අධිකරණ ඇමතිතුමනි,

May 26, 2002
Publication:
An open letter to Justice Minister W.J.M. Lokubandara setting out police evidence on the 14th impeachment charge against Chief Justice Sarath N. Silva: his close ties to Rohana Kumara, alleged mastermind of the Wijekoon murder, who lived at the official residence, used ministry vehicles and posed as his secretary. Quoting statements by Lakshmi Kusumalatha, hotel manager Ranjith Kaluarachchi and Godamunne Pannananda Thera, phone records and gate logs, it asks why the Chief Justice has not been questioned.

අධිකරණ විෂය භාර නව ඇමතිවරයා ඔබ නිසා, ඔබගේ ද, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ද, මහජනයාගේ ද දැනගැනීම සඳහා ඔබ අමතා මෙසේ ලියන්නට සේකරට සිතුණි.

ඔබතුමා ද ප්‍රමුඛත්වය ගෙන වත්මන් මුදල් ඇමති කේ.එන්. චොක්සි මහතා විසින් කෙටුම්පත් කොට අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවට ඇතුළත් 14 වැනි චෝදනාව ගැන පොලිස් පරික්ෂණවලින් අලුතෙන් තහවුරු වී තිබෙන කාරණා කිහිපයක් මෙසේය.

එම චෝදනාවට ඇතුළත් වූයේ රෝහණ කුමාර නමැති දරුණු අපරාධකරුවකු සමග අගවිනිසුරුවරයා පවත්වාගෙන ගිය ගුප්ත සම්බන්ධය නැවත මල්වත්ත ඝාතනයට රෝහණ කුමාරගේ ඇති සම්බන්ධය ගැන හා මල්වත්ත ඝාතනයේ දෙවැනි සැකකරු වන නුපුල් කුමාර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකදි හෙළිදරව් වූ වංචාවක් යටපත් කිරීම පිණිස අගවිනිසුරුවරයා ක්‍රියා කර තිබුණු සැකකටයුතු ආකාරයත්ය.

එම දෝෂාභියෝගය ඉදිරිපත් කරන අවස්ථාව වනවිට රෝහණ කුමාර අත්අඩංගුවට ගෙන නොසිටියේය. විවෘත වරෙන්තුවක් තිබියදි ඔහු සැගවී සිටියේය.

විවෘත වරෙන්තුවක් පිට සැගවී සිටියදි ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ, එජා. පෙරමුණු ආණ්ඩුවක් බයට පැමිණි පසු පසුගිය දෙසැම්බර් 29 වැනිදාය. ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ද පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට දරන ලද උත්සාහයක ඵලයක් ලෙස නොව, “රාවය” ඔහු සැගවී සිටින ස්ථානය පිළිබඳව පොලිසියට කරන ලද දැනුම් දිමක ඵලයක් වශයෙනි. ඔහු සැගවී සිටින තැන “රාවය”ට දැනගන්නට ලැබුණේ ද අගවිනිසුරු පිළිබඳ විෂය ගැන ප්‍රසිද්ධියේ කිසිවක් කතා නොකළ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබේ ආණ්ඩුවටම අයත් පුද්ගලයෙකු මගිනි.

රෝහණ කුමාර දරුණු අපරාධකරුවකු බව දැන දැනම අගවිනිසුරුවරයා ඔහු සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගියේය. සිය නිල නිවසේ නිදන කාමරය පාවිච්චි කිරීමට ඉඩ දුන්නේය. විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ ද, අධිකරණ අමාත්‍යංශයේ ද නිල රථ පාවිච්චි කිරීමට ඉඩ දුන්නේය. අගවිනිසුරුගේ ලේකම් ලෙස විනිසුරුවරුන් ඉදිරියේ ද අධිකරණ සේවකයන් ඉදිරියේ ද පෙනී සිටීමට ඉඩදෙමින් එම බලය ද ඇතිව සිය අපරාධකාරි කටයුතු ඉදිරියට ගෙන යාමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

අගවිනිසුරුවරයාට එරෙහිව ඔබ පක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝගයට අගවිනිසුරුගේ බිරිඳ මනෝරානි සිල්වා මහත්මියගේ දිවුරුම් පෙත්සමක් ද ඇතුළත්ව තිබුණ. එම දිවුරුම් පෙත්සම “ලීඩර්” හා “රාවය” යන පුවත්පත්වල පළවූ පසු මනෝරානි සිල්වා මහත්මිය බියගැන්වීම සඳහා ඒ නිවස අවට සැරිසැරූ පුද්ගලයා මේ රෝහණ කුමාර බව අගවිනිසුරුගේ බිරිඳ හා දරුවා හඳුනාගත්තේය.

මල්වත්ත ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකාරිය වන ලක්ෂ්මී කුසුමලතා රෝහණ කුමාර පිළිබඳව පොලිසියට ලබාදි ඇති කටඋත්තරයේ රෝහණ කුමාර අගවිනිසුරුවරයාට තිබෙන සම්බන්ධය විස්තර කොට ඇත්තේ මෙසේය.

“මෙම නඩුවට උදව් කිරීමට කිංග්ස් පාර්ක් හෝටලයේ කළමනාකාර කලුආරච්චි මහතාගේ මාර්ගයෙන් රෝහණ කුමාර නමැත්තෙකුව හඳුනාගත්තා” රෝහණ කුමාරගේ රැකියාව අග්‍රවිනිශ්චයකාරතුමාගේ පුද්ගලික සහකාරය. ඔහු පදිංචි වී සිටින්නේ අංක 129, විජේරාම මාවත, කොළඹ 07ය.”

(ලක්ෂ්මී කුසුමලතා උ.පො.ප. ඊ.එම්.එම්. බණ්ඩාර වෙත 2001 මාර්තු 29 වැනි දින දෙන ලද කටඋත්තරය.)

මහනුවර උසාවියේ ලක්ෂ්මී කුසුමලතාට සම්බන්ධ නඩු 16ක් තිබුණ. ලක්ෂ්මී කුසුමලතාම ප්‍රකාශ කරන ආකාරයට ඇය රෝහණ කුමාරට සම්බන්ධ වන්නේ රෝහණ කුමාර අග්‍රවිනිශ්චයකාරවරයාගේ පුද්ගලික සහකාර ලෙස සලකා ඒ නඩුවලට ආධාර ගැනීම සඳහාය. ඇය රෝහණ කුමාරගේ පදිංචි ලිපිනය ලෙස දක්වා ඇත්තේ ද අගවිනිසුරුවරයාගේ නිල නිවසේ ලිපිනයයි.

හෝටලයේ කළමනාකරු ලෙස සේවය කර ඇති රංජිත් කලුආරච්චි ඒ ගැන පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙසේය.

“මාව මෙම තනතුරට පත්කර ගත්තේ ලක්ෂ්මී කුසුමලතාය. මම මෙම කිංග්ස් පාර්ක් හෝටලයේ සේවය කරන කාලය තුළ හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස ලක්ෂ්මී කුසුමලතා කටයුතු කළා. මෙම හෝටලයේ හිමිකම් පිළිබඳ නඩු කිහිපයක් පවතින බව මා දෑනගෙන සිටියා. මෙම නඩු සම්බන්ධව ලක්ෂ්මී නිතර මා සමග කතා කරනවා. දිනක් මම මාගේ හිතවත් ස්වාමීන්වහන්සේ නමක් වන ගොඩමුන්නේ පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේ සමග මෙම හෝටලයේ නඩු ගැන කතා කළා. මෙම නඩු කොළඹ නුවර උසාවිවල විභාග වන බව හාමුදුරුවන්ට කීවා. එවිට එම හාමුදුරුවෝ අගවිනිසුරු ළග සිටින රෝහණ ගැන කීවා. දිනක් මා හාමුදුරුවෝ මුණගැසීමට පන්සලට ගියා. මා ගියේ නංගි කෙනෙකුගේ මාරුවීමක් ගැන කතාකර ගන්නයි. එවිට රෝහණ නමැත්තා හාමුදුරුවන්ට දුරකතනයෙන් කතා කළා. මම එතැන සිටින විට හාමුදුරුවෝ මෙන්න නඩු සම්බන්ධ කතා කළයුතු පුද්ගලයා කියා මට කතා කිරීමට දුන්නා. මම ඔහුට කතා කළ පසුව හමුවෙමු කියා දුරකතනයෙන් කිව්වා. දිනය මට මතක නැහැ. පසුව දිනක රෝහණ කිංග්ස් පාර්ක් හෝටලයට තවත් මිතුරකු සමග ආවා. දිනය මට මතක නැහැ. ලේඛන බලා දිනය දැන්විය හැකිය. මම ලක්ෂ්මී කුසුමලතාට රෝහණ හඳුන්වාදුන්නා. ඉන්පසු රෝහණ හෝටලයට යන්න එන්න පටන් ගත්තා.”

(රංජිත් කළුආරච්චි 2001.04.05 වැනි දින උප පොලිස් පරික්ෂක ඊ.එම්.එම්. බණ්ඩාරට දෙන ලද කටඋත්තරය.)

හෝටලයේ කළමනාකරු ප්‍රකාශ කරන ගොඩමුණේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ හිටපු ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත මහතාට සමීප හිමිනමකි. එම ස්වාමීන්වහන්සේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස ද ක්‍රියා කළේය.

ඒ ස්වාමීන්වහන්සේ කියන කතාව මෙසේය..

“දැනට මාස 06කට පමණ පෙර කිංග්ස් පාර්ක් හෝටලයේ කළමනාකරු කලුආරච්චි මහතා මාව හමුවීමට පන්සලට ආවා. පන්සලේදි කලුආරච්චි මහතා මට කිංග්ස් පාර්ක් හෝටලයේ නඩු ගැන කීවා. මම මේ සම්බන්ධයෙන් පඤ්ඤාවාස ස්වාමීන් වහන්සේට දෑන්නුවා. එවිට පඤ්ඤාවාස ස්වාමීන් වහන්සේ මට කීවා රෝහණ කුමාර දැන් අග්‍රවිනිශ්චයකාරතුමා ළග වැඩ කරන්නේ. ඕන නම් ඔහුට කතා කරලා උදව්වක් ගන්න පුළුවන් කියා. මම රෝහණ කුමාර සමග ටිකක් අමනාපයෙන් සිටි නිසා රෝහණට කතා කිරීම මම පඤ්ඤාවාස ස්වාමීන් වහන්සේට බාර කළා. රෝහණ මට දිනක් දුරකතනයෙන් කතා කළා. එවිට මම රෝහණට හොඳින් කතා කළා. රෝහණ දැනට හොඳ තත්ත්වයක ඉන්න බව ආරංචි වූ බව මා රෝහණට කීවා. රෝහණ මට කීවා මම හොඳ තැනක සිටින බව. උදව්වක් ලොක්කාට කියලා කරන්න පුලුවන් කියලා. ලොක්කා කීවේ අග්‍රවිනිශ්චයකාරතුමා බව මට හිතුණා.”

(ගොඩමුන්නේ පඤ්ඤානන්ද හිමි 2001.04.03 වැනි දින උප පොලිස් පරීක්ෂක ඊ.එම්.එම්. බණ්ඩාරට දෙන ලද කටඋත්තරය)

රෝහණ කුමාරගේ බිරිඳ (යමුනා කලුආරච්චි ලියනගේ) සිය ස්වාමිපුරුෂයා කරන රැකියාව ගැන කියන කතාව මෙසේය.

“මගේ පුරුෂයා අගවිනිසුරුතුමා ළග නිල නිවසේ නැවතී රැකියාව කරනවා. ඔහු කරන රැකියාව කුමක්ද කියා මා දන්නේ නැත. පුරුෂයා ගෙදර එන්නේ සතියකට හෝ මසකට වරක් පමණි.”

රෝහණ කුමාරට දරුවන් තිදෙනෙකි. ඔහුගේ ලොකු පුතා (නම සඳහන් නොකරන්නේ තාත්තා කවුරුන් වුවත් ඔහු දරුවා හඳුනාගැනීම වැළකීම සඳහාය.) අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඩී.එස්. සේනානානයක විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණයේය. මේ ළමයා විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා රෙකමදාරු කළ පුද්ගලයා කව්ද, එම ළමයාගේ ලිපිනය වශයෙන් විද්‍යාලයට ලබාදි තිබෙන පදිංචි ලිපිනය කුමක් ද යන්න සොයා බැලීම මගින් පමණක් වුවත්, මේ අපරාධකරුවා හා අගවිනිසුරුවරයා අතර තිබී ඇති කිට්ටු සම්බන්ධය හඳුනාගත හැකිය.

පොලිස් පරික්ෂණවලින් හෙළිදරව් වී තිබෙන ආකාරයට 2001 පෙබරවාරි 05 වැනි දින පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිදුවූ පිස්තෝලයකින් වෙඩි තබා රංජිත් බණ්ඩාර විජේකෝන් ගොඩගම ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය මෙහෙය වූ මොළකාරයා රෝහණ කුමාරය. ඔහු අගවිනිසුරුගේ සමීප හිතවතෙකු වූ අතර, ඔහු පදිංචි වී සිටියේ ද අගවිනිසුරු නිල නිවසේය. මේ කුමන්ත්‍රණයට ඔහු සම්බන්ධවන්නේ ලක්ෂ්මී කුසුමලතාට තිබෙන නඩු අගවිනිසුරු ලවා බේරුමක් කරදිම සඳහා ක්‍රියා කරන පුද්ගලයෙකු වශයෙනි. මෙම සමස්ත කුමන්ත්‍රණය සඳහාම අගවිනිසුරුට තිබුණු සමීප සම්බන්ධය ආශ්‍රයෙන් ලැබී තිබූ ශක්තිය උපරිම ලෙස යොදාගෙන ඇති බව දැකිය හැකිය. මෙම මනුෂ්‍ය ඝාතනයේදි ඝාතකයන් ලෙස ක්‍රියාකර ඇති ඕපාත කංකානම්ගේ අශෝකා, දොන් මුණසිංහ ආරච්චිලාගේ නුපුල් කුමාර යන දෙදෙනා පරිහරණය කළ ඇල්කටෙල් වර්ගයේ අංක 077-794681 දරන දුරකතනයෙන් රෝහණ කුමාර පරිහරණය කළ අංක 077-68161 දරන ජංගම දුරකතනයටත් ලක්ෂ්මී කුසුමලතාගේ පුද්ගලික කාමරයට සවි කොට තිබූ අංක 08-225807 යන දුරකතනයටත්, නැවත එම දුරකතන දෙකෙන් ඝාතකයන් පරිහරණය කළ ජංගම දුරකතනයටත් පණිවුඩ හුවමාරු වී ඇති බව දුරකතන බිල්පත් අනුව තහවුරු වී තිබේ.

රෝහණ කුමාර මෙම මනුෂ්‍ය ඝාතනය වෙනුවෙන් ඝාතනය සිදු කෙරෙන දින තෙක් ලක්ෂ්මී කුසුමලතා ගෙන් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 20කට ආසන්නය. රෝහණ කුමාරගේ පුද්ගලික බැංකු ගිණුමට පමණක් ලක්ෂ්මී කුසුමලතා විසින් රුපියල් ලක්ෂ 8ක මුදලක් බැර කර ඇති බව ද පෙනී යයි.

මෙම මනුෂ්‍ය ඝාතනය සඳහා පරිහරණය කර ඇති වාහනද අධිකරණ අමාත්‍යංශයට හෝ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලට අයත් ය. ඝාතනයට යොදා ගත් පුද්ගලයන් දෙදෙනා නුවරට ගෙනවිත් ඇත්තේ ද අමාත්‍යංශයේ වාහනයකිනි. රෝහණ කුමාර අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදි ඔහු පරිහරණය කරමින් තිබී ඇති ඩබල් කැබ් රථය ද අමාත්‍යංශයට අයත් වාහනයකි. තවමත් එය අමාත්‍යංශය ලබාගෙන නැත. ඔබේ අමාත්‍යංශයට අයත් සමහර නිලධාරින් ද රෝහණ කුමාර සමග සම්බන්ධයක් තිබී ඇති බව දන්නෙමු.

රෝහණ කුමාර මේ මනුෂ්‍ය ඝාතන සිදු කෙරුණු දින කිංග්ස් පාර්ක් හෝටලයෙන් පිටවීමේදි පාවිච්චි කළ වාහනය පිළිබඳ විස්තරයක් කිංග්ස් පාර්ක් හෝටලයේ දොරටුවේ දෛනික තොරතුරු සටහන් පොතට ඇතුළත්ය. ඊට අනුව 2001 පෙබරවාරි 05 වැනි දින රෝහණ කුමාර හෝටලයෙන් පිටවී ඇත්තේ පෙරවරු 9.55ට අංක 19-7518 දරන මෝටර් රථයෙනි.

(දෛනික සටහන් පොතේ පිටු අංක 72 සටහන් අංක 1262)

2001 දෙසැම්බර් 29 වැනි විවෘත වරෙන්තුවක් පිට සැගවී සිටියදි පිළියන්දල පොලිසිය රෝහණ කුමාර අත්අඩංගුවට ගත්තේය. පොලිස් සටහන් පොත්වල වාර්තා වී තිබෙන ආකාරයට පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදි තමාට අග්‍රවිනිශ්චයකාරතුමාට දුරකතනයෙන් කතා කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය. ඔහු අත්අඩංගුවට ගන්නා ලද උප පොලිස් පරික්ෂක තෙන්නකෝන් ඔහුගේ එම ඉල්ලීමට ඉඩ නුදුන්නේය. එහිදි ඒ අසළ සිටි ලක්ෂ්මී කුසුමලතා ඇය පරිහරණය කළ ජංගම දුරකතනයෙන් අගවිනිසුරුවරයාට කතා කොට රෝහණ කුමාර අත්අඩංගුවට ගන්නා ලද බව දැනුම් දුන්නාය. විවෘත වරෙන්තුවක් තිබියදි සැගවී සිටියේ ඇයිදැයි උප පොලිස් පරික්ෂකවරයා ප්‍රශ්න කළවිට ඔහු ඊට දෙන ලද පිළිතුර වූයේ ද අගවිනිසුරුතුමාගෙන් ලබාගත් උපදෙස් මත තාවකාලික වශයෙන් සැගවී සිටි බවය.

විජමු ලොකු බණ්ඩාර මහතාණෙනි,

අධිකරණය ඔබතුමා භාරයේ තිබෙන විෂයයකි. අධිකරණයේ ප්‍රධානියා රෝහණ කුමාර දරුණු අපරාධකරුවකු බව දැන දැනම ඔහු සමීපව ඇසුරු කරමින් තමන් යටතේ රැකියාවක් ද, ඉන්නට නිල නිවසක් ද අතිවිශාල බලයක් ඇති පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට අවශ්‍ය පසුබිමක් ද ලබාදි ඇති බවත්, මල්වත්ත ඝාතනයට ඔහු ඒ බලය උපරිම ලෙස පාවිච්චි කර ඇති බවත් පෙනී යයි. එහෙත් පුදුමයකට මෙන් අද දක්වා අගවිනිසුරුවරයාගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමක් කර නැත.

මේ එල්ල කරන චෝදනා බරපතල නැද්ද? ඒවා ගැන නිසි පරික්ෂණයක් පැවැත්වීමේ වගකීමක් ඔබට නැද්ද? පාතාල ලෝකය සමග කල්ලි ගැසී ක්‍රියා කරන අධිකරණයක් රටේ ගෞරවයට හේතුවේද?

අධිකරණ ඇමති වශයෙන් ඔබට ඒ ගැන කියන්නට තිබෙන්නේ මොනවාද?