 ක්ද ඇතුළත් විය. ඉන් රථ 15 ක්ම ගෙනාවේ ගුවනින්ය. ඉතිරි එක ගෙනාවේ නැවෙනි.

ඉන්පසු 2000 ජූනි මාසයේදි තවත් අධි ආරක්ෂෂිත වෙඩි නොවදින බෙන්ස් රථ දෙකක්ද, අධි ආරක්ෂෂිත වෙඩි නොවදින බෙන්ස් රථ 10ක්ද, ඩිෆෙන්ඩර් රථ 10 ක්ද ගෙනාවේය.

අවසානයේදි රැජිණගේ ආරක්ෂෂාව සඳහා අවශ්‍ය මෝටර් රථ මිලදි ගැනීම වෙනුවෙන් පමණක් ඒ වසර තුළ වැය කර තිබෙන මුදල කෝටි 111 කි. ටවුන් හෝල් බෝම්බ සිද්ධියෙන් පසුව ජනාධිපතිනිය කිසිම ගමනක් අහසින් ගියා මිස පොළොවෙන් ගියේ නැත.

ජනාධිපතිනියගේ ගමන් බිමන් සඳහා පමණක්ම ආරක්ෂෂක හෙලිකොප්ටර් යානා කිහිපයක්ද මිලදි ගත්තේය. ඒ සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ විශේෂ ආයතනයක්ද ඇති කළේය. හෙලිකොප්ටර් මිලදි ගැනීම සඳහාද කෝටි 100 ත් 200 ත් අතර මිලක් වැය වූවා විය හැකිය.

ජනාධිපතිනිය අහසින් ගමන් කරන විට ඇය සිටින ස්ථානයට වෙඩි නොවදින වාහන පෙරහැර බිමින් ගමන් කරන්නේය. ජනාධිපතිනියගේ ශ්‍රී දේහය වෙනුවට හැමවිටම ඒ රථවල ගමන් ගත්තේ පී.එස්.ඩී.යේ ශ්‍රී දේහයන්ය.

පොදු පෙරමුණු පාලන කාලය තුළ ඉවක් බවක් නැතිව වෙඩි නොවදින අධි සුඛෝපභෝගී වාහන මහා තොගයක් ගෙන්වා ඇතත්, දේශපාලන නායකයන්ගේ ජීවිතවලට වැඩිම තර්ජනයක් එල්ල වූයේ පොදු පෙරමුණු කාලයේ නොව, යූඑන්පී කාලයේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද සහභාගී වූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකට පාර්ලිමේන්තුවේදි බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ජනාධිපති හා අගමැති ජීවිත බේරා ගත්තත්, ආරක්ෂක ඇමතිට තුවාල සිදුවූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මරණයට පත්විය. එහෙත් එම බෝම්බ ප්‍රහාරය හේතුවක් කරගනිමින් ජනාධිපතිවරයා සිය නිලයට ලැබී තිබුණු වෙඩි නොවදින වාහනය පාවිච්චි කළා විනා තොග ගණනින් සිය ආරක්ෂාව සඳහා වෙඩි නොවදින වාහන ගෙන්වන ප්‍රතිපත්තියකට ගියේ නැත. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ නායකයන් විශාල පිරිසක් බෝම්බ ප්‍රහාරවලින් මිය ගියේය. ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, ජනාධිපති ආර්. ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක යනාදි වශයෙන් එජාප නායකයන් විශාල පිරිසක් ඝාතනය කෙරිණ. එහෙත් ඒ විශේෂ තත්ත්වය සලකා සියලු ඇමතිවරුන්ට වෙඩි නොවදින වාහන ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූයේ නැත.

එහෙත් අපේ ජනාධිපති උත්තමාවිය ක්‍රියා කර තිබෙන ආකාරය ඊට සහමුලින්ම වෙනස්ය. ඇයට රටට වඩා තමා වැදගත් වී ඇති බව පැහැදිලිය. රටේ අමාරුකම් නොසලකා ආරක්ෂාව සඳහාටත් වඩා තමන්ගේ ගාම්භීරකම ප්‍රදර්ශනය කිරීම පිණිස තොග ගණනින් අධි ආරක්ෂිත හා අධි සුඛෝපභෝගී වාහන මිලදි ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. මෝටර් රථ මිලදි ගැනීම වෙනුවෙන් පමණක් කර තිබෙන වියදම කෝටි 111කි.

ජනාධිපතිනියගේ පරිහරණය සඳහා මිලදි ගත් හෙලිකොප්ටර්වල මිල ද ඊට එකතු කළහොත් අධි ආරක්ෂිත හා අධි සුඛෝපභෝගී වාහන මිලදි ගැනීම සඳහා පමණක් 2000 වසර සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 300ක් පමණ විය හැකිය.

ඒ වසර සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ හා විද්‍යා කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් වැය කර ඇත්තේ රුපියල් කෝටි 4කි. සමූපකාර අමාත්‍යංශයට වැය කර ඇත්තේ කෝටි 11කි. මුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහාම වැය කර ඇත්තේ කෝටි 17කි. රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යංශය සඳහා වැය කර ඇත්තේ කෝටි 3කි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය සඳහා වැය කර ඇත්තේ කෝටි 06කි. මුළු වාරීමාර්ග දෙපාර්තමේන්තුව සඳහා ම වැය කර ඇත්තේ කෝටි 94කි.

රටේ ප්‍රධාන විධායකයා ලෙස ක්‍රියා කරන ජනාධිපතිනියට සිය නින්දගම්වල ඇති තණකොළ උලාකන හරකුන් හා නිදහස් පුරවැසියන් අතර එතරම් වෙනසක් පෙනී නැති බව පැහැදිලිය.