ජනාධිපතිනිය මැතිවරණයේදි තමන්ට තිබෙන අතිවිශාල බලය ගැන පුරසාරම් කථා කීවත්, එක්සත් ජාතික පෙරමුණ ජය ලැබීමෙන් පසුව අනවශ්ය ලෙස බලය පෙන්වන්නට ගොස් ජයග්රාහකයා සමග ගැටුමක් ඇති කරගත්තේ නැත. ඇය අකමැත්තෙන් වුවත් සේනාධි නායකත්වය පමණක් තමන්ට ඉතිරිකරගනිමින් සියලු පාලන බලතල ජයග්රාහී ප්රතිපක්ෂය වෙත භාර දුන්නාය. ඇය එහිදි එවැනි නම්යශීලී ප්රතිපත්තියක් අනුගමනය නොකොට, ජයග්රාහී ප්රතිපක්ෂයට බලය පෙන්වන්නට ගියා නම් සමහරවිට මහජනයා වීදි බසින තත්ත්වයක් පවා ඇති වන්නට ඉඩ තිබුණ. ජනාධිපතිනිය කෙරෙන් ප්රකාශ වූ ඒ නම්යතාව කෙරෙහි ජනාධිපතිනිය ආරක්ෂක ඇමති ධුරය තමන් වෙත තබා ගතහොත් දශ ලක්ෂයක් ජනයා කොළඹට කැඳවන බවට එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් ප්රකාශකයින් විසින් කරන ලද අනතුරු ඇගවීම ද බලපෑවා විය හැකිය.
එහෙත් ජනාධිපතිනියගේ මේ පසුබැස්ම තාවකාලික උපාය මාර්ගික වශයෙන් කරන ලද පසුබැසීමක් මිස, ස්ථිර පසුබැසීමක් විය නොහැකිය. නයා තාවකාලික ලෙස පෙනය හකුළුවා ගෙන බෙනය තුළට වැදි ඇතත්, අවශ්ය ඕනෑම මොහොතක බෙනයෙන් එළියට විත් පෙනය පුප්පා දෂ්ඨ කිරිමේ හැකියාවක් පවතී. පොදු පෙරමුණට නැතිවී ඇත්තේ පාර්ලිමේන්තු බලය හා අභ්යන්තර පාලන බලය පමණය. ජනාධිපති බලය තවමත් පොදු පෙරමුණ සතුය. එසේම පළාත් සභා බලය හා ගම් මට්ටමේ සංවර්ධන සභා බලය තවමත් ඇත්තේ පොදු පෙරමුණ අතේය. සුදුසු අවස්ථාවක් උදාවන තෙක් පසුබැස බලා සිටින ප්රතිපත්තියකට යාම පොදු පෙරමුණේ උපාය මාර්ගය වී ඇති අතර, රටේ පවතින ආර්ථික දුෂ්කරතා, ජනවාර්ගික ප්රශ්නය ආශ්රයෙන් මතුවිය හැකි ව්යාකූල තත්ත්වයන් පදනම් කොටගෙන බොහෝ කල් යන්නට මත්තෙන් තමන්ට නැවත කරළියට ඒමට හැකිවනු ඇතැයි ජනාධිපතිනියගේ විශ්වාසය වී තිබෙන බව ද පෙනේ.
ජයග්රාහී පක්ෂය ද ප්රතිපක්ෂය අත විධායක බලය තිබෙන්නට ඉඩ හැර පාලන බලය ලබාගැනීමෙන් පමණක් තෘප්තියට පත්වී ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන් ජය ලැබූ වහාම ජනාධිපතිනිය සමග ආරාවුලකට නොගියේ ද අභ්යන්තර පාලන බලය අතට ගෙන වඩා ශක්තිමත් තත්ත්වයක් ලබාගනිමින් ආරාවුලකට යාම ඔවුන්ගේ උපාය මාර්ගික අරමුණ වූ නිසා බව ද පෙනෙන්නට තිබේ.
99 ජනාධිපතිවරණයේදි ජනාධිපතිනිය තේරි පත්වූයේ හය අවුරුදු ධුර කාලයක් සඳහාය. එහෙත් 99දි ඇයට ලැබුණු ජන වරම මේ මැතිවරණයේදි ලද පරාජය විසින් නිශේධ කරයි. ඇය මේ පාර්ලිමේන්තු මැතිවරණයේදි පොදු පෙරමුණු මැතිවරණ සටන මෙහෙයවන තත්ත්වයකට නොයා පැත්තකට වී සිටියේ නම් ජනතාව තමන්ගේ කණ්ඩායම පරාජය කර ඇතත්, තමා පරාජය කළේ නැති බව කියන්නට ඉඩ තිබුණ. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදි ඇය පොදු පෙරමුණේ මැතිවරණ සටන මෙහෙයවන තත්ත්වයකට යමින් එය තමා හා එජා පෙරමුණ අතර කෙරෙන තරගයක් බවට පත් කරවා ගත්තාය. මැතිවරණයේදි එජා. පෙරමුණේ ප්රධාන මාතෘකාව වූයේ ද ජනාධිපතිනියයි. ඒ අර්ථයෙන් ජනතාව 99 ජනාධිපතිවරණයේදි ජනාධිපතිනියට දෙන ලද ජනවරම මේ මැතිවරණයේදි අවලංගු කර ඇතත්, මැතිවරණයෙන් ලැබූ පරාජය ආණ්ඩුව පමණක් නොව තමා ද ලද පරාජයක් ලෙස සලකා ඇය තනතුර අත්හැරියේ නැත. ඒ අනුව ජනතාව විසින් ප්රතික්ෂේප කරනු ලැබූ නායිකාවක් තවදුරටත් විධායක බලය හොබවන තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී තිබේ.
ඇය ජයග්රාහී ප්රතිපක්ෂයට අභ්යන්තර පාලන බලය පවරා ඇතත්, රජයේ ප්රධාන විධායකයා ලෙස ද, ත්රිවිධ හමුදාවල ප්රධාන අණදෙන නිලධාරියා ලෙස ද ක්රියා කරයි. ඒ සියල්ලට අතිරේකව ආරක්ෂාව සඳහා යන ලේබලයට මුවාවී පුද්ගලික හමුදාවකට සමාන දහස් ගණනක ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ද පවත්වාගෙන යයි. ඕනෑම නිලධාරියෙකුට හෝ දෙපාර්තමේන්තුවකට නියෝග නිකුත් කිරිමේ බලය සේ ම, අවුරුද්දක කාලය සම්පූර්ණ වීමෙන් පසුව තමන්ට අභිමත ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ද ඇය සතුය. තමන්ට වාසිදායක නොවන දේශපාලන වටපිටාවක් ඇති මේ මොහොතේදි ඇය තමන්ට තිබෙන මේ බලය පාවිච්චි නොකරන තත්ත්වයක සිටියත්, තමන්ගේ වාසියට යොදාගත හැකි අර්බුදකාරි තත්ත්වයක් ඇතිවුවහොත් තමන්ට තිබෙන බලය පාවිච්චි නොකරනු ඇතැයි සිතිය නොහැකිය.
ජනවාර්ගික ප්රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම නව ආණ්ඩු න්යාය පත්රයේ අංක එකට වැටී ඇති කාරණය වී ඇති බවක් ද පෙනී යයි. එහෙත් රටේ විධායක බලය හා ත්රිවිධ හමුදාවලට අණදෙන බලය ප්රතිපක්ෂයක සිටින ජනාධිපතිනිය අත තිබෙන තත්ත්වයක් තුළ ආත්ම විශ්වාසයකින් යුතුව සාම කථාවලට යාමේ හැකියාවක් නව ආණ්ඩුවට තිබිය නොහැකිය. ඒ නිසා අන් සියල්ලටම ප්රථම ජනාධිපතිනිය බලරහිත කළ යුතුයි කියන තැනකට ඒමට නව ආණ්ඩුවට සිදුවී තිබෙන බව ද පෙනේ.
ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට එය ජයගැනීම ජනාධිපතිවරයෙකු බලරහිත කිරීමට ව්යවස්ථානුකූලව තිබෙන ප්රධාන මාර්ගයයි. ඒ සඳහා ඔප්පු කළහැකි බරපතල චෝදනා සහිත චෝදනා පත්රයක් තිබිය යුතුය. ඊට අතිරේකව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ද තිබිය යුතුය. ඒ කොන්දේසි දෙකම සම්පූර්ණ වුවත්, ශ්රේෂ්ඨාධිකරණය ජනාධිපතිනියට මනාප ලෙස හැසිරවිය හැකි තත්ත්වයක පවතී නම්, අනෙකුත් සියලු කොන්දේසි සම්පූර්ණ වී තිබෙන අවස්ථාවක පවා දෝෂාභියෝගයක් බලරහිත කිරිමේ හැකියාව ශ්රේෂ්ඨාධිකරණය සතුව පවතී. ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි තමාගේ සමීප විශ්වාසවන්තයෙකු අගවිනිසුරු ධුරයට ගෙනාවේ අනෙකුත් සියලු දේශපාලන වුවමනාවන්ට අතිරේකව තමාට එරෙහිව කවදා හෝ දෝෂාභියෝගයක් ඉදිරිපත් වුවහොත් එය නිරර්ථක කරගැනීමේ අරමුණින් වන බවට සැකයක් තිබිය නොහැකිය. මේ නිසා ජනාධිපතිනිය බලරහිත කිරිමේ අරමුණ ජයගැනීම සඳහා ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නට ප්රථම අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් මගින් ඔහු එම තනතුරෙන් ඉවත් කොට ශ්රේෂ්ඨාධිකරණය දේශපාලන බලපෑමෙන් තොරව ස්වාධීනව ක්රියා කරන තැනකට ගැනීම අත්යවශ්ය කොන්දේසියක් ලෙස ක්රියා කරයි.
අගවිනිසුරුවරයාට එරෙහිව විපක්ෂය දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබුණද ඒ සමග පාර්ලිමේන්තුවේ ඇතිවූ විවිධ අර්බුද හේතු කොටගෙන පාර්ලිමේන්තුවට ඒ ගැන පරික්ෂණයකට යාමට හැකිවූයේ නැත. අගවිනිසුරුවරයාට අද දක්වා ධුරයේ රැඳී සිටීමට හැකිවූයේ ඒ නිසාය. අගවිනිසුරුවරයාට එරෙහිව විපක්ෂයෙන් දෝෂාභියෝගයක් ඉදිරිපත් වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ නඩු කටයුතුවලින් අගවිනිසුරුවරයා ඉවත් කොට තබන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂමේ මහ කොමසාරිස්වරිය ශ්රී ලංකාවේ ආණ්ඩුව වෙත දෑනුම් දිමක් කර තිබුණත්, අගවිනිසුරුවරයා එවැනි නඩු ප්රශ්නවලට සම්බන්ධවීමෙන් වැළකී සිටියේ ද නැත. ඒ වෙනුවට එවැනි නඩු පොදු පෙරමුණේ වාසියට හේතුවන ලෙස පාලනය කරන ප්රතිපත්තියක් පවත්වාගෙන යාම මගින් අගවිනිසුරුවරයා විධායකයට ඇති දේශපාලන පක්ෂපාතීත්වය කළ එළියේම ප්රදර්ශනය කළේය.
පොදු පෙරමුණ මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු අගවිනිසුරුවරයා සිය තනතුර අත් හරිනු ඇතැයි ජයග්රාහී පක්ෂයේ අපේක්ෂාව වී තිබුණත් එය එසේ සිදු නොවීය. ඒ නිසා ජනාධිපතිනියට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයකට ප්රථම අගවිනිසුරුවරයාට එරෙහිව නැවත දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත්වී තිබේ.
ආණ්ඩු පක්ෂය අපේක්ෂා කරන ආකාරයට ජනාධිපතිනියට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් මගින් ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට සමත් වෙතොත්, ආණ්ඩු ක්රම ව්යවස්ථාව අනුව ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ප්රකාශයට පත් කොට තුන්මසක් ගතවීමට පෙර ආණ්ඩුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත්තේය.