පසුගිය මැතිවරණයේදි හා පොදු පෙරමුණු පාලන කාලය තුළ පැවති මැතිවරණවලදි ඉතාමත් ප්රචණ්ඩ වාතාවරණයක් පැවති මැතිවරණ කොට්ඨාශවල පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා නිදහසේ ගලා යන තත්ත්වයක් පවතී. මෙය රට පුරා පවතින පොදු තත්ත්වයක් නොවූවත්, මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට යන්නට ඉඩ නොදි දැඩි ලෙස පාලනය කිරීම නව ආණ්ඩුවේ වගකීමකි.
මැතිවරණවලදි ඉතාමත් ප්රචණ්ඩ වාතාවරණයක් පැවති සමහර ප්රදේශවලට පමණක් සීමාවන ආකාරයට හෝ පවතින මෙම අවාසනාවන්ත තත්ත්වයට එම ප්රදේශවල ප්රචණ්ඩත්වය සංස්ථාපනය කළ පොදු පෙරමුණේ ප්රාදේශීය නායකයින් ප්රධාන කොට වගකිව යුතු ය.
මේ මැතිවරණයේදි සේ ම මීට පෙර පැවති මැතිවරණවලදි ද සමහර ප්රදේශවල පැවති තත්ත්වය යුද්ධ තත්ත්වයකට සමාන ය. ආනමඩුව, පාතදුම්බර, නාවලපිටිය, හිරියාලේ වැනි සමහර ප්රදේශවල පොදු පෙරමුණු නායකයින් මැතිවරණවලදි හැසිරුණේ මහජන නියෝජිතයන් ලෙස නොව, ප්රාදේශීය යුද්ධ අධිපතින් විලසිනි. ඔවුන් මැතිවරණවලදි විරුද්ධ පක්ෂවලට අයත් ජනයාට එරෙහිව උපරිම මට්ටමේ හිංසාවක් පවත්වාගෙන ගිය අතර, ඒ සඳහා මැර බලය ද ප්රාදේශීය පොලිස් බලය ද උපරිම ලෙස යොදා ගත්තේ ය.
පොදු පෙරමුණේ ඇතැම් ප්රාදේශීය නායකයන් රාජ්ය අනුග්රහය ඇතිව මැතිවරණවලදි සිරිතක් වශයෙන් ක්රියාවට නංවන මෙම හිංසාකාරි පිළිවෙත කවදා හෝ ඉතාමත් විනාශකාරි ප්රතික්රියා ඇති කිරීමට හේතුවිය හැකි බව පුවත්පතක් වශයෙන් අපි නොකඩවා අවධාරණය කළෙමු. මේ ක්රමය තුළ ජයග්රාහී තත්ත්වයක සිටින අය පරාජයට පත්වන අවස්ථා ඇති වන බවත්, පරාජයකදි සිය අනුගාමිකයන්ගේ ආරක්ෂාව සලකාවත් ප්රචණ්ඩත්වයට බර නො තබා ක්රියාකිරිමේ වගකීමක් පොදු පෙරමුණේ නායකයින්ට ඇති බවත් අපි දිගින් දිගට අවධාරණය කළෙමු.
මැතිවරණවලදි ආණ්ඩුවේ බිහිසුණු ක්රියාවන්ට පොදු පෙරමුණේ චණ්ඩි ගණයේ ප්රාදේශීය නායකයන් පමණක් නොව, රාජ්ය නායිකාව ද වගකිව යුතු ය. පොදු පෙරමුණේ චණ්ඩි ගණයේ ප්රාදේශීය නායකයන්ට චණ්ඩිකම් කිරීමට අවශ්ය අනුග්රහය හා ආරක්ෂාව ලැබුණේ ඇයගෙනි. ඇය සිය ආරක්ෂකයන් රට පුරා යවමින් චණ්ඩිකම් කරන ප්රාදේශීය නායකයන්ට අවශ්ය අනුග්රහය ලබා දුන්නා ය.
බිහිසුණු වාතාවරණයක් පැවති ප්රදේශවල මහජනයා නීතිය අතට ගන්නා තත්ත්වයකට තල්ලුවීම කෙරෙහි මේ මැතිවරණයේදි හා ඊට පෙර පැවති මැතිවරණවලදි සිදුවූ සාහසිකකම්වලට වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවාලීමට අසමත්වීම ද බලපා තිබේ. එක් අතකට පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා තවදුරටත් ඉදිරියට යන්නට ඉඩ නොදි දැඩි ලෙස පාලනය කිරීම නව ආණ්ඩුවේ වගකීමක් වන අතර, පසුගිය මැතිවරණයේත්, ඊට පෙර පැවති මැතිවරණවලදිත් සාහසිකකම් කළ ප්රාදේශීය නායකයින් නීතිය ඉදිරියට පමුණුවාලීම සඳහා ක්රියා කිරීම ද ආණ්ඩුවේ වගකීමකි.