අපරාධ පාලනයට මීට වඩා වැඩි අවධානයක් යොමුවිය යුතු යි

June 9, 2002
Publication:
Murders and robberies are now daily events, and attacks on officials who enforce the law are rising, from the killing of customs officer Sujith Prasanna Perera to the acid attack on audit superintendent Ambanwala, for which no one has been arrested. The editorial blames protection given to criminals by police and politicians, calls for corrupt officers to be purged, and urges that the still-unestablished independent Police Commission make this and freedom from political interference its first goals.

හැම දිනක ම දරුණු මනුෂ්‍ය ඝාතන හා මංකොල්ලකෑම් කිහිපයක් ගැන අසන්නට ලැබීම දැන් දවසේ සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. හිතට එකගව නීතිය ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරන රජයේ නිලධාරින්ට එරෙහිව කෙරෙන සාහසිකකම් ද ඉහළ යමින් පවතී.

විගණන අධිකාරී අඹන්වල මහතා වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය, රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනයෙන් පසුව නීතිය ක්‍රියාත්මක කරවන්නට උත්සාහ කළ නිලධාරියෙකුට එල්ල කෙරුණු දරුණු ම ප්‍රහාරය ලෙස සැලකිය හැකි ය. රටේ පොදු යහපත වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ එම නිලධාරියාට එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයට වගකිවයුතු කිසිවකු තවමත් අත්අඩංගුවට ගෙන නැත. රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න ඝාතනයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට අධිකරණය ඉදිරියේ නඩුවක් ඇසෙමින් තිබුණත්, ඒ පරික්ෂණය කෙරෙහි පවා බලවත් දේශපාලන බලපෑම් එල්ල වූ බව ප්‍රකට ය. ඒ නිසා එම ඝාතනයට වගකිවයුතු සමහර බලවතුන් නීතිය ඉදිරියට පමුණුවාලීමක් සිදු නොවූ බව ද ප්‍රකට ය.

රටේ සිදුවන බිහිසුණු අපරාධවල වර්ධනය කෙරෙහි දරුණු අපරාධකරුවන්ට පොලිසියෙන් හා දේශපාලනඥයන්ගෙන් ලැබී තිබෙන රැකවරණය ද බලපා තිබේ. සිදුවන සමහර අපරාධවලට පොලිසිය ද සම්බන්ධය. පොලිසිය තුළ සිය යුතුකම හරියට ඉටු කරන නිලධාරින් සිටියත්, අපරාධකරුවන්ට රැකවරණය ලබාදිම මගින් මුදල් හරිහම්බ කරගන්නා නිලධාරිහු ද පොලිස් සේවය තුළ ද සිටිති. දවසින් දවස ඉහළ යන අපරාධ සාර්ථක ලෙස මර්දනය කළ හැකිවනු ඇත්තේ පොලිසිය තුළ සිටින අපරාධකරුවන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන පුද්ගලයන් හඳුනාගනිමින් ඔවුන් අනුකම්පා විරහිතව පොලිස් සේවයෙන් පළවා හරින දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමෙන් පමණය.

ස්වාධීන පොලිස් සේවයක් කෙරෙහි ඇති කරගත් බලාපොරොත්තු ද තවමත් සම්පූර්ණ කිරීමට හැකිවී නැත. පොලිසිය කෙරෙහි එල්ල වන දේශපාලන බලපෑම්වල ප්‍රමාණය අඩුවී තිබෙන බවක් ද පෙනෙන්නට නැත.

තවමත් ස්වාධීන පොලිස් කොමිසම ද ස්ථාපිත කිරීමට හැකිවී නැත. ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කළ වහාම අපරාධකරුවන්ගෙන් යැපෙන නිලධාරින් පිරිසක් පොලිස් සේවයේ සිටී නම්, ඔවුන් හඳුනාගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් ඇති කරගැනීම එක් ප්‍රධාන ඉලක්කයක් විය යුතු ය. පොලිසියට දේශපාලන වශයෙන් එල්ල වන බලපෑම් අවම තත්ත්වයක තබා ගැනීම එහි ඊළග ඉලක්කය විය යුතු ය.