එජා පෙරමුණට රටේ ආණ්ඩු බලය ලැබී ඇති බව පෙනෙතත්, ආණ්ඩු පාලනයක් සඳහා අත්යවශ්ය කේන්ද්රීය වැදගත්කමක් ඇති බලතල ගණනාවක්ම තමන් අත තබාගැනීමට ජනාධිපතිනිය සමත් වී සිටී. විදේශ තානාපති නිලධාරින් වෙනස් කිරීමට තවමත් ආණ්ඩුවට අවස්ථාවක් ලැබී නැත. පළාත් ආණ්ඩුකාර ධුර උසුලන්නේ ද ජනාධිපතිනියගේ අනුගාමිකයන්ය. අන්තර් පාලනයක් ලබාදෙන තත්ත්වයක් ඇතිවුවහොත් එම අන්තර් පාලනයේ විධායක බලතල උසුලන්නා වනුයේ එම පළාතේ ආණ්ඩුකාරවරයාය. නිව්යෝර්ක්වල සිටින ලංකා තානාපතිගේ වයස අවුරුදු 78කි. ඔහු තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගතකරමින් සිටින්නේ රෝහල්වලය.
මැතිවරණයෙන් පසුව මේ තනතුරුවලට නව ආණ්ඩුවට කැමති පුද්ගල පිරිසක් නිර්දේශ කිරිමේ බලය ලබාදිමේ යුතුකමක් ජනාධිපතිනියට තිබුණත්, ජනාධිපතිනිය ද ඊට ගැලපෙන නම්යශීලී පිළිවෙතක් අනුගමනය කර නැත.
මේ තත්ත්වය ඉදිරියේ අභ්යන්තර පාලනයක් සඳහා අවශ්ය පූර්ණ බලතල දිනා ගැනීම පිළිබඳ ප්රශ්නයක් එජා පෙරමුණු ආණ්ඩුවට පවතී. ඒ සමග අවුරුද්දක කාලය සම්පූර්ණ වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිනියට ලැබී තිබෙන බලය අහෝසි කරගැනීම පිළිබඳ ප්රශ්නයක් ද ආණ්ඩුව ඉදිරියේ පවතී.
මේ වෙනස්කම් සඳහා තුනෙන් දෙකේ බලයක් අත්යවශ්යය. ඒ සඳහා පොදු පෙරමුණෙන් අවශ්ය ඡන්ද සංඛ්යාව ලබාගැනීමට නොහැකි වෙතොත්, ජනාධිපතිනිය සමග පොදු එකගතාවක් ඇති කරගන්නා තැනකට තල්ලුවී යාමට නව ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. එසේ නැත්නම් අවුරුද්ද සම්පූර්ණ වීමට ප්රථම ජනාධිපතිනියට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ඉඩක් නොලැබෙන ලෙස පාර්ලිමේන්තුව විසුරුවා නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තැනකට යන්නට ආණ්ඩුවට සිදුවනු ඇත්තේය.
ජනාධිපතිනියගේ උපාය මාර්ගය වී ඇත්තේ තමා සමග ඇති කරගන්නා එකගතාවකින් තොරව තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්ය අඩු ඡන්ද සංඛ්යාව පොදු පෙරමුණෙන් ලබාගත නොහැකි තත්ත්වයක් ඇති කිරීමය. ඈ දැනට පෙන්නුම් කරමින් සිටින්නේ “ඔබට තුනෙන් දෙකේ බලයක් අවශ්ය නම්, ඒ සඳහා මා සමග එකගතාවකට ආ යුතුය. මා එවැනි එකගත්වයකට එන්නට සූදානම්ය. එහෙත් එසේ කරන්නට නම් මට එරෙහිව ආරම්භ කර ඇති සියලු පරික්ෂණ අත්හිටුවිය යුතුය”.
පොදු පෙරමුණු පාලන කාලය තුළ සිදුවූ සාහසිකකම් පිටුපස සිටින ප්රධාන පුද්ගලයා වන්නේ ජනාධිපතිනියයි. පීඑස්ඩීය තමන්ගේ එවේලේ වාසිය පිණිස විවිධ සාහසිකම්වල නිරත වූවා විය හැකි වුවත්, සිදුවී තිබෙන දේශපාලන සාහසිකම් පිටුපස ඉන්නේ ජනාධිපතිනියයි.
ඒ සාහසිකම් ඔප්පු වුවහොත් තමන්ට රජගෙදර අතහැර සමහරවිට හිරගෙදර පවා යන්නට සිදුවිය හැකි බව දන්නීය. තඹ සතයක්වත් තමා මහජනයාගෙන් හොරකම් කර නැතැයි ඇය රටට පුන පුනා කීවත්, ඇය කෙරෙහි සාධාරණ සැකයක් ඇති කිරීමට හේතුවන තක්කඩි ගනුදෙනු ගණනාවක් ද සිදුවී ඇති බව පැහැදිලිය. රටේ සිදුවී ඇති සාහසිකකම් හා තක්කඩි ගනුදෙනු ගැන පරික්ෂණ නොකඩවා ඉදිරියට ගෙන යන තත්ත්වයකින් තමා පමණක් නොව, බණ්ඩාරනායක පවුලේ කීර්තිනාමය ද අවසන් කිරීමට හේතුවන තත්ත්වයක් ඇතිවිය හැකි බව ඇය ද, ඇයගේ පවුලේ අය ද දන්නේය. ඒ තත්ත්වය ජයගැනීම සඳහා ඇය ක්රියාවට නගමින් තිබෙන උපාය මාර්ගය වී ඇත්තේ “සාමකාමී එකගත්වයක් සඳහා පොදු පෙරමුණේ සහාය අවශ්ය නම් මා සමග එකගත්වයක් ඇති කර ගන්න. සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා මා සම්පූර්ණ සහාය දෙන්නට සූදානම්ය. එහෙත් ඒ සඳහා මට එරෙහිව කෙරෙන පරික්ෂණ අත්හිටුවිය යුතුය.” අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය රැඳී පවතින්නේ මේ ගැටලු ඔහු කෙසේ ජයගන්නට යන්නේ ද කියන කාරණය මතය.