විගණන අධිකාරීවරයාට ඇසිඩ් ගැසීම හා ඉන් කෙරෙන ඇගවීම

May 26, 2002
Publication:
Lalith Ambanwala, superintendent of audit in Kandy, was attacked with acid on the very day four senior provincial education officials he had exposed over a fraud of tens of millions were reinstated without proper inquiry. The editorial compares the case to the murder of customs officer Sujith Prasanna Perera, notes that the officials had funded UNP candidates, and warns that unless the government acts firmly against those responsible, rogues will rule the country.

විගණන දෙපාර්තමේන්තුවේ මහනුවර විගණන අංශයේ විගණන අධිකාරී ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගැසීමේ සිද්ධිය පිළිබඳව සාධාරණ පරික්ෂණයක් පවත්වා දේශපාලන ඇයි හොඳයිකම් නොසලකා එම සාහසික සිද්ධියට වගකිවයුතු සියලු දෙනා නීතිය ඉදිරියට පැමිණවීම ආණ්ඩුවේ වගකීමකි. මෙම සිද්ධිය සහකාර රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙරේරා ඝාතන සිද්ධියෙන් පසුව පොදු යහපත සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව සිදු කෙරුණු බිහිසුණුම පහරදිම ලෙස සැලකිය හැකි ය.

මෙම විගණන අධිකාරිවරයා මහනුවර පළාත් අධ්‍යාපන කාර්යාලයේ සිදුවෙමින් තිබුණු කෝටි ගණනක වංචාවක් පිළිබඳව විගණන පරික්ෂණයක් කොට ඒ සඳහා ඉදිරිපත් කෙරුණ නිරික්ෂණයන් නිසා පළාත් අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන නිලධාරින් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කරන තත්ත්වයක් ඇතිවී තිබුණි. මේ දැවැන්ත දූෂණය සිදුවී තිබුණේ පොදු පෙරමුණු පාලන කාලය තුළ පළාත් සභා ආණ්ඩුවට අයත් පොදු පෙරමුණේ සමහර දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිවය. ඉන්පසු වැඩතහනමට ලක්වූ දූෂිත නිලධාරී පිරිස පසුගිය මහ මැතිවරණයේදි තෝරාගත් එජාප අපේක්ෂකයෙකුට හෝ දෙන්නෙකුට අතදිග හැර මුදල් වියදම් කරන පිළිවෙතක් අනුගමනය කළේ ය.

අවසානයේදි දැවැන්ත වංචාවක් සිදුවී තිබියදිත් නිසි පරීක්ෂණයකින් තොරව වැඩ තහනම ඉවත් කරවා ගනිමින් නැවත සිය රැකියා ලබාගැනීමට මේ දූෂිත නිලධාරි පිරිස සමත් වූ අතර, විගණන අධිකාරිවරයාට ඇසිඩ් ගැසීම සිදුවූයේ ද ඔවුන්ට වැඩ ලැබුණු දිනයේ ම ය.

මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඝාතනයට ලක්වූ සහකාර රේගු අධිකාරී සුජිත් පෙරේරා සේ, මේ විගණන අධිකාරීවරයා ද නීතිය අකුරට ම ක්‍රියාත්මක කළේ රටේ පොදු යහපත සලකා ය. ඒ වෙනුවෙන් සහකාර රේගු අධිකාරීවරයාට සිය ජීවිතය අහිමි කරගන්නට සිදුවන විට, විගණන අධිකාරීවරයාට සිය දෙනෙත අහිමි කරගන්නට සිදුවිය.

බලවතුන් ඈඳුණ මෙවැනි සිද්ධීන්වලදි සිදුවන පොලිස් පරික්ෂණ පවා සාධාරණව සිදුවන්නේ නැත. සුජිත් පෙරේරා ඝාතන පරික්ෂණය ද එක්තරා මට්ටමකට පමණක් සීමා කළ පරික්ෂණයක් විය. එම පරික්ෂණය කෙරෙහි ඉහළම මට්ටමේ දේශපාලන ඇගිලි ගැසීම් පැවැත්වුණි. මේ සාහසික සිද්ධියේදිත් ඊට වගකිවයුත්තේ කව්ද යන්න තේරුම් ගැනීම අමාරු නැතත්, තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

සුජිත් ඝාතනය නිසා සිදුවූයේ අවංක නිලධාරියකු රටට නැතිවීම පමණක් නොවේ. ඒ නිසා ඒ සමාන හැගීමකින් ක්‍රියාකළ රේගුවේ සිටි අවංක රේගු නිලධාරින් කිහිප දෙනා ද රට අතහැර පලා ගියෝ ය. විගණන අධිකාරිවරයාට ඇසිඩ් ගැසීමේ සිද්ධිය ද ඔහු කෙරෙහි පමණක් නොව, විගණන දෙපාර්තමේන්තුවේ සියලු අවංක නිලධාරින් කෙරෙහි ම බලපායි. මෙම රස්තියාදුකාර තත්ත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩුව දැඩි පිළිවෙතක් අනුගමනය නොකළහොත් මේ රට තක්කඩින් රජ කරන රාජ්‍යයක් බවට පත්වන දිනය බොහෝ ඈත නොවනු ඇත.