ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ පරමාධිපත්යය බලය ඇත්තේ මහජනතාවටය. මහජනයා එම පරමාධිපත්යය බලය අභ්යාස කරන්නේ මැතිවරණවලදිය. මහජනයාගේ පරමාධිපත්යය බලයට ගරු කරන ඕනෑම ආණ්ඩුවක් පරමාධිපත්යය බලය අභ්යාස කිරීමට මහජනයාට ඉඩ ලබාදෙන මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයකින් පැවැත්විය යුතුය.
එහෙත් මේ ක්රියාවලිය අවශ්ය තරම් ශිෂ්ටසම්පන්න තත්ත්වයක තබාගැනීමට නව ආණ්ඩුව ද සමත් වී නැත. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. දේශපාලන ශීලාචාර ලෝකයෙන් පිටස්තරව සිටින ප්රභාකරන්ට ශීලාචාරකම උගන්වන්නට පළමුව ආණ්ඩුව ශීලාචාර විය යුතුය. අපි ඉතාමත් ශීලාචාර බව අගවමින් ජීවත් වන්නේ අශීලාචාර ලෝකයක නම් අශීලාචාරකම ගැන ප්රභාකරන්ට බණ කියන්නට අපිට අයිතියක් තිබිය නොහැකිය.
එජා පෙරමුණු ආණ්ඩුව මහජනතාවට දෙන ලද ප්රධානම දේශපාලන පොරොන්දුවලින් එකක් වූයේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්රමයක් නැවත ඇති කරන බවය. මේ පළාත් පාලන මැතිවරණයේදි හා මීට පෙර පැවති පළාත් පාලන මැතිවරණවලදි සිදුවූ පාදඩකම්වලට ආණ්ඩුවේ සෘජු සම්බන්ධයක් නැතැයි කීම ප්රශ්නයට විසඳුමක් වන්නේ නැත. ඒ ඇතිවූ සිද්ධීන්ට ආණ්ඩුව මට්ටමෙන් සෘජු සම්බන්ධයක් නොතිබුණත්, ඒ පාදඩකම් කරනු ලැබූ අය ආණ්ඩු පාක්ෂිකයන් වේ නම් එහි වරද පැටවෙන්නේ ආණ්ඩුව පිටය. පළමු පළාත් පාලන මැතිවරණයේදි නොහොබිනාකම් සිදුවූ තත්ත්වයක් තුළ ඊළගට පවත්වන මැතිවරණයේදි එවැනි නොහොබිනාකම්වලට ඉඩ නොතබන තත්ත්වයකින් ක්රියා කිරිමේ යුතුකමක් ආණ්ඩුවට තිබුණි. එහෙත් ආණ්ඩුව අතින් ඒ යුතුකම නියම ආකාරයෙන් ඉටුවී නැත.
පළමු පළාත් පාලන මැතිවරණයේදි සිදුවූ දූෂණ ගැන සොයා බැලීමට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්රධානත්වයෙන් පරික්ෂණ කොමිසමක් පත් කරන බවට ආණ්ඩුව මහජනතාවට පොරොන්දු වුයේය. එහෙත් ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු කළේ නැත. ආණ්ඩුව කොතරම් හොඳ වුවත් මහජනයාගේ පරමාධිපත්යය බලයට ගරු නොකරන ආණ්ඩුවක් ප්රජාතන්ත්රවාදි ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකිය. හැමවිටම වැරදි සිදුවීමට ඉඩ ඇතත්, මූලික වැරදිවලදි නොපමාව ඒවා නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ වගකීම ආණ්ඩුව කෙසේ ඉටු කරන්නේ ද යන කාරණය මත ආණ්ඩුවේ හොඳ නම රඳා පවතී.
1948 සිටම සිදුවූ මැතිවරණවලදි යම් යම් වැරදි සිදුවූවා යයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඡන්ද දූෂණවලදි රාජ්ය මට්ටමෙන් කෙරෙන මැදිහත්වීම් ආරම්භ වන්නේ 1982න් පසුවය. ඊට පෙර දැදිගම අතුරු මැතිවරණයේදි ද එම මැතිවරණ කොට්ඨාශයට සීමාවන ලෙස රාජ්ය මට්ටමේ මැදිහත්වීමක් සිදුවිය.
රාජ්ය මට්ටමෙන් සිදුවන මහා පරිමාණයේ මැදිහත්වීම් ආරම්භවන්නේ යාපනේ සංවර්ධන සභා ඡන්දයෙනි. ඉන්පසු 82 ජනමතවිචාරණය කෙරෙහි ද එම ප්රවණතාව බලපෑවේය. ලේ වැගිරෙන කැරැල්ලක පරිසරයක් මැද පැවති 1988 ජනාධිපතිවරණයේදි හා 1989 පළාත් පාලන මැතිවරණයේදි ද ඡන්ද පොළවල්වලට බලහත්කාරි කඩා වැදිම් සිදුවිය. එහෙත් සිදුවූ මැතිවරණ දූෂණ පිළිබඳව මතුවූ විවේචන සලකා ප්රේමදාස ජනාධිපතිවරයා එම වැරදි නිවැරදි කිරීමට උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබුණි. ඉන්පසු 1994 මහ මැතිවරණය දක්වා පැවති මැතිවරණ පුළුල් අර්ථයෙන් ගත්විට නිදහස් හා සාධාරණ විය.
ඉන්පසු බිඳ වැටී තිබුණු ප්රජාතන්ත්රවාදය යළි ප්රතිෂ්ඨාපනය කිරීමට පොරොන්දු වී බලයට පැමිණ චන්ද්රිකා පාලන යුගය තුළ එතෙක් පැවති යහපත් ප්රවණතාව යළි කණපිට හැරවීමක් සිදුවිය. ඉතාමත් දූෂිත, බලහත්කාරි හා ප්රචණ්ඩ මැතිවරණ ක්රමයක් ඊළගට අත්දකින්නට සිදුවූයේ පොදු පෙරමුණු ආණ්ඩු පාලනය යටතේය.
එජා පෙරමුණ බලයට ආවේ එම දූෂිත තත්ත්වයට එරෙහිව කරන මතවාදි අරගලයක් ඔස්සේ හා ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ද කර තබාගෙනය. එහෙත් තමන් දේශනා කළ සංස්කෘතියට ගැලපෙන භාවිතාවක් මේ මැතිවරණ දෙකේදි පෙන්නුම් කිරීමට නව ආණ්ඩුව ද සමත් වී නැත.
මෙම තත්ත්වය ප්රමාද1 වී වෙනස් කළ නොහැකිය. වෙනස් කරනවා නම් එය කළ යුත්තේ අද අදමය.
ව්යවස්ථා සභාව
17 වැනි ව්යවස්ථා සංශෝධනයෙන් ප්රකාශිත ව්යවස්ථා සභාව අධිකරණය, පොලිසිය, රාජ්ය සේවාව වැනි වැදගත් ආයතන නිර්දේශපාලනකරණයට ලක් කිරිමේ අරමුණින් ඇති කරගන්නා ලද ආයතන ක්රමයකි.
මෙම අදහස කෙටුම්පතක ස්වරූපයෙන් පළමුවෙන්ම කරලියට ගෙනාවේ විද්වත් වෘත්තීයවේදින්ගේ සංවිධානය විසිනි. ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් සමාජ සංවාදයකට ලක්වෙමින් තිබුණු ඒ අවස්ථාවේදි වෘත්තීයවේදින්ගේ සංවිධානය ඉදිරිපත් කළ කෙටුම්පතට විශාල පිළිගැනීමක් ලැබී තිබුණි.
රජයේ ඉතා වැදගත් තනතුරුවලට පුද්ගලයන් තෝරා පත් කිරිමේ ක්රියාවලියක් ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතන ස්වාධීන කොමිෂන් සභා පාලනයක් යටතට ගැනීම මේ වැඩපිළිවෙලේ අරමුණ විය. ව්යවස්ථා සභාව පාර්ලිමේන්තු නියෝජිතයන්ට අතිරේකව ඉන් පරිබාහිර ගරු කටයුතු පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු බව ඔවුන්ගේ අදහස විය.
වෘත්තීයවේදින්ගේ සංවිධානය සකස් කළ මෙම කෙටුම්පතින් පසුව එජාපය ද ඒ සඳහා වන තමන්ගේම වන කෙටුම්පතක් සකස් කළේය. එහෙත් එම කෙටුම්පතට ආවේණික සීමිතකම් බරපතල ලෙස විවේචනයට ලක්වීම හේතු කොට ගෙන එජාපය එම කෙටුම්පත අත්හැර ඒ වෙනුවට වෘත්තීයවේදින්ගේ කෙටුම්පත ආදර්ශයට ගත් නව කෙටුම්පතක් සකස් කළේය. එම කෙටුම්පත තමන් ඉදිරිපත් කළ කෙටුම්පතේ එන අදහස්වලට 95%ක් ම සමාන බව වෘත්තීයවේදින්ගේ සංවිධානයේ මතය විය.
ඉන්පසු පරිවාස ආණ්ඩු කාලයේ මේ කෙටුම්පත නීතිගත කිරිමේ වගකීම කරට ගත්තේ ජවි පෙරමුණයි. එහෙත් එහිදි ජවි පෙරමුණට ඒ සඳහා වන උද්යෝගයක් තිබෙනවා හැරුණු විට සංකල්පීය අවබෝධයක් නොතිබීම හේතු කොටගෙන එම කෙටුම්පතේ එන අදහස් සියුම් ලෙස වෙනස් කොට තමන්ට අභිමත නව කෙටුම්පතක් ඉදිරියට ගැනීමට පොදු පෙරමුණු ආණ්ඩුව සමත් විය. එම කෙටුම්පතේ නිර්මාතෘවරයා ලෙස ක්රියා කළේ අගවිනිසුරුවරයාගේ සමීප මිතුරකු වූ ද, ජනාධිපතිනියගේ උපදේශකයකු වූ ද ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්න මහතාය.
ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්න මහතා එහිදි ඉතාමත් දක්ෂ ලෙස අගවිනිසුරුට හා ජනාධිපතිට තීරණාත්මක ලෙස බලපාන කරුණු ගණනාවක හරය වෙනස් කළේය.
මුල් කෙටුම්පතට අනුව අග්රවිනිශ්චයකාර ධුරයට සුදුසු පුද්ගලයා නිර්දේශ කරනු ලබන්නේ ව්යවස්ථා සභාව විසිනි. ජනාධිපතිනිය එය අනුමත කළ යුතුය. එහෙත් වික්රමරත්න මහතාගේ කෙටුම්පතට අනුව අගවිනිසුරු ධුරයට සුදුසු පුද්ගලයා ව්යවස්ථා සභාවට නිර්දේශ කළ යුත්තේ ජනාධිපතිනිය විසිනි. මෙය අගවිනිසුරුට පමණක් නොව, ඉහළ අධිකරණයේ සියලු පත්වීම් වලට ද, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා යන තනතුරුවටල ද අදාළය.
ජනතා විමුක්ති පෙරමුණ ජයම්පති වික්රමරත්න මහතාගේ මේ සියුම් ගැටයට අසුවූයේය. අවසානයේ 17 වැනි ව්යවස්ථා සංශෝධනය ලෙස නීතිගත වූයේ අංග විකල කරන ලද කෙටුම්පතකි.
මෙය අබ්බගාත කෙටුම්පතක් ලෙස විග්රහ කළ එජාප නායකයා මේ අවස්ථාවේදි තමන් ඊට සහාය දෙන මුත්, තමන්ගේ ආණ්ඩුවක් බලයට පත්වූ පසු සිදුවී තිබෙන විකෘතීන් අහෝසි කරන බවට රටට පොරොන්දු වූයේය.
එහෙත් තාමත් ඒ ගැන ආණ්ඩුවේ බැරෑරුම් අවධානය යොමුවී තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒ ඇයි?