මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරෙන දේශපාලන උපනති

May 26, 2002
Publication:
Ivan analyses the local election results in the Colombo municipal area, Kesbewa, Ratnapura and Galle against the 2000 and 2001 parliamentary polls. The UNP held or gained ground while the PA's vote collapsed by a third to over half and the JVP also fell sharply. He concludes that voters rejected the PA and JVP's nationalist claim that the peace effort meant dividing the country, backing peace despite the soaring cost of living.

වැනි දා පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන මූලික දේශපාලන ප්‍රවනතා මොනවාද? මෙහි පළවන විග්‍රහයේ දි සැලකිල්ලට ගෙන ඇත්තේ තෝරාගත් කලාප හතරකට ආවේණික දේශපාලන උපනති ය.

කොළඹ මහ නගර සභාවට අයත් මැතිවරණ කොට්ඨාශ 5ක එකක් ලෙස ගෙන ඇති අතර අනෙක් කලාප වශයෙන් ගෙන ඇත්තේ කැස්බෑව, ගාල්ල හා රත්නපුරය යන ආසනයන් ය.

කොළඹ නගර කලාපය සැලකෙන්නේ එජපයට වැඩි බලයක් ඇති බල ප්‍රදේශයක් ලෙස ය.

2000 පාර්ලිමේන්තු මැතිවරණයේ දි කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් ඡන්ද කොට්ඨාශ 5න් එජාප ලබාගත් ඡන්ද ප්‍රමාණය 148090කි. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේ දි 190375කි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි එජාප තනිව ඡන්ද 136845ක් ලබාගෙන තිබෙන අතර මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු සංගමය ලබාගත් ඡන්ද සමග එකට ගත් විට ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 176307කි. ඒ අනුව 2000 මැතිවරණයට වඩා 2001 මැතිවරණයේ දි 29%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි ලබාගත් ඡන්ද ප්‍රමාණය 2000 ප්‍රතිඵලය සමග සැසඳූ විට 19%ක වර්ධනයක් පෙන්නුම් කරත් 2001 මැතිවරණ ප්‍රතිඵලය සමග සැසඳූ විට එජා පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ 7.38%ක පහත වැටීමක් පෙන්නුම් කරයි.

2000 පාර්ලිමේන්තු මැතිවරණයේදි කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් පොදු පෙරමුණ තනිව ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 66782කි. පොදු පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දෙකක් වශයෙන් ක්‍රියා කළ මුස්ලිම් කොංග්‍රසයට අනුබද්ධ කුඩා පක්ෂ හා වතු කම්කරු කොංග්‍රසය යන පක්ෂ දෙක ද ලබාගත් ඡන්ද සමග එකට ගත්විට පොදු පෙරමුණ එම මැතිවරණයේදි ලබාගත් ඡන්ද සංඛ්‍යාව 92431කි. 2001 මැතිවරණයේදි පොදු පෙරමුණ මෙම බල ප්‍රදේශයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 59515කි. පොදු පෙරමුණ 2000 මැතිවරණයේදි තනිව ලබාගත් ඡන්ද සංඛ්‍යාව සමග බලන විට 2001 මැතිවරණයේදි පෙන්නුම් කර තිබෙන පිරිහීම 10.87%කි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 38002කි. එය 2000 ප්‍රතිඵලය සමග සැසඳු විට 43%ක පිරිහීමක් වන අතර, 2001 ප්‍රතිඵලය සමග සැසඳූ විට 36%ක පිරිහීමකි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම කලාපයෙන් 2000 මැතිවරණයේදි ඡන්ද 10380ක් ද, 2001 මැතිවරණයේදි ඡන්ද 14392ක් ද ලබාගන්නා විට මෙවර ලබාගැනීමට සමත් වී ඇත්තේ ඡන්ද 9967ක් පමණය. 2000ට සාපේක්ෂව පිරිහීමේ අනුපාතිකය 4%කි. 2001 ප්‍රතිඵලවලට සාපේක්ෂව පිරිහීමේ අනුපාතිකය 31%කි.

කැස්බෑව ආසනය සැලකෙන්නේ වමට බර ආසනයක් වශයෙනි. 2000 මැතිවරණයේදි එම ආසනය ඡන්ද 41977ක් ලබාගනිමින් ජයගැනීමට පොදු පෙරමුණ සමත් වූ අතර, එජාපය ලබාගත්තේ ඡන්ද 38978ක් පමණය. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10219කි. 2000 මැතිවරණයේදි එම ආසනය ඡන්ද 42260ක් ලබාගනිමින් එජාප ජය ලබාගත් අතර, පොදු පෙරමුණ ලබාගත්තේ ඡන්ද 37815ක් පමණය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එම ආසනයේ සිය ඡන්ද පදනම 16045ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.

මෙම පළාත් පාලන මැතිවරණයේදි එජාප ඡන්ද 37839ක් ලබාගත් අතර, පොදු පෙරමුණට ලබාගත හැකිවූයේ ඡන්ද 24858ක් පමණය. සමසමාජ පක්ෂය ලබාගත් ඡන්ද 2443 ද පොදු පෙරමුණට ලැබුණු ඡන්දයක් ලෙස සැලකුවහොත් පොදු පෙරමුණට ඡන්ද 27301ක් ලැබුණා ලෙස සලකන්නට සිදුවේ. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ද 10883 දක්වා පහත වැටී තිබේ.

එජාපය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2000 ප්‍රතිඵලය සමග සැසඳූ විට 8%ක වර්ධනයක් ද, 2001 ප්‍රතිඵලය සමග සැසඳූ විට 10%ක පිරිහීමක් ද පෙන්නුම් කරයි.

පොදු පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2000 ප්‍රතිඵලය සමග සැසඳූ විට 35%ක පිරිහීමක් ද, 2001 මැතිවරණ ප්‍රතිඵලය සමග සැසඳූ විට 28%ක පිරිහීමක් ද පෙන්නුම් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය 2000 ලබාගත් ප්‍රතිඵලය සමග සැසඳූ විට 6%ක වර්ධනයක් ද, 2001 ප්‍රතිඵලය සමග සැසඳූ විට 32%ක පිරිහීමක් ද පෙන්නුම් කරයි.

රත්නපුරය ආසනය ද 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්ද 36918ක් ලබාගනිමින් පොදු පෙරමුණ ජය ගත්තේය. එජාපය ලැබූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 30189ක් වන අතර, ජවිපෙ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3165කි. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි පොදු පෙරමුණට වඩා ඡන්ද 566ක් ලබාගනිමින් (එජාප ලබාගත් ඡන්ද ගණන 33702කි) එජාපය එම ආසනය ජය ගනු ලැබූ අතර, පොදු පෙරමුණ ඡන්ද 33136ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 5334ක් ද ලබා ගත්තේය. මෙවර එජාප ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය 26693කි. පොදු පෙරමුණ 15888කි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2639කි.

එජාපය ආසනය ජයගෙන ඇතත්, ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කරයි. 2000 මැතිවරණය සමග සසඳන විට එජාප පෙන්නුම් කර ඇති පිරිහීමේ අනුපාතිකය 11.58%කි. 2001 සමග ගත්විට පිරිහීමේ අනුපාතිකය 21%කි.

පොදු පෙරමුණ ලබාගෙන ඇති ප්‍රතිඵලය 2002 ප්‍රතිඵල සමග සැසඳූ විට 57%ක් ද, 2001 සමග සැසඳූ විට 52%ක ද පිරිහීමක් පෙන්නුම් කරයි.

ජවිපෙ ප්‍රතිඵලය 2000 ප්‍රතිඵල සමග සැසඳූ විට 17%ක පිරිහීමක් ද, 2001 සමග සැසර් විට 51%ක පිරිහීමක් ද පෙන්නුම් කරයි.

2000 මැතිවරණයේදි ගාල්ල ආසනය ඡන්ද 22357ක් ලබාගනිමින් එජාප ජයගත්තේය. පොදු පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 20004කි. ජවිපෙ 3855කි. 2001 මැතිවරණයේදි ද එජාප ඡන්ද 27516ක් ලබාගනිමින් එම ආසනය ජයගත් අතර, පොදු පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15640කි. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 5263 දක්වා වර්ධනය වී තිබුණ. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එජාපය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 28431ක් වන අතර, පොදු පෙරමුණ ලබාගත් ගණන 9714කි. ජවිපෙ 2583කි.

එජාපය 2000 ලබා ගත් ප්‍රතිඵලයට වඩා 27%ක වර්ධනයක් ද, 2001 ප්‍රතිඵලයට වඩා 3%ක වර්ධනයක් ද පෙන්නුම් කරයි. පොදු පෙරමුණේ පිරිහීම 2000 වසර සමග සැසඳූ විට 51%කි. 2001 ප්‍රතිඵලය සමග සැසඳූ විට 38%කි.

ජනතා විමුක්ති පෙරමුණේ පිරිහීම 2000 වසර සමග සැසඳූ විට 33%කි. 2001 ප්‍රතිඵලය සමග ගත්විට පිරිහීමේ අනුපාතිකය 51%කි.

මේ මැතිවරණයේදි ජවිපෙ හා පොදු පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයටත් වඩා ආණ්ඩුවට එරෙහිව ඉදිරියට ගෙනා ප්‍රධානම සටන් පාඨය වූයේ සාම ප්‍රයත්නයේ තේරුම රට බෙදිම බවයි. වේගයෙන් ඉහළ යන ජීවන වියදම ඔවුන් සාකච්ඡාවට ලක් කළ ප්‍රධානම තේමාව විය.

එහෙත් මේ මැතිවරණයේදි ජනතාව එම පක්ෂවල ජාතිවාදි අදහස් ප්‍රතික්ෂේප කර ඇති බවක් පෙනී යයි. ඔරොත්තු නොදෙන තරම් වේගයකින් ජීවන වියදම ඉහළ යමින් තිබියදිත්, ආණ්ඩුව සාමයක් ඇති කරගැනීම සඳහා දරමින් සිටින ප්‍රයත්නයට සහාය දිය යුතුය යන ආකල්පයකින් මහජනයා ක්‍රියාකර ඇති බවක් පෙනී යයි.

මෙම ප්‍රතිඵල ජනතා විමුක්ති පෙරමුණට සේ ම, පොදු පෙරමුණට ද ජනතාව කරන ලද අනතුරු ඇගවීමේ සංඥාවක් ලෙස ද සැලකිය හැකිය. ජවිපෙ ජාතිවාදි ගමන් මාර්ගය එම පක්ෂයේ ජනතා පදනම දුර්වල කිරීමට මිස, ශක්තිමත් කිරීමට හේතුවී නැති බව පෙනී යයි.