රටක රාජ්ය නායකයෙකුට හෝ රාජ්ය නායිකාවකට ඔහු හෝ ඇයට එරෙහිව නඩු පැවරිමක් කිරීමට නොහැකි වන ලෙස මුක්තිය පිළිබඳ විශේෂ අයිතියක් ලබා දෙනුයේ රාජ්ය නායකයා හෝ නායිකාව පාලනයට සම්බන්ධව සිදුවිය හැකි සාමාන්ය වැරදි හැර අපරාධ හෝ දූෂණ ගණයේ ලා සැලකිය හැකි වැරදි නොකරනු ඇතැයි යන විශ්වාසය මත පදනම්වය. එහෙත් රටේ රාජ්ය නායකයා තමන්ට ලැබී තිබෙන ඒ මුක්තියේ අයිතිය ආධාර කොට ගනිමින් බරපතල වැරදි හා අපරාධ කරන තත්ත්වයකින් ක්රියා කරයි නම් සමාජ ආරක්ෂෂාව සඳහා රාජ්ය නායකයා හෝ නායිකාවට එරෙහිව නීතිය ක්රියාත්මක කළ හැකි තත්ත්වයක් ද තිබිය යුතුයි.
ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඉතිහාසයට එකතු වීමට නියමිතව ඇත්තේ නිදහසින් පසුව ශ්රී ලංකාව බිහි කළ රට පිළිබඳ කිසිදු ඉදිරි දැක්මක් නොතිබුණු අකාර්යක්ෂෂම නායිකාව වශයෙන් පමණක් නොව රට තමන්ගේ නින්දගමක් ලෙස සළකා ඒ රටේ සාරය අනුකම්පා විරහිතව උරා බිව් හා රටේ මහජනතාව තමන්ගේ ප්රවේණිදාස පිරිසක් ලෙස සලකා තමන්ට එකග නොවන ජනතාව දරුණු හිංසාවන්ට ලක්කළ රස්තියාදුකාර නායිකාවක් ලෙසය.
ඇය මහ මුදලි දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ මිණිපිරියක වුවද සීයා පවත්වාගෙන ගිය ආකාරයේ සුඛෝපභෝගී හා ජේත්තුකාර ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්ය තරම් ධනයක් මිණිබිරිය සතු නොවීය. ඇය මහ ඇමතිනිය වීමෙන් පසුව ලබා දි තිබෙන වත්කම් හා බැරකම් ප්රකාශයේ එන කරුණු අනුව ඇය නූතන අර්ථයෙන් ධනවත් කෙනෙකු ලෙස සැලකිය නොහැකිය. ඇය රූපවාහිනී සාකච්ඡා දෙකකදි ප්රකාශ කර තිබෙන ආකාරයට ජීවිත ආරක්ෂෂාව සඳහා රටින් පිටත ජීවත් වූ කාලයේදි ඇයට ජීවත්වීම සඳහා පර වැඩ කිරීමට සිදුවූයේය. දරුවන්ට අනුන්ගේ දරුවන් හැඳී පරණ ඇඳුම් පැළඳුම් අන්ඳවන්නට සිදුවූයේය. එහෙත් ඇය පාලන බලයට ඒමෙන් පසුව අඳින පළඳින ඇඳුම් පැළඳුම් හා ආභරණවල වටිනාකම දෙස බලන විට ඇයට ලැබෙන දුප්පත් වැටුපෙන් (රටේ ජනාධිපතිනියට ලැබෙන වැටුප විශ්ව විද්යාල ආචාර්යවරයෙකුට ලැබෙන වැටුපටත් වඩා අඩුය.) දරු දෙදෙනෙකු එතෙර විශ්ව විද්යාලවලට යවමින් එතරම් වියදම් අධික ජේත්තුකාර ජීවිතයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන සැකය ඇති වන්නේය.
ජනාධිපතිනියගේ පාලන කාලය තුළ සිදුවී ඇති ඇතැම් ගනුදෙනු විශ්මය ජනකය. විවාදයට හේතු වී ඇති සියලු ගනුදෙනු නොසලකා එයාර් ලංකා සමාගම එමිරේට්ස් සමාගමට විකිණීමේ ගනුදෙනුව පමණක් ගත්තත් එය අන්ත දූෂිත ගනුදෙනුවක් බව තේරුම් ගැනීම අමාරු නැත.
චන්දන සිල්වා ජනාධිපතිනියගේ සමීපතම හිතවතෙකි. ඔහු සේවය කළේ එමිරේට්ස් සමාගමේ ය. එයාර් ලංකා ගනුදෙනුවේ ප්රධාන අතරමැදියා ලෙස ක්රියා කළේ ද චන්දනය. ජනාධිපතිනිය තමාගේ සමීප හිතවතෙකු නියෝජනය කරන සමාගමකට එයාර් ලංකා සමාගමේ පාලනය භාර දිම පමණක් වුවත් එම ගණුදෙනුව පිළිබඳව බලවත් සැකයක් ඇති කරයි. අනෙක් අතට එකම විෂය ක්ෂෙෂ්ත්රයක හා එකම කලාපයක තරගකාරි තත්ත්වයක සිටින සමාගමකට එයාර් ලංකා පාලනය භාරදිම රටේ යහපතට හේතු වේ යැයි සිතිය නොහැකිය. එය හරියටම ලේක්හවුසියේ පාලනය විජය පුවත්පත් සමාගමට හෝ විජය පුවත් සමාගමේ පාලනය ලේක් හවුසියට බාරදිමට සමානය.
තමන්ගේ ආරක්ෂෂක අංශයට චෝදනා එල්ල කිරීම මගින් සිය ආරක්ෂෂක අංශය බෙලහීන කොට තමා ඝාතනය කිරිමේ සංවිධානාත්මක වෑයමක් ඇති බවට ජනාධිපතිනිය චෝදනා කරමින් තිබුණත් ඇය තමන්ගේ ආණ්ඩු පාලන කාලය තුළ දේශපාලන විරුද්ධ වාදින් හිංසාවට ලක් කිරීමට පමණක් නොව සමහර පුද්ගලයන් ඝාතනය කිරීම සඳහාද සිය ආරක්ෂෂක බලකායන් යොදා ගත් බව තතු දත් අයට රහසක් වන්නේ නැත.
කුමාර් පොන්නම්බලම් ඝාතනය ඇය දැනුවත්ව සිදුවූවක් නොවේ නම් ඇය දැනුවත්ව ඊට වගකිව යුත්තන් නිල බලය යොදා ආරක්ෂෂා කර තිබේ.
රෝහණ කුමාර ඝාතනය ඇය දැනුවත්ව සිදුවූවක් බව බැලු බැල්මට පෙනෙන්නට තිබෙන අතර එම පොලිස් පරික්ෂෂණ යටපත් කිරීම පිණිස ද ඇය නිල බලය යොදා ගෙන ඇති බවද දැකිය හැකිය.
රූකාන්ත ගුණතිලක හා චන්ද්රලේඛා යන ගායක යුවලද හිංසාවට ලක් කිරිමේ ක්රියාවලියද ඇය දැනුවත්ව සිදුවූවක් ලෙස පෙනෙන්නට තිබේ. මේ යුවල හිංසාවට ලක්කළේ ඇගේ ආරක්ෂෂකයන්ය. ඇගේ ආරක්ෂෂක කණ්ඩායමක් එහි එමින් සිටින බව රූකාන්ත දැන සිටියේ ය. රූකාන්තගේ හිසේ පෙට්රල් පත්කළ පුද්ගලයා බැද්දගානේ සංජීවගෙ බව චන්ද්රලේඛා හඳුනාගෙන තිබුණේ ය.
රූකාන්ත සිද්ධිය පිළිබඳව ජනාධිපතිනිය පුන පුනා රටට කීවේ එය චන්ද්රලේඛාගේ හිටපු ස්වාමිපුරුෂයා හා රූකාන්ත අතර තිබූ ගැටුමක ප්රතිඵලයක් විය හැකි බව ය. රෝහණ කුමාර ගැන කීවේ ද ඒ සමාන කථාවකි. ජනාධිපතිනිය සිය මන්දිරයේ පවත්වන ලද පැදුරු සාජ්ජයකට චන්ද්රලේඛාගේ හිටපු ස්වාමිපුරුෂයා සමග ඔහුගේ දියණිය සහභාගී කරගත්තා පමණක් නොව ඇය එහිදි ගී කී ආකාරය රටට පෙනෙන ලෙස රූපවාහිනී වැඩසටහනක්ද විකාශය කළේ ය.
අනෝජා වීරසිංහගේ පුද්ගලික කෞතුකාගාරය ඇතුළු නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ දි ද රටට ඉගිකළේ එය අනෝජාට සම්බන්ධ විවිධ පිරිමින් අතර ඇති වූ ගැටුමක ප්රතිඵලයක් විය හැකි බව ය.
පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක මහතාගේ හා එම යුවළගේ දෙමාපියන්ගේ නිවෙස්වලට මළ සිරුරක කොටස් යැවීමේ සිද්ධිය පිටුපස ඉන්නේ ද ජනාධිපතිනියගේ ආරක්ෂෂක අංශයේ පිරිසකි. එම ම්ලේච්ඡ ක්රියාව මෙහෙයවූ පුද්ගලයා පාර්ලිමේන්තු මැතිවරණ ප්රතිඵල නිකුත් වෙමින් තිබුණු රාත්රියේ ලංකාවෙන් පලාගොස් දැන් එංගලන්තයේ ජීවත් වෙමින් සිටී. මෙම මළ සිරුරේ කොටස් බෙදාහැරුණු දිනයේ දි එම මළසිරුරේම කොටසක් එවකට සනත් ගුණතිලකගේ පෙම්වතිය වී සිටි ධනවත් කාන්තාවකගේ නිවසට ද බාර දි තිබුණි.
මුක්තිය නිසා ජනාධිපතිනියට එරෙහිව නඩු පැවරිමට නොහැකි නම් අඩුම වශයෙන් සිදු වී ඇති මේ අමානුෂික සිද්ධීන්ට ජනාධිපතිනියට සම්බන්ධයක් තිබේද යන්න ගැන කරුණු විමසන අපක්ෂෂපාත කොමිසමක් හෝ පත්කොට ඒ ගැන කරුණු විමසීම ආණ්ඩුවේ වගකීමකි.