පොදු සමාජය කෙරෙන් ද, විරුද්ධ පක්ෂවලින් හා ආණ්ඩුවේ අභ්යන්තර බලවේග කෙරෙන් ද එල්ලවෙමින් තිබෙන පීඩනය හමුවේ ජනමතවිචාරණය ඉවත් කරගන්නා තත්ත්වයකට ආණ්ඩුව යොමුවෙමින් සිටින්නේ ය.
ඊට පසු මතුවන ප්රශ්නය ඊළගට කුමක් කරන්නේ ද යන්න යි. පාර්ලිමේන්තුව නියමිත දිනට කැඳවා නැවත මාස දෙකක් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමිය යුතුය කියන මතයක් ආණ්ඩුවේ සිටින අධානග්රාහී සුළු පිරිසක් අතර පවතී. එසේ නොවී සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට ඉඩ දෙතොත්, ජනාධිපතිනියට එරෙහිව පාර්ලිමේන්තුව නැගී සිටින තත්ත්වයකට යොමුවනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.
තමන්ගේ අභිලාෂය විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම බව ජනාධිපතිනිය ජාතිය අමතා ප්රකාශ කළා ය. එය ඇත්තක් නම්, ජනාධිපති ක්රමය අහෝසි කරන හෝ එම ක්රමය සංශෝධනය කරන පාර්ලිමේන්තු වැඩපිළිවෙළකට ජනාධිපතිනිය බිය විය යුතු නැත.
රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය අහෝසි කිරීමට අවශ්ය නම්, ඇයට කළ හැකි ව තිබෙන හොඳ ම දේ පාර්ලිමේන්තුවට නිදහසේ තීන්දු ගන්නා වැඩ පිළිවෙලකට ඉඩ හැරිම ය. තිබෙන ආණ්ඩුව ඒ ආකාරයෙන් පවත්වාගෙන යා හැකි බහුතර බලයක් නැති තත්ත්වයක් ඉදිරියේ තමන් කැමති අගමැතිවරයකු තෝරා පත්කර ගැනීමේ බලය පාර්ලිමේන්තුවට ලබාදිය හැකි ය. එසේ පත්වන අගමැතිවරයාට ඇති කළ යුතුව තිබෙන ප්රතිසංස්කරණ සඳහා සර්වපාක්ෂික මාදිලියේ ආණ්ඩුවක් ඇති කර ගැනීමට ඉඩ හැරිය යුතු ය.
ව්යවස්ථාදායක සභාවක් ඇතිකර ගනිමින් ස්වාධීන කොමිෂන් සභා පහ නීතිගත කිරීම, එම කොමිෂන් සභා පහේ හා සියලු කොමිෂන් සභාවල ක්රියාකාරිත්වය එම ව්යවස්ථාවදායක සභාව යටතට ගැනීම යන කාරණා සේ ම, යුද්ධය අවසන් කොට කල්පවත්නා සාමයක් ඇතිකර ගැනීම සඳහා කුමක් කළ යුතු ද, ජනාධිපති ක්රමය අහෝසි කළ යුතු ද නැත්නම් කවර ආකාරයට ප්රතිසංස්කරණය කළ යුතු ද යන කාරණා සේ ම, රටට අවශ්ය කරන හොඳම මැතිවරණ ක්රමය කුමක් ද යන කාරණා ද එහිදී පුළුල් ලෙස සලකා බලා ඒවා නීතිගත කිරීම සඳහා ක්රියා කළ යුතු ය.
ගොඩ නගනු ලබන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් වේ නම්, එය පක්ෂයකට හෝ දෙකකට සීමා නොකොට සර්වපාක්ෂික ස්වරූපයේ තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට හැකි වේ නම්, ඇති කරන වෙනස්කම් සඳහා පොදු එකගතාවක් ඇතිකර ගැනීම ද පහසු ය. වඩාත් ම වැදගත් දේ කුණුවෙමින් තිබෙන දේශපාලන ක්රමය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතු වන ලෙස ප්රතිසංස්කරණය කිරීම ය. මහජනයාට වගකියන නව දේශපාලන සදාචාරයක් ඇති කිරීම ය. ඒ අරමුණ සඳහා පටු පක්ෂෂ භේදවලින් තොරව පුළුල්ව කරුණු සලකා බලා තීන්දු ගන්නා තැනකට යොමුවීමට දේශපාලන පක්ෂෂවලට හැකි වේ නම් නව රටක් සඳහා වන නව ආරම්භයක් ඇති කරගැනීමට හැකිවනු නො අනුමාන ය.