මනා මූල්‍ය පාලනයක් සඳහා අවශ්‍ය කොන්දේසි

July 7, 2002
Publication:
The editorial says no plan has yet emerged to rescue a country bankrupted by mismanagement and corruption. It proposes caps on the price and minimum service life of state vehicles, noting the President alone spent Rs 2,400 million in a year with 13 vehicles missing; full enforcement of the assets and liabilities law with cheap public access; an end to unofficial funds in state bodies; limits on officials' multiple directorship fees; and revision of a 1980 rule letting senior officers keep state cars for Rs 150 a month.

මනා කළමනාකරණයක් නැතිකම හා ඉහ වහා ගිය දූෂණය නිසා රට අන්ත බංකොලොත් තත්ත්වයකට ඇද වැටී ඇතත් ඒ තත්ත්වය ජය ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් තවමත් ඉදිරියට ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තරම් රටේ ආර්ථික තත්ත්වයට නොගැලපෙන මිල අධික සුඛෝපභෝගී වාහනවලට කෑදර රටක් තවත් නැති තරම්ය. රාජ්‍ය නායිකාව පමණක් එක් වසරක් තුළ ඒ ආශාව වෙනුවෙන් වැය කර තිබෙන මහජන මුදල රුපියල් කෝටි 240 කි. ඒ මුදලින් ගෙන්වා ඇති වාහන 13 ක්ද අතුරුදහන්ය. මෙය රාජ්‍ය නායිකාවගේ තැන පමණක් නොව අන් හැම තැනකම කෙරෙන දෙයකි. එක් වාහනයක් මිලදි ගැනීම වෙනුවෙන් වැය කළ හැකි මුදල සඳහා උපරිම සීමාවක් පැනවීමෙන් හා අලුත්ින් මිලදි ගන්නා වාහනයක් පාවිච්චි කළ යුතු වසර ගණන පිළිබඳ අවම සීමාවක් පැනවීමෙන් මේ විෂයේදි සිදුවන ධන හානිය පාලනය කළ හැකිය.

වත්කම් හා බැරකම් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරිමෙන් හා වත්කම් හා බැරකම් නීතිය අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින සියලු දෙනාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රමාදයකින් හෝ අවහිරයකින් තොරව සරල මිලකට මහජනතාවට ලබා ගත හැකි තත්ත්වයක් ඇති කර දිමෙන් පමණක් වුවත් දූෂණයට තිබෙන නැඹුරුව යම් ප්‍රමණකට පාලනය කළ හැකිය.

රටේ මුදල් නීති වලට පටහැනිව රාජ්‍ය ආයතන තුළ විවිධ අරමුදල් පවත්වාගෙන යාමට ලැබී තිබෙන ඉඩ කඩ ඇහිරිම ද මනා මූල්‍ය පාලනයක් සඳහා අත්‍යාවශය කොන්දේසියකි. රාජ්‍ය ආයතනවලට අනුයුක්ත පුද්ගලයින්ට ඉපයිය හැකි ආදායම් සඳහා සීමා පැනවීමක් සිදුවිය යුතුය. ජනාධිපති ලේකම්වරයා ඔහු ලබා ගන්නා වැටුපට අතිරේකව විවිධ ආයතන රැසක සභාපතිකම් හා අධ්‍යක්ෂෂ ධුර දරමින් ඒ හැම ආයතනයකින්ම දිමනා ලබා ගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර මෙය ජනාධිපති ලේකම් පමණක් නොව වෙනත් බොහෝ අය විසින් ද කරනු ලබන දෙයකි. සමහර පුද්ගලයින් ඒ ආකාරයෙන් උපයන දිමනාවල මුළු එකතුව මසකට රුපියල් ලක්ෂෂයකටත් වැඩිය.

“ඒ” ශ්‍රේණයේ රාජ්‍ය නිලධාරින් සඳහා 1980 දි පනවනු ලැබූ වාහන නීතියක් අද දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව මසකට රුපියල් 150 ක් ගෙවීමෙන් රජයේ වාහනයක් තමන්ගේ පරිහරණය සඳහා තමන් ළග තබාගත හැකිය. 1980 වසරට නියම කළ එවැනි මිලක් අදට ගැලපෙන්නේ කෙසේද?