ජනාධිපතිනිය පාර්ලිමේන්තුව කල් දමා ජනමත විචාරණයක් ඉදිරියට ගත්තේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව තිබූ විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය වීමට නියමිතව තිබූ අවස්ථාවක ය. ඉන්පසු නැවත ජනමත විචාරණය ආපස්සට ගත්තේ ද එම ජනමත විචාරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයකට ලක්වීමට නියමිතව තිබූ තත්ත්වයක් ඉදිරියේදි ය. එය එසේ වී නම්, එය පොදු පෙරමුණු ආණ්ඩුවට එරෙහිව පමණක් නොව එම ආණ්ඩුව මෙහෙයවන ජනාධිපතිනියට එරෙහිවත් මහජනයා සම්මත කරන විශ්වාසභංග යෝජනාවක් වන්නට ඉඩ තිබුණි.
ඇතිවන්නට නියමිතව තිබූ අතිවිශාල පරාජයක් හමුවේ ආපස්සට ගනු ලැබූ එම පියවර ජනාධිපති ලේකම් කාර්යාලය හඳුන්වා ඇත්තේ “නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ හා බලවේග අතර එකගතාවක් ගොඩනැගෙමින් තිබුණු තත්ත්වය ඉදිරියේ එය තවදුරටත් වර්ධනයවීමට ඉඩ ලබාදිම පිණිස කරනු ලැබූ කල් තැබීමක්” වශයෙනි.
තවදුරටත් එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“එසේ වුව ද වර්තමාන සංශෝධනය කිරීමට අවශ්ය වන්නා වූ විධි විධාන ගැන මෙම පක්ෂ එකගතාවකට පැමිණීමට අසමත් වෙතොත්, වර්ෂ 2001 ඔක්තෝබර් මස 18 වැනි දින නැවත ජනමත විචාරණය පවත්වා ජනතාවගේ අදහස් සෘජුව දැනගැනීමට ක්රියා කරගෙන යාමට ජනාධිපතිනිය පසුබට නොවන බව ය.”
ජනාධිපතිනිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මේ සියලු වැදි බණ කියන්නේ ඕනෑම ව්යවස්ථා සම්පාදක කාර්යයක් සිදුකළ යුතුව තිබෙන පාර්ලිමේන්තුව වසා තබාගෙන සිටින තත්ත්වයක් යටතේ ය. ජනමත විචාරණය ආපස්සට ගෙන ඇතත්, තවමත් පාර්ලිමේන්තුව විවෘත කර නැත. විවෘත කරන්නට යන බවක් ද පෙනෙන්නට නැත.
මෙය මහජන පරමාධිපත්යයට සීල් තැබීමකට සමාන ය. රට අතිවිශාල ආර්ථික බිඳ වැටීමකට යමින් තිබෙන අතර, රටේ අස්ථාවරභාවය ද වර්ධනය වෙමින් පවතී. රට ඉදිරියේ තිබෙන මෙම දැවැන්ත අර්බුදයට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න තීරණය කිරිමේ වගකීම තිබිය යුත්තේ පාර්ලිමේන්තුවට ය. එහෙත් ජනාධිපතිනිය විසින් ඉතාමත් ම හිතුවක්කාරි ආකාරයකින් පාර්ලිමේන්තුව වසා තබාගෙන සිටින තත්ත්වයක් යටතේ තිබෙන දෑවෙන ප්රශ්න කිසිවකට පිළියම් යෙදිය නොහැකි අරාජික තත්ත්වයක් රටේ පවතී.
ඇතිවී තිබෙන මෙම අර්බුදය ඉදිරියේ විපක්ෂයේ ප්රධාන දේශපාලන චරිත දෙක බවට පත්ව සිටින එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ද ධෛර්යවන්ත ක්රියාමාර්ගයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත.
විපක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති නම් හා ආණ්ඩු පක්ෂය අභ්යන්තරයේ ද විපක්ෂයට සහය දෙන කිසියම් විශාල පිරිසක් සිටී නම්, මෙම අර්බුදය තවදුරටත් කුණුවන්නට ඉඩ නොහැර ඊට ඵලදායක විසඳුමක් ලබාදිම ඔවුන්ගේ වගකීමකි. එසේ නැතිව ජනාධිපතිනිය පාර්ලිමේන්තුව වසා දමා ඇතැයි කියා හඬා වැළපෙන ප්රතිපත්තියක් මේ ප්රශ්නයට විසඳුමක් වන්නේ නැත.