අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා දැන් ජනතාවට ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියා දෙන දැහැමි ධර්ම දේශකයකුගේ තත්ත්වයට පත්වෙමින් සිටී. එතුමා වෙසක් පොහොය දිනය වෙනුවෙන් එම මාතෘකාව යටතේ “ලංකාදිප” පුවත්පතට දිර්ඝ ලිපියක් ලියා තිබුණත්, පුදුමයකට මෙන් එහි විග්රහ නොවී තිබුණේ ද ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අගවිනිසුරුගේ බණ අසන්නන් අගවිනිසුරුතුමාගේ ජීවිතය ආදර්ශයට ගනිමින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු අගවිනිසුරු ගත කළ ජීවිතයට සමාන ජීවිතයක් ගත කිරීම යැයි වටහා ගතහොත් බුද්ධාගමට වනු ඇත්තේ ද අධිකරණයට සිදුවී තිබෙන නස්පැත්තියමය.
නොම්මර එකේ තක්කඩියකු ලෙස සැලකිය හැකි මහේස්ත්රාත් ලෙනින් රත්නායක උත්සාහ කළේ ද තමන් කරන ලද සියලු වලතුකම්, ආරෝපණය කරගත් ධාර්මිකභාවය තුළ වසාගැනීමය. ඒ රගපෑමට කිසියම් කලක් හෝ මුළාවූ පිරිසක් ද රටේ සිටියේය. එහෙත් බොරුව තාවකාලිකය. සදාකාලික නැත. ඔහු අංක එකේ තක්කඩියකු හා ස්ත්රී දූෂකයකු බව සනාථවීමත් සමග පොරවා ගෙන සිටි දැහැමි පිට සළුව ගැලවී අන්ත නීච තත්ත්වයකට ඇද වැටුණ. බොරුවේ ඇති තාවකාලිකභාවය හා නිසරුභාවය ගැන බුදුන්වහන්සේ තරම් ගැඹුරින් අන් කිසිම ශාස්තෘවරයෙකු විග්රහ කර නැත. බුදුන් වදාළ එම ධර්මතාව අගවිනිසුරුතුමාටත් වලංගුය.