20 වැනිදාට මැතිවරණ පැවැත්වෙන්නේ පළාත් පාලන ආයතන සීමිත ගණනක වුවත් එය ද නිදහස් හා සාධාරණ මැතිවරණයකට ආණ්ඩුවේ තිබෙන ඇප කැපවීම උරගා බැලෙන අවස්ථාවක් වනු නො අනුමානය.
මීට පෙර පැවති පළාත් පාලන මැතිවරණයේදි මුළු රට පුරාම නොවූවත්, ඇතැම් ප්රදේශවල තක්කඩිකම් සිදුවූ බව එම මැතිවරණය නිරික්ෂණය කළ නිරික්ෂණ සංවිධානවල පොදු මතය විය. එය සෘජු ලෙස ආණ්ඩුව මෙහෙයවන ලද වැඩපිළිවෙලක් නො වූවත් වැරදි කරන ලද බවට චෝදනා එල්ල වූයේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පුද්ගලයන්ටය. එම තත්ත්වය සොයා බලා වාර්තා කිරීම සඳහා විශ්රාම ගිය ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළත් පරික්ෂණ කමිටුවක් මගින් කරුණු සොයා බලන බවට ආණ්ඩුවේ නායකයන් සහතික වුවත්, කවර හේතුවක් නිසා හෝ අද දක්වා එවැනි පරික්ෂණ කමිටුවක් පත් කළේ නැත. ඒ තත්ත්වය යටතේ 20 වැනිදා පැවැත්වෙන මැතිවරණයවත් නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් එය ආණ්ඩුව තමන් වෙත ඇති කරගන්නා කළු පැල්ලමක් වනු නො අනුමාන ය.
මහජන නියෝජිත ආයතනවලට මහජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරා පත් කරගන්නා මැතිවරණ ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ සිය පරමාධිපත්යය බලය අභ්යාස කෙරෙන අවස්ථාවයි. ඊට ලැබෙන අතිශය වැදගත්කම අනුව එම අවස්ථාව ඊට සරිලන ගරු කටයුතු තත්ත්වයක තබාගැනීමට හැකිවිය යුතු ය. එය ද රටේ දේශපාලන ශීලාචාරකමේ තරම උරගා බැලෙන අවස්ථාවකි. දේශපාලන ශීලාචාරකමේදි අප යහපත් තැනක සිටින බව ඔප්පු කිරීමට තවමත් අප සමත් වී නැත. හැමවිට ම මැතිවරණවලදි සංවිධානාත්මක මැතිවරණ දූෂණ සිදුවන්නේ රාජ්ය බලය තිබෙන පාලක පක්ෂවල අනුගාමිකයන් අතිනි. එවැනි අවස්ථාවල පොලිසිය ද එවැනි වැරදිවලට ඉඩ හැර බලා සිටින තත්ත්වයක් ක්රියාත්මක වේ.
මේ තත්ත්වය දේශපාලන ක්රමයට ඇති විශ්වසනීය බව පළුදු කිරීමට හේතුවී තිබෙන අතර, දේශපාලන ක්රමය තුළ අවුල්සහගත බවක් ද ඇති කිරීමට හේතුවී තිබේ. දේශපාලන අර්ථයෙන් ශීලාචාර ලෝකයෙන් පිටස්තරව සිටින දේශපාලන කණ්ඩායම් ශීලාචාර ලෝකයට ඇතුළු කරගන්නවාට අතිරේකව ශීලාචාර ලෝකය තුළ අශීලාචාරකම් පාලනය කිරීම සඳහා ක්රියා කිරීම ද ආණ්ඩු බලය දරන්නන්ගේ සේ ම සමාජයේ ද වගකීමකි.