පාර්ලිමේන්තු ක්රමයක් තුළ බලයේ සිටින ආණ්ඩු පක්ෂෂයකට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වීමට හැකිවා සේම ආණ්ඩු පක්ෂෂයේ පිරිසක් විපක්ෂෂයට එකතුවීම නිසා ආණ්ඩු පක්ෂෂයට තිබෙන බහුතර බලය අහෝසි වන අවස්ථා ද තිබිය හැකි ය.
එවැනි තත්ත්වයක් නිසා රටක් අස්ථාවර වන්නේ නැත. රටක් අස්ථාවර වන්නේ ආණ්ඩු පක්ෂෂයට තිබෙන බහුතර බලය අහිමි වූ අවස්ථාවක තවදුරටත් බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමට ක්රියාකරයි නම් පමණ ය.
ජනාධිපතිනිය ප්රජාතන්ත්රවාදී වත් පිළිවෙත් ගරු කරන ප්රඥාවන්ත නායිකාවක් වී නම් මුස්ලිම් කොංග්රසයේ රවුෆ් හකීම් ප්රමුඛ කණ්ඩායම විපක්ෂෂයට එකතුවීමත් සමග තවදුරටත් පොදු පෙරමුණට ආණ්ඩු පක්ෂෂයක් ලෙස ක්රියා කිරිමේ හැකියාවක් නැති බව තේරුම් ගනිමින් විරුද්ධ පක්ෂෂයට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදිය යුතුව තිබුණි. එවැනි ප්රජාතන්ත්රවාදී හා නම්යශීලී පිළිවෙතක් ජනාධිපතිනිය අනුගමනය කළේ නම් ජනාධිපතිනියගේ ජනාධිපතිකම ආරක්ෂෂා වන්නට ඉඩ තිබුණා සේ ම ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ අරමුණු කොටගත් ශක්තිමත් සර්වපාක්ෂෂික තාවකාලික ආණ්ඩුවක් ද ඇති වී රටේ තිබෙන අස්ථාවරභාවය අහෝසි වන්නට ඉඩ තිබුණි.
විශ්වාස භංග යෝජනාව ජය ගැනීමෙන් පසුව ගොඩනගන්නට යන්නේ සර්ව පාක්ෂෂික ආණ්ඩුවක් බවත් එහි එක් ප්රධාන අරමුණක් වන්නේ විධායක ජනාධිපති ක්රමය ඇතුළු රටට අවශ්ය ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාව ප්රතිසංස්කරණය කිරීම බවත් එහි දෙවැනි අරමුණ කල්පවත්නා සාමයක් ඇති කිරීම සඳහා ක්රියා කිරීම බවත් එහිවිරුද්ධ පක්ෂෂය කල්තබා රටට ප්රකාශ කර තිබුණි. විපක්ෂෂය අපේක්ෂෂා කළ ඒ ගමනට ජනාධිපතිනිය ඉඩ හැරියේ නම් රට අස්ථාවර භාවයකට යාමෙන් තොරව ව්යවස්ථා ප්රතිසංස්කරණ ඉලක්ක වඩා ඵලදායී ආකාරයකින් සම්පූර්ණ කරගත හැකි තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි.
එහෙත් ජනාධිපතිනිය විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ දි ඒ දෙස බැලූවේ රට මුල් කරගෙන නොව තමා මුල් කරගෙන ය. එවැනි වැඩ පිළිවෙළකට ඉඩ දුනහොත් ඔවුන් තමාගේ තටු කපන ප්රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි බියට පත් ඇය පාර්ලිමේන්තුවේ සැසිවාරය අත්තනෝමතික ලෙස කල් දැමීමෙන් නොනැවතී ජනමත විචාරණයක් පැවැත්වීමට ද පියවර ගත්තා ය.
රටට අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් අවශ්ය ද නැද්ද යන ප්රශ්නය ඉදිරියට ගන්නා ජනමත විචාරණයක දි තමාට පහසු ජයක් අත්කරගත හැකි වනු ඇතැයි කල්පනා කරමින් එවැනි ජයග්රහණයකින් පසුව පාර්ලිමේන්තුවේ අහිමි වී තිබෙන වැඩි බලය නොසලකා සිය හිතුවක්කාරි වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාමට අවශ්ය පදනමක් ලබාගැනීමට මේ ජනමත විචාරණයේ සැබෑ අරමුණ වී තිබෙන බව පෙනේ.
පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමීමේ අභිමත බලයක් ජනාධිපතිනියට ඇතත් ඇය ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට ගරු කරන නායිකාවක් නම් තමන්ට ලැබී තිබෙන අභිමත බලය හිතුවක්කාරි ලෙස පාවිච්චි කිරිමෙන් වැළකී සිටීමේ යුතුකමක් ඇයට තිබුණි. අනෙක් අතට ජනමත විචාරණයකට යනවා නම් යා යුතුව තිබුණේ ද පිළිගත් ක්රමයට අනුකූලව ය.
තමා පමණක් නොව පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමීමේ බලය මීට පෙර ප්රේමදාස ජනාධිපතිවරයා විසින් ද දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ පාවිච්චි කළේ යයි කියන කථාවේ ද ඇත්තක් නැත.
ප්රේමදාස ජනාධිපතිවරයා පළමුකොට දෝෂාභියෝගයට මුහුණ දුන්නේ ය. කථානායකවරයා තමාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් බාරගෙන ඇත්තේ අවශ්ය කරන අවම අත්සන් සංඛ්යාව නොමැතිව බව සැකහැර තේරුම් ගත් පසු ඔහු ආණ්ඩු පක්ෂෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා විශ්වාසය පළ කරවාගැනීමේ යෝජනාවක් සම්මත කරවා ගැනීමෙන් නොනැවතී ආණ්ඩු පක්ෂෂයේ මන්ත්රීවරුන් 116කගේ අත්සන් සහිත පෙත්සමක් කථානායකවරයාට බාරදිමට කටයුතු යෙදුවේ ය. කථානායකවරයා දෝෂාභියෝගයක් බාරගෙන ඇත්තේ අවශ්ය අවම අත්සන් සංඛ්යාව පවා නොමැතිව බවත්, ආණ්ඩු පක්ෂෂයේ 125ගෙන් 116ක් ම තමාට සිටින බවත් ඒ මගින් ඔහු ස්ථිර කළේ ය. ජනාධිපති ප්රේමදාස පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමුවේ ඉන් පසුව ය.
එහෙත් මෙම විශ්වාස භාගයේ දි ජනාධිපතිනිය ක්රියාකළ ආකාරය ඊට සහමුලින් වෙනස් ය. පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට පෙර කථානායක වෙත පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ අත්සන් සහිතව ඉදිරිපත් කරන පෙත්සමක් මගින් තවදුරටත් ආණ්ඩු පක්ෂෂයට බහුතර බලයක් ඇති බව සනාථ කිරීමට හැකි වී නම් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමුවේ ඉන් පසුව නම් ජනාධිපතිනියගේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමේ ක්රියාපිළිවෙල ද අයුක්ති සහගත නොවන්නට ඉඩ තිබුණි.
කවර පක්ෂෂයකටවත් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්ය බහුතර බලයක් නැති පාර්ලිමේන්තු සංයුතියක් පවතින මේ ව්යවස්ථාව යටතේ පමණක් නොව මැතිවරණ කොට්ඨාශ ක්රමයක් පැවති සෝල්බරී ව්යවස්ථාව යටතේ ද ඇති විය. 1960 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්රතිඵලය වූයේ කිසිම පක්ෂෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් ඇති වීම ය. ඒ නිසා 1960 ජූලිවල දි නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදු විය. එහෙත් 1960 මාර්තු මැතිවරණයෙන් ආසන 50ක් පමණක් හිමිකරගත් ශ්රීලනිප ජූලි මැතිවරණයෙන් ආසන 75ක් හිමිකර ගැනීමට සමත් වූ අතර එජාප හිමිකරගත් ආසන සංඛ්යාව මාර්තුවල දි 46ක් වී තිබී ජූලිවල දි එය 30 දක්වා පහත වැටුණ. ඒ නිසා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්ය බහුතර බලයක් නොලැබෙන අවස්ථා ඕනෑම ව්යවස්ථාවක් යටතේ ඇතිවිය හැකි ය. අනෙක් අතට විධායක ජනාධිපති ක්රමයෙන් ලැබී තිබෙන රැකවරණය නිසා කැපී පෙනෙන බහුතර බලයක් නැතිව වුවත් ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව මෙම ව්යවස්ථාවෙන් ලැබී ඇති බව ද අමතක නොකළ යුතු ය.
1994 මැතිවරණයේ දි පොදු පෙරමුණට ලැබුණේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්ද බලයක් පමණ ය. එහෙත් වතු කම්කරු කොංග්රසය ආණ්ඩුවට එකතු කර ගැනීමේ වැඩ පිළිවෙළ තුළ බලවත් අභියෝගයකින් තොරව එම ආණ්ඩුව සිය නිල කාලය සම්පූර්ණ කිරීමට සමත් විය.
1977 මැතිවරණයෙන් ලැබුණු හයෙන් පහේ පාර්ලිමේන්තු බලය ජනමත විචාරණයක් මගින් තවත් අවුරුදු 6ක කාලසීමාවකට දිර්ඝ කර ගැනීම නිසා දේශපාලන ක්රමයේ අති විශාල විකෘතියක් ඇතිවීය යන කථාව හා ඊට එජාප වගකිවයුතුය යන චෝදනාව බොරු කළ නොහැකි ය. එහෙත් එම ජනමත විචාරණයට එරෙහිව විරුද්ධ පක්ෂෂය මුළු ශක්තිය යොදා ක්රියා නොකළේ ය. එමගින් එකල විරුද්ධ පක්ෂෂය නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂෂ ද ඒ පාපයට වගකිව යුතු ය. අනෙක් අතට පාර්ලිමේන්තුවේ නිල කාලය තමන්ට තිබුණු වැඩි බලය මත පිහිටා දිර්ඝ කරගත්තේ එජාප පමණක් නොවන බව ද 70 බලයට පැමිණ ශ්රී ලංකා සමසමාජ කොමියුනිස්ට් සමගි පෙරමුණ ආණ්ඩුව ද ඔවුන් ඇතිකරන ලද නව ව්යවස්ථාවට මුවා වී පාර්ලිමේන්තුවේ අවුරුදු 05 නිල කාලය අවුරුදු දෙකකින් දිර්ඝ කරගත් බව ද අමතක නොකළ යුතු ය.
තිබෙන ව්යවස්ථාව වෙනස් කරගැනීමේ අවංක වුවමනාවක් තමන්ට තිබෙන බව ජනාධිපතිනිය පුන පුනා ප්රකාශ කරමින් සිටියත් ඒ සඳහා අවංක වුවමනාවක් තමන් තූළ ඇති බව සිය භාවිතයෙන් ඔප්පු කිරීමට තවමත් ඇය සමත් වී නැත. ඇය 94 දි බලයට ආවේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට සහාය අවශ්ය නම් එය ලබාදිමට තම පක්ෂෂය සූදානම් බව ගාමිණී දිසානායක මහතා ප්රකාශ කර තිබුණත් පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්ද බලයක් පමණක් තිබුණු තත්ත්වයක් යටතේ එම යෝජනාවට ඇය එකග වීමේ හැකියාවක් ද නොතිබුණු බවට සැකයක් තිබිය නොහැකි ය. එහෙත් විධායක ජනාධිපති ක්රමය අහෝසි කෙරෙන ලෙස නව ව්යවස්ථාවක් ඇති කර ගැනීමේ අවංක උවමනාවක් ඇයට තිබුණේ නම් 94 ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසරක් සම්පූර්ණ වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ අරමුණ වෙනුවෙන් මැතිරවණයකට මුහුණ දිමේ ඇත්ත හැකියාවක් ඇයට තිබුණි. එය එසේ වී නම් එක්තරා විශාල ප්රමාණයක බහුතර බලයක් දිනා ගැනීමේ හැකියාව ද ඇයට තිබුණි. එහෙත් ඒ හැකියාව තිබිය දි පළමු නිල කාලය අවසන් වන තෙක් ම විධායක ජනාධිපති ක්රමයේ රසය තිබූ ලෙස භුක්ති විඳින තත්ත්වයක් තුළ අවංක වෙනසක් ඇති කිරීමට තමන්ට තිබුණු හැකියාව ද අහිමි කරගත්තේ ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සමාජ ගිවිසුමකට සමාන ය. ව්යවස්ථාවක හැඩ තල කුමක් වුවත් පරමාධිපත්ය බලය තිබිය යුත්තේ මහජනයාට ය. මහජන නියේජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා පවත්වන ඡන්ද මහජනයා සිය පරමාධිපත්ය බලය ප්රකාශ කරන ප්රධාන මාර්ගයයි. මහජනයාගේ පරමාධිපත්ය බලය හා එය අභ්යාස කරන ප්රධාන මාර්ගයට ගරු නොකරන කිසිම නායකයකුට හෝ නායිකාවකට වඩා හොඳ ප්රජාතන්ත්රවාදී ව්යවස්ථාවක් ඇතිකළ හැකි වේ යයි සිතිය නොහැකි ය. ජනාධිපතිනිය තමා ප්රජාතන්ත්රවාදී නායිකාවක් නොවන බව වඩාත්ම ඔප්පු කර ඇත්තේ ද එම විෂය ක්ෂෙෂ්ත්රයේ දි ය. මැතිරවණ දූෂණවලට දිගින් දිගට අනුබල දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්රමයක් සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමකට වත් එකග නැති නායිකාවක් වඩා හොඳ ව්යවස්ථාවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද?