ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබෙන මැතිවරණ ප්රතිඵල ගැන පුවත්පත්වලට කරන විග්රහයක් මගින් ලැබී තිබෙන ප්රතිඵලය 97 ලැබුණු ප්රතිඵලය සමග සසඳ තම ව්යාපාරය ජයග්රාහී තත්ත්වයක සිටින බව පෙන්නුම් කිරීමට උත්සාහ දරා තිබුණ. ස්වර්ණවාහිනියේ දේශපාලන සතියේ විචාරකයා ද ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇති ප්රතිඵලය 97 ලැබූ ප්රතිඵලය සමග සැසඳීමෙන් ජවිපෙ ජයග්රාහී තත්ත්වයක සිටින බව පෙන්නුම් කිරීමට උත්සාහ කළේය. ටිල්වින් සිල්වා කියන ආකාරයට 1997 පළාත් පාලන මැතිවරණයෙන් ජවි පෙරමුණට දිනාගත හැකිවූයේ නියෝජිත ආසන 101ක් පමණය. එහෙත් මෙවර දිනාගත් ප්රමාණය 189කි.
ජනතා විමුක්ති පෙරමුණට 1997දි රටේ පැවති ඡන්ද පදනම විශාල එකක් නොවීය. එම පළාත් පාලන මැතිවරණයේදි එම පක්ෂයට මුළු රටෙන් ම ලබාගත හැකිවූයේ ඡන්ද 258545ක් පමණය. එය දෙවැනි කැරැල්ලෙන් පසුව ජවි පෙරමුණ යන නමින් තරග කළ ප්රථම මැතිවරණය ලෙස සැලකිය හැකිය. ඊට පෙර එය ශ්රීල ප්රගතිශීලී පෙරමුණ නමින් 1994 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට ඡන්ද 90078ක් ද, නැවත ජනාධිපතිවරණයට තරග කොට ඡන්ද 22749ක් ද ලබාගෙන තිබුණ.
97 පළාත් පාලන මැතිවරණයේදි ඡන්ද 258645ක් ලබාගැනීමට සමත් වූ අතර, 99 පළාත් සභා මැතිවරණයේදි උතුරු-නැගෙනහිර පළාත් දෙකෙන් පිටස්තර දිස්ත්රික්ක 17 සඳහා ඡන්ද 417887ක් ලබාගැනීමට සමත් විය. 99 ජනාධිපතිවරණයේදි දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කරන තත්ත්වයක් ඉදිරියේ එම පක්ෂයට එම දිස්ත්රික්ක 17න් ලැබෙන ඡන්ද ප්රමාණය 336613ක් දක්වා පහත වැටුණත්, නැවත 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදි මේ දිස්ත්රික්ක 17 සිය ඡන්ද පදනම ඡන්ද 508988ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත් විය. ඉන්පසු 2001 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදි තවදුරටත් තම ඡන්ද පදනම වර්ධනය කරගනිමින් මෙම දිස්ත්රික්ක 17 සඳහා ඡන්ද 797712ක් ලබාගැනීමට ජවි පෙරමුණ සමත් විය.
ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණ දිනාගත යුතුව තිබුණු නියෝජිත ආසන ගණන 189ක් නොව 355කි. එහෙත් 355ක් වෙනුවට දිනාගත හැකිවූයේ 189ක් පමණය. එවැනි අඩු ප්රතිඵලයක් ලැබීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම මේ මැතිවරණයේ දි ශීඝ්ර පරිහානියකට ලක්වීමය. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි ලබාගත් ඡන්ද ප්රමාණයට සාපේක්ෂව මේ මැතිවරණයේදි ලබාගත් ඡන්ද ප්රමාණයේ පිරිහීම 47%කි. මේ මැතිවරණයේදි ලබාගෙන ඇති ඡන්ද ප්රමාණය 2000 මැතිවරණයේදි ලබාගත් ඡන්ද ප්රමාණයටත් වඩා අඩුය. අඩුවී තිබෙන ප්රමාණය 17%කි. ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන දේශපාලනය විසින් 2001 මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණට අලුතෙන් එකතු කරන ලද සියලු දෙනා (ඡන්ද 288724ක්) අහිමි කිරිමෙන් නොනැවතී ඊට පෙර පැවති එනම් 2000 පාර්ලිමේන්තු මැතිවරණය වනවිට ගොඩ නැගී තිබුණු පදනම ද 17%කින් අඩු කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. 2000 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මෙම දිස්ත්රික්ක 17න් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්යාව 508988කි. එම මැතිවරණයට සාපේක්ෂව අඩුවී තිබෙන සංඛ්යාව 84228කි.
මේ මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණට 2001 මැතිවරණයෙන් ලැබී තිබුණු පිටපොත්ත මුළුමණන් විනාශ කිරිමෙන් නොනැවතී, ඊට යටින් තිබෙන අරටුව ද කිසියම් විශාල ප්රමාණයකට විනාශ කිරීමට හේතුවී තිබෙන බව පෙනේ.
දැනට ඡන්ද නොපවත්වා ඇති පළාත් පාලන ආයතන කිහිපය නොසලකා සිදුවී ඇති පරිහානියේ තරම ගණන් බැලිය හැකිය. නොපවත්වා ඇති පළාත් පාලන ආයතනවල ප්රතිඵල මෙහි දක්වා ඇති හැඩතලවල සුළු වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇතත්, මූලික උපනතිවලට වෙනසක් ඇති කිරිමේ හැකියාවක් නොපවතී.
අනුපාතික මට්ටමෙන් ගත්විට ඉහළම පරිහානියක් පෙන්නුම් කරන්නේ කොළඹ දිස්ත්රික්කයේ හා පුත්තලම් දිස්ත්රික්කයේය. පරිහානියේ අනුපාතිකය 64%කි. කොළඹ දිස්ත්රික්කයේ අඩුවී ඇති ඡන්ද ප්රමාණය 75069කි. පුත්තලම දිස්ත්රික්කයේදි 11669කි.
පරිහානියේදි දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ වර්තමානයේ ජවි පෙරමුණ මෙහෙයවන නායක කල්ලියේ (සෝමවංශ අමරසිංහ, ටිල්වින් ද සිල්වා, විමල් වීරවංශ, නන්දන ගුණතිලක) දේශපාලන නිජබිම් ප්රදේශය ලෙස සැලකෙන කළුතර දිස්ත්රික්කයයි. පරිහානියේ අනුපාතිකය 59%කි. අඩුවී තිබෙන ඡන්ද ප්රමාණය 37167කි. 2002 පළාත් පාලන මැතිවරණයේදි ලබාගෙන තිබෙන ඡන්ද ප්රමාණය ද, 99 පළාත් සභා මැතිවරණයේදි ලබාගත් ඡන්ද සංඛ්යාවටත් වඩා 5099කින් අඩුය. එම දිස්ත්රික්කයේදි පරිහානියේ වෛරස් එම පක්ෂයේ අභ්යන්තර අරටුව දක්වා ගමන් ගැනීමට සමත් වී තිබෙන බව පෙනේ.
පරිහානියේදි ගම්පහ දිස්ත්රික්කය තුන්වැනි ස්ථානය හිමි කරගෙන තිබෙන අතර, එම දිස්ත්රික්කය සඳහා පරීහානියේ අනුපාතිකය 52%ක් වන අතර, අඩුවී තිබෙන ඡන්ද සංඛ්යාව 59108කි.
පිළිවෙලින් ඊළග ස්ථානය හිමි කරගෙන තිබෙන දිස්ත්රික්ක, එම දිස්ත්රික්ක සඳහා පරිහානියේ අනුපාතිකය හා අඩුවී තිබෙන ඡන්ද සඛ්යාවන් මෙසේය.
1999 ජනාධිපතිවරණයේදි හැර 1994න් පසුව මෙතෙක් පැවති හැම මැතිවරණයකදිම විශාල වර්ධනයක් පෙන්නුම් කළ ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේදි අතිවිශාල පරිහානියකට යාම කෙරෙහි බලපා ඇති හේතු අතර, වාර්ගික ප්රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට දරන උත්සාහයට එරෙහිව ඉතාමත් ජාතිවාදි ආකාරයකින් නැගී සිටීමට උත්සාහ කිරීම හා ජනතාවගේ විරෝධයට හා පිළිකුලට හේතුවී සිටින ජනාධිපතිනිය සමග පවත්වාගෙන යන ප්රතිපත්ති විරහිත සම්මුතිය යන සාධක දෙක ප්රධාන කොට බලපා තිබෙන බව පෙනේ.
ජනතා විමුක්ති පෙරමුණ හිසේ දමා ගත් ජාතිවාදි තොප්පිය එය පැළඳ ගෙන සිටි වාමාංශික හා මාක්ස්වාදි සළුපිළිවලට නොගැලපුණා සේ ම, ජනාධිපතිනිය සමග පවත්වාගෙන ගිය දේශපාලන සහවාසය ද ඔවුන් කෙරෙන් ප්රකාශ වෙමින් තිබූ විප්ලවකාරි අධ්යාශයන්ට නොගැලපුණේය. රතු නිල ඇඳුම සමග පැළඳි ජාතිවාදි තොප්පිය සේ ම විප්ලවකාරි ජීවන රටාව සමග ජනාධිපතිනිය සමග පවත්වාගෙන ගිය ප්රේම සම්බන්ධය ජනතා විමුක්ති පෙරමුණට විකට පෙනුමක් ලබාදෙමින් එම ව්යාපාරයට ආදරය කළ ජනතාව අතර එම ව්යාපාරය කෙරෙහි විශාල විශ්වාසභංගයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පෙනේ.
ප්රභාකරන්ගේ කොටි සංවිධානය ප්රජාතන්ත්රවාදි ප්රවාහයට එකතු කරගන්නවාට එරෙහිව බලවත් ලෙස ජාතිවාදි ආකාරයකින් නැගී සිටින ප්රතිපත්තියක් සිංහල ජනතාව තුළ තමන් කෙරෙහි විශාල ප්රසාදයක් ඇතිකිරීමට හේතුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කළා විය යුතුය. එහෙත් සිංහල ජනතාව ජීවත් වූයේ 1988 වසරේ නොව 2002 වසරේය. ඔවුන් ද යුද්ධයෙන් හොඳටම හෙම්බත් වී සිටි අතර, මේ ප්රශ්නයට කල්පවත්නා විසඳුමක් අවශ්ය වේ යැයි සිතන තැනකට පැමිණ සිටියේය. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ ද කොටි සංවිධානයට සමාන ත්රස්තවාදි ඉතිහාසයකට උරුමකම් කී සංවිධානයක් වීම හේතු කොට ගෙන තමන්ගේ එම ඉතිහාසය අමතක කොට, කොටි සංවිධානයේ ත්රස්තවාදය ගැන කරන කතා ජනතාවගේ විශ්වාසයට හේතුවූයේ නැත. ආයුධ සන්නද්ධ නැගිටීම් ම්ලේච්ඡ විය හැකි වුවත්, කිසියම් විශේෂ සමාජ කණ්ඩායමක් ආයුධ අතට ගන්නා තත්ත්වයකට පත්වීම කෙරෙහි විශේෂ සමාජ, ආර්ථික හේතු බලපාන්නේය යන්න පිළිගත් මාක්ස්වාදි මතයයි. ජනතා විමුක්ති පෙරමුණේ ත්රස්තවාදි ඉතිහාසය නොසලකා ඔවුන් ප්රජාතන්ත්රවාදි ප්රවාහයට එකතු වනවිට මහජනතාව ඊට අවහිර කරන ප්රතිපත්තියක් අනුගමනය නොකළේ ද මහජනතාව මාක්ස්වාදින් නොවුණත්, ආයුධ සන්නද්ධ නැගිටීමක් කෙරෙහි බලපාන සමාජ, ආර්ථික හේතු පිළිබඳව යම් පමණකට හෝ වැටහීමක් මහජනතාවට තිබුණු නිසාය. එහෙත් එක් කලක වැරදි මගක ගොස්, ඒ ගමන් මග වෙනස් කළ ව්යාපාරයක් වැරදි මගක ගමන් කොට ඒ මග වෙනස් කිරීමට වැර දරන ව්යාපාරයකට එරෙහි වේ නම් එවැනි ප්රතිපත්තියක් මහජනයාගේ ගෞරවයට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.
ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩපිළිවෙල ද රටේ පොදු යහපත සලකා ඉදිරියට ගනු ලැබූ වැඩපිළිවෙලක් නොවන බව හා ඒ තුළ ද සැගවුණ දේශපාලන අරමුණු තිබුණු බව කල්ගත වී හෝ මහජනතාව තේරුම් ගත්තේය. අහසෙන් කඩා පහත් වෙන්නාක් මෙන් ඉදිරියට ගෙනආ එම වැඩපිළිවෙල පොදු පෙරමුණු ආණ්ඩුව බිඳ වැටීමට හේතුවී තිබෙන අවස්ථාවක ආණ්ඩුවේ ආරක්ෂාව සඳහාම ඉදිරියට ගන්නා ලද වැඩපිළිවෙලක් විය. ජනතා විමුක්ති පෙරමුණ 17 වැනි ව්යවස්ථා සංශෝධනය ගැන මොනතරම් සුරංගනා කථා කීවද පරිවාස ආණ්ඩු වැඩපිළිවෙල යටතේ එම ව්යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කළ අරමුණු විකෘති කිරීමට ජනාධිපතිනියට ඉඩ දි නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පෙර හෝ පසුව ව්යවස්ථා සභාව ඇති කරන ලෙස ජනාධිපතිනියට බල කිරිමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණ ද කවර හේතුවක් නිසා හෝ ජනතා විමුක්ති පෙරමුණ එවැනි බලකිරීමකට ගියේ නැත. ඉන්පසු 17 වැනි ව්යවස්ථා සංශෝධනයක් නීතිගත කර තිබියදි එය නොසලකා ජනාධිපතිනිය මැතිවරණ කටයුතු සඳහා රාජ්ය සම්පත් අසම්මත ආකාරයකින් පාවිච්චි කරන පිළිවෙතක් මගින් රටේ ආණ්ඩු ක්රම ව්යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටි අවස්ථාවේදි පවා ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන ජනාධිපතිනියට එරෙහිව එකම වචනයක්වත් කතා කළේ නැත.
මැතිවරණයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය වී එජා පෙරමුණේ ආණ්ඩුවක් ඇතිවීමෙන් පසුවත් එම මැතිවරණ ප්රතිඵලය ජනාධිපතිනියට එරෙහිව දෙන ලද මහජන තීන්දුවක් වේය යන කාරණය නොසලකා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිනිය සමග එකට කල්ලි ගැසී ක්රියා කරන පිළිවෙතක් අනුගමනය කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මෙම ප්රතිපත්ති විරහිත අවස්ථාවාදි දේශපාලනය පරිවාස ආණ්ඩුවක් ඇති කරගැනීමත් සමග ඇති වූවක් නොවේ, 1994 සිටම ජනතා විමුක්ති පෙරමුණේ විදේශගත නායකයාව සිටි සෝමවංශ අමරසිංහ මගින්, ජනතා විමුක්ති පෙරමුණ තීරණාත්මක ආකාරයකින් තමන්ට එරෙහිව නොයන තැනක තබාගැනීමට ජනාධිපතිනිය සමත් වී ඇති බව පෙනී යයි.
1994 ජනාධිපතිවරණයේදි ජවිපෙ තරග කළේ ජවිපෙ යන නමින් නොව, ශ්රී ලංකා ප්රගතිශීලී පෙරමුණ යන නාමයෙනි. එම මැතිවරණයේදි ජනාධිපති ක්රමය 1995 ජූලි 15 වැනිදාට පෙර අහෝසි කරන බවට චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ලිඛිතව ස්ථිර පොරොන්දුවක් සිය පක්ෂයට ලබාදෙන්නේ නම්, සිය අපේක්ෂකයා ජනාධිපති වරණයෙන් ඉවත් කරගන්නා බවට ජනතා විමුක්ති පෙරමුණ ප්රසිද්ධ ප්රකාශයක් කළේය. ඊට උත්තරයක් ලෙස චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඒ සඳහා එම පක්ෂයට ලිඛිත පොරොන්දුවක් දුන්නාය. ඒ සමග ප්රගතිශීලී පෙරමුණ සිය අපේක්ෂකයා ඉවත් කරගන්නා බවට ප්රසිද්ධ ප්රකාශයක් කළේය.
මෙය චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජවි පෙරමුණට කරන ලද බලවත් වංවාවක් වුවත්, ජනාධිපති ක්රමය අහෝසි කරන ලෙසට චුරු චුරු ගාන පිළිවෙතක් අනුගමනය කළා විනා, ඊට එරෙහිව බලවත් ලෙස ක්රියා කරන පිළිවෙතක් අනුගමනය කළේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ පරිවාස වැඩපිළිවෙලට ගියේ ඉතා අවංක අදහසින් නම්, ජනාධිපති ක්රමය අහෝසි කිරීම ඒ වැඩපිළිවෙලේ අවසානයට නොව, මුලටම ගත යුතුව තිබුණ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ වෙනත් අනන් මනන් කාරණා ඉදිරියට ගත්තා විනා, එම කේන්ද්රීය කාරණයට අවශ්ය ප්රමුඛතාවක් ලබා දුන්නේ නැත. පොදු පෙරමුණ මැතිවරණයෙන් පරාජය වූ පසුව ජනාධිපතිනිය නව ආණ්ඩුවේ ගමන් මගට අවහිර කරමින් සිටි තත්ත්වයක් ඉදිරියේ “එජා පෙරමුණ විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට සූදානම් නම් තමන් ද ඊට සහයෝගය දෙන්නට සූදානම් බව ප්රකාශ කළේ නම්” විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට බල කෙරන ශක්තිමත් තත්ත්වයක් ඇති කිරීමට හැකිවන්නට ඉඩ තිබුණ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්රමය අහෝසි කරවීමට ලැබී තිබුණු අවස්ථාව ප්රයෝජනයට ගත්තේ නැත.
ශ්රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ඡන්ද මංකොල්ලය ලෙස සැලකිය හැකි වයඹ පළාත් සභා මැතිවරණයේදි එම මංකොල්ලකාරි පළාත් සභාව වර්ජනය කරන තැනකට එජාප පවා තල්ලුවී ගියේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඊට පටහැනිව පළාත් සභාවට එකතු වන ක්රියාමාර්ගයක් තුළ එම මංකොල්ලකාරි පළාත් සභාවට නීත්යනුකූල බවක් ලබා දුන්නේය.
අනෙක් පළාත්වල පළාත් සභා මැතිවරණ පවත්වන ලද්දේ වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුවය. බස්නාහිර පළාතේ හා දකුණු පළාතේ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහාය නැතිව පොදු පෙරමුණට පළාත් සභා ආණ්ඩුවක් ඇති කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණ. ජනතා විමුක්ති පෙරමුණට අවශ්ය වී නම්, මෙම පළාත් සභා දෙක සඳහා තම සහාය අවශ්ය නම්, වයඹ පළාත් සභා මැතිවරණයේදි සිදුවූ දූෂණ පිළිබඳ සාධාරණ පරික්ෂණයක් ඉල්ලා සිටීමේ හැකියාවක් තිබුණ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එහිදි එවැනි ඉල්ලීමක්වත් ඉදිරිපත් කිරීමකින් තොරව, පොදු පෙරමුණට එම පළාත් සභා දෙක සඳහා තමන්ගේ ආණ්ඩුව ගොඩ ගැනීමට සහාය දෙන පිළිවෙතක් අනුගමනය කළේය.
ජනතා විමුක්ති පෙරමුණ වැනි විප්ලවකාරි පෙනුමකින් යුතු සංවිධානයක් ජනාධිපතිනිය වැනි කෙනෙකුට අනියම් ලෙස හැසිරවීමේ හැකියාවක් ලැබී තිබෙන්නේ කෙසේද? ඊට ලැබෙන එක් පිළිතුරක් මෙසේය.
ජනතා විමුක්ති පෙරමුණට ඉරාකයෙන් ලැබුණු විශාල මුදල් ප්රමාණයකින් කොටසක් ආරක්ෂාව සඳහා සිරිසේන කුරේ මහතාගේ බිරිඳ ළග තැන්පත් කරන තබන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ එවකට තිබූ දේශපාලන බල මණ්ඩලයේ සාමාජිකයකු වන වාස් තිලකරත්න විසින් 1986 නොවැම්බර්වලදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු සහකාර පොලිස් අධිකාරි මොහාන් ජයසූරිය වෙත දෙන ලද කටඋත්තරයක සඳහන් වේ. වාස් තිලකරත්න ප්රකාශ කර තිබෙන එම කතාව සත්යයක් බව, එවකට එම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ක්රියා කළ ලයනල් බෝපගේ, කෙලී සේනානායක වැනි අය ද පිළිගනී.
සිරිසේන කුරේ සමග ජනතා විමුක්ති පෙරමුණට තිබුණු මේ සම්බන්ධයට මුල් වී තිබුණේ සෝමවංශ අමරසිංහය. සෝමවංශ අමරසිංහ සිරිසේන කුරේගේ සමීප ඥාතියෙකු විය.
සෝමවංශ අමරසිංහ කවර මට්ටමකවත් දේශපාලන වශයෙන් දියුණු තත්ත්වයක සිටි පුද්ගලයෙකු නොවීය. ඔහු 71 කැරැල්ල වෙනුවෙන් වැලිකඩ “එච්” වාට්ටුවේ රඳවා සිටියදි ඔහු පෙනී සිටියේ උග්ර විජේවීර විරෝධී පුද්ගලයෙකු ලෙසය. එවකට ඔහුගේ දේශපාලන ගුරු වූයේ නාවික ඉංජිනේරුවකු වන විරාජ් ප්රනාන්දුය. 71 කැරැල්ලේ මහ නඩුව වෙනුවෙන් එහි ප්රධාන සැකකරුවන් එච් වාට්ටුවට ගෙන ඒමට නියමිතව තිබූ තත්ත්වයක් තුළ එම නඩුවේ සැකකරුවකු නොවූ සෝමවංශ අමරසිංහ මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ අතර, මැගසින් බන්ධනාගාරය තුළ ජවිපෙ පිල බලවත් තත්ත්වයක සිටි තත්ත්වයක් යටතේ සෝමවංශ අමරසිංහ ද සිය පැවැත්ම සඳහා නැවත විජේවීරවාදියකු බවට පත්විය.
77න් පසු ගොඩ නගන ලද දේශපාලන මණ්ඩලයට සෝමවංශ අමරසිංහ ද ඇතුළත් කරගැනීම කෙරෙහි සෝමවංශ අමරසිංහට සිරිසේන කුරේට තිබුණු සමීප ඥාති සම්බන්ධය බලපෑවා විය යුතුය. සෝමවංශ අමරසිංහ වැනි පුද්ගලයෙකු දේශපාලන මණ්ඩලයට ගැනීම මගින් අත්යවශ්ය අවස්ථාවක සිරිසේන කුරේ මගින් ආණ්ඩුව සමග ගනුදෙනු කළ හැකිවනු ඇතැයි රෝහණ විජේවීරද කල්පනා කළා විය යුතුය.
දෙවැනි කැරැල්ලේ දි සෝමවංශ අමරසිංහ පමණක් ඉතිරිවී අන් සියලු පළමු පෙළේ නායකයන් ඝාතනය කෙරෙන තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණේ නිල නායකයා ලෙස පෙනී සිටීමේ හැකියාව සෝමවංශ අමරසිංහට ලැබෙන්නේය. සෝමවංශ අමරසිංහට පමණක් දිවි ගලවාගෙන රටින් පලායාමට හැකිවීම කෙරෙහි ද සිරිසේන කුරේ බලපා ඇති බවත් පෙනී යයි.
කැරැල්ල මර්දනය කිරිමේ හමුදා කටයුතු සම්බන්ධීකරණය කෙරෙන මෙහෙයවීමේ මූලස්ථානයේ (Ops Combine) ජනාධිපති ප්රේමදාස මහතා විසින් ඇති කර තිබුණු අතර, ජනරාල් සිසිල් වෛද්යරත්න එම මූලස්ථානයේ ප්රධානියා ලෙස ක්රියා කළේය. සිරිසේන කුරේ එම මූලස්ථානය නියෝජනය කළ ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයා විය.
පරිවාස ආණ්ඩුව යටතේ සෝමවංශ අමරසිංහ නැවත ලංකාවට පැමිණි අවස්ථාවේදි මේ ලියුම්කරු ජනරාල් වෛද්යරත්නට දුරකතනයෙන් කතා කොට සෝමවංශ අමරසිංහගේ පලායාම පිළිබඳව ඔහුට කියන්නට ඇත්තේ කුමක්දැයි අසා සිටියේය. සෝමවංශ හැර ජවිපෙ අනෙකුත් සියලු නායකයන් අල්ලා ගැනීමට සමත් වී තිබූ තත්ත්වයක් තුළ සෝමවංශ ද ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබුණු බවත්, එහෙත් සෝමවංශ අමරසිංහ හා සිරිසේන කුරේ අතර තිබූ සමීප ඥාති සම්බන්ධය හේතු කොටගෙන සෝමවංශ අමරසිංහ සම්බන්ධයෙන් තමන් කුමක් කළයුත්තේ දෑයි ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මහතා විමසූ බවත්, ඒ ප්රශ්නය නිසා ආරක්ෂක ඇමතිවරයා තමන් ජනාධිපති ප්රේමදාස මහතා ඉදිරියට රැගෙන ගිය බවත්, ඒ අවස්ථාවේදි ඒ ස්ථානයේ සිරිසේන කුරේ මහතා ද සිටි බවත්, සෝමවංශ අමරසිංහ පිළිබඳ ප්රශ්නය ජනාධිපති ප්රේමදාස මහතාට ඉදිරිපත් කළ පසුව, ඔහු අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා අනුමැතිය දෙන ලද බවත්, එහෙත් පුදුමයකට මෙන් ඊට පසුදිනම සෝමවංශ අමරසිංහ රටින් පලා ගොස් තිබූ බවත්, ඒ ගැන ආරක්ෂක ඇමතිවරයා විශේෂයෙන්ම කෝපයට පත්ව සිටි බවත් ප්රකාශ කර සිටියේය.
සෝමවංශ අමරසිංහගේ ජීවිතය ගලවා ගැනීමට හේතුවූයේ සිරිසේන කුරේ මහතා නම්, සෝමවංශ අමරසිංහ මගින් ජනතා විමුක්ති පෙරමුණ හසුරුවන තත්ත්වයක් දිනා ගැනීමට සිරිසේන කුරේ මහතා සමත් වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. සිරිසේන කුරේ මහතා 1994 සිට ජනාධිපතිනිය සමග සමීප සම්බන්ධකමක් තිබුණි. ඒ සම්බන්ධය ඔස්සේ ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණ සියුම් ලෙස පාලනය කරන තත්ත්වයක් පවත්වාගෙන යන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
සෝමවංශ අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවූයේ එතෙර සිටය. ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකරුවන්ට තමන් කැමති පිරිසක් පක්ෂ නායකත්වයට ගැනීමට ඉඩ දෙන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට එතෙර සිටි සෝමවංශ අමරසිංහ විසින් තමන් කැමති පිරිසක් පක්ෂ නායකත්වයට ගන්නා පිළිවෙතක් අනුගමනය කර තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය.
වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ සිටින පළමු පෙළේ නායකයන් සියලු දෙනා සෝමවංශ අමරසිංහගේ වුවමනාව මත තෝරා ගන්නා ලද අය වන අතර, කැරැල්ලෙන් පසුව ජීවත්වන දේශපාලන දැනුමෙන් පොහොසත් අත්දැකීම් ඇති ජේයෂ්ඨයන් කිසිවකුත් එම නායක කණ්ඩායමට ඇතුළත් නොවන බව ද දැකිය හැකිය. මහජන ඡන්දයෙන් තේරි පත්වන අය පවා ඉවත් කෙරෙමින් ජන පදනමක් නැති පහසුවෙන් පාලනය කළ හැකි පිරිසක් ඒ තැන්වලට නම් කෙරෙන ප්රතිපත්තියක් ක්රියාත්මක වී තිබෙන බවක් දැකිය හැකිය. 1997 පළාත් පාලන මැතිවරණයෙන් තේරි පත්වූ 101 දෙනා අතුරින් 84ක්ම ඉවත් කොට ඒ අය වෙනුවෙන් වෙනත් පිරිසක් පත්කර ගත්තේය. 99 පළාත් සභා මැතිවරණයෙන් තේරි පත්වූ පළාත් සභිකයන් 15 දෙනාගෙන් ද 13 දෙනෙකුම ඉවත් කරන ලද අතර, විමල් වීරවංශ හා නන්දන ගුණතිලක යන නායකයන් වයඹ පළාත් සභාවේ මන්ත්රීවරුන් බවට පත්වූයේ ද එහි ප්රතිඵලයක් වශයෙනි.
කුමන හේතුවක් නිසා හෝ සෝමවංශ අමරසිංහ ජනාධිපතිනියගේ දේශපාලන වුවමනාවන්ට ගැලපෙන ලෙස පක්ෂය මෙහෙයවන තත්ත්වයකින් ක්රියා කර ඇති බව දැකිය හැකිය.