උතුරේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කිරීම

January 20, 2002
Publication:
The editorial welcomes the reopening of the Vavuniya–Kilinochchi road and urges a Colombo–Jaffna bus service. It describes costly and scarce flights and sea passages, a decade and a half without electricity, and prices three to five times those in the south, and argues that normalising life in the north would build the climate needed for a peaceful settlement.

උතුරේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරිමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු ය. වව්නියාවේ සිට කිලිනොච්චිය දක්වා දිවෙන මහාමාර්ගය විවෘත කිරීමට හැකිවීම ඉතා වැදගත් ඉදිරි පියවරකි. ඒ සමග කොළඹ යාපනේ මාර්ගයේ බස් ධාවනය කෙරෙන වැඩ පිළිවෙළක් ද ඉක්මනින්ම ඇතිකළ හැකි නම් එය උතුරේ සමාජ ජීවිතයේ විශාල විපර්යාසයක් ඇති කිරීමට හේතුවනු ඇති බවට සැකයක් නැත.

දැන් යාපනයේ සිට කොළඹට ගුවනින් එන පුද්ගලයකුට යාම් ඊම් සඳහා වන ගුවන් ගාස්තු වශයෙන් රුපියල් හය දහසක මුදලක් ගෙවන්නට සිදු වේ. එවැනි විශාල මුදලක් ගෙවන අයට පවා ඒ සඳහා අවස්ථාවක් ලබාගැනීමට පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කොට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටීමට සිදු වේ. මුහුදෙන් ගමන් කරන්නෙකුට නම් ත්‍රිකුණාමලයට ගොස් ඒ සඳහා අවස්ථාවක් ලැබෙන තෙක් දින ගණනක් ත්‍රිකුණාමලේට වී බලා සිටින්නට සිදු වේ.

මෙය ඉතාමත් කණගාටුදාක තත්ත්වයක් වනවා පමණක් නොව තමන් පීඩාවට පත් කර ඇත්තේය යන බලවත් හැගීමක් එම ප්‍රදේශවල ජනතාව තුළ ඇති කිරීමට හේතු වී තිබේ. ප්‍රවාහන කටයුතු පහසු කිරිමෙන් පමණක් උතුරේ ආර්ථික ක්‍රියාකාරීත්වයට විශාල ප්‍රබෝධයක් ලබාදිය හැකි අතර ඒ මගින් පමණක් එහි පවත්නා අධික භාණ්ඩ මිල ශීඝ්‍ර ලෙස පහත දමන තත්ත්වයක් ඇතිකළ හැකි ය. ඔවුන් කෙරෙහි පවත්නා පීඩාකාරි තත්ත්වයට වගකිව යුතුව ඇත්තේ කව්ද යන්න නොසලකා ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය යථා තත්ත්වයට පත්කළ හැකි වේ නම් තමන්ට ලැබී තිබෙන එම තත්ත්වය යළි අහිමි කර ගන්නා ක්‍රියාමාර්ගයක් වෙත ඔවුන් යොමුවනු ඇතැයි සිතිය නොහැකිය.

දිනකට පැයක් දෙකක් විදුලිය කපා හැරිමක් පවා ඉතාමත් පීඩාකාරි දෙයක් ලෙස අපි සලකමු. එහෙත් විදුලි පහසුකම් ඇතිව ජීවත් වූ උතුරේ ජනතාව විදුලි බලයෙන් තොරව දශක එකහමාරකට වැඩි කාලයක් ජීවත් වී තිබේ. එය ඔවුන්ගේ ජීවිතවලට කොතරම් වේදනාවක් වීද යන්න අප තේරුම් ගත යුතු ය. අපි ශීඝ්‍රයෙන් ඉහළ යන භාණ්ඩ මිල ගැන කථා කරමු. එහෙත් උතුරේ ජනතාව සඳහා බලපාන භාණ්ඩ මිල හැම විටම දකුණේ ජනතාව සඳහා බලපාන භාණ්ඩ මිල මෙන් තුන් හතර ගුණයක් මිල ය. ඔවුන්ට විදුලිය නැතිවා සේ ම භූමිතෙල් පහනක් දැල්වීමට පවා අපට භූමිතෙල් බෝතලයකට ගෙවීමට සිදු වී ඇති මිල මෙන් පස් ගුණයක මිලක් ගෙවන්නට සිදු වී ඇති බව ද දකුණේ ජනතාව තේරුම්ගත යුතු ය.

උතුරේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයකට ගැනීමෙන් පමණක් වුවත් සාමකාමී විසඳුමක්ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් පරිසරයක් නිර්මාණය කළ හැකි ය.