එජාප නායකත්වයේ වෙනසක් ඇති කරගැනීමට එම පක්ෂ අභ්යන්තරයේ ඇතිවූ පෙළගැස්ම ප්රධාන විපක්ෂය වශයෙන් එම පක්ෂය තුළ ඇති කළ සසලතාව සේම, අයවැය පරාජය කිරිමේ අරමුණින් ආණ්ඩු පක්ෂයේ කිසියම් පිරිසක් විපක්ෂයට එකතුවීමට තිබූ සූදානම විසින් ආණ්ඩු පක්ෂය තුළ ඇති කරන ලද සසලතාව ද තවමත් අවසන් වී නැත. එජාපය තුළ ඇතිවූ කැරැල්ල එම පක්ෂය තුළ බිඳීමක් ඇති නොකළේ ය. එහෙත් අභ්යන්තර ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එම පක්ෂය තුළ ශක්තිමත් පෙළගැස්මක් ඇති කිරීමට එය හේතුවිය. රනිල් වික්රමසිංහ මහතාට පක්ෂ නායකත්වය අහිමි වී නැතත්, ඒකාධිපති නායකයකු ලෙස ක්රියා කිරීමට තිබුණු ඉඩකඩ සීමා කරන තත්ත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ. රටේ ප්රජාතන්ත්රවාදය ඇති කරන්නට පෙර ගෙදර ප්රජාතන්ත්රවාදය ඇති කිරීම මගින් යෝජිත ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා තිබුණු ඇප කැපවීම ඔප්පු කරන ලෙස රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින තත්ත්වයක් එම පක්ෂය තුළින් මතුවී තිබේ. එජාපයේ අභ්යන්තර ප්රජාතන්ත්රවාදය සඳහා වන සටන පොදු පෙරමුණේ පක්ෂ කෙරෙහි පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ කෙරෙහි ද ඉක්මණන් හෝ ප්රමාද වී බලපානු නොවැළැක්විය හැකිය.
එජාප නායකත්වයේ වෙනසක් ඇති වනවා දකින්නට පොදු පෙරමුණු ආණ්ඩුව පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ ද කැමති නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. තම තමන්ගේ පක්ෂ කෝණයෙන් මේ ව්යාපාර දෙක එසේ කල්පනා කිරීම ද සාධාරණය. එජාප නායකත්වයේ ඇති වන වෙනසක් එම පක්ෂයට ශීඝ්ර වර්ධනයක් ලබාදෙමින් ආණ්ඩුවේ පැවැත්ම දුර්වල කිරීමට හේතුවනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරයි. එජාපයේ වර්ධනයට හේතුවන කවර පියවරක්වත් තමන්ට වාසිදායක දෙයක් නොවන බව ජවිපෙරමුණ කල්පනා කිරීම ද ස්වාභාවිකය.
එහෙත් ප්රජාතන්ත්රවාදී නිදහස වෙනුවෙන් ඉක්මන් ආණ්ඩු වෙනසක් ඇතිවිය යුතු යැයි කල්පනා කරන බලවේගයන් එජාපය තුළ ප්රජාතන්ත්රවාදයට බර තබන වෙනසක් ඇති වනවා දකින්නට පක්ෂපාතව පවතින දේශපාලන ක්රමය තුළ ඊළගට ආණ්ඩු බලය ලැබීමේ හැකියාව ඇත්තේ එජාපයටය. එම පක්ෂය ආණ්ඩු බලයට එන්නට ප්රථම තවත් ව්යවස්ථානුකූලව ඒකාධිපති පාලනයකට ඉඩක් නැති ආකාරයට එම පක්ෂය තුළ අභ්යන්තර ප්රජාතන්ත්රවාදයට බර තබන වෙනසක් සමාජයට වාසිදායකය.
ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානයේ ප්රතිසංස්කරණ යෝජනා සියලු දේශපාලන පක්ෂ කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපා ඇති බව පෙනේ. අන් සියල්ලටම ප්රථම සියලු දෙනාගේ පිළිගැනීමට හා ගෞරවයට හේතුවන ලෙස දේශපාලන ක්රමය ප්රතිසංස්කරණය කළ යුතුය යන අදහස බොහෝ දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් පිළිගන්නා තත්ත්වයකට පැමිණ තිබේ. එය පිළිනොගන්නේ පොදු පෙරමුණු ආණ්ඩුවේ නිල නායකත්වය පමණය.
දේශපාලන ආයතන ක්රමය සේම බලය සඳහා වන තරගය ද සියලුදෙනාගේ පිළිගැන්මට හා ගෞරවයට හේතුවන ලෙස ප්රතිසංස්කරණය කිරිමේ හැකියාව තනි පක්ෂයකට තිබිය නොහැකිය. ඒ අරමුණ සාර්ථක කරගත හැකිවනු ඇත්තේ සියලු දේශපාලන පක්ෂ එක් තැන් කෙරෙන සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවකට පමණය. අනෙකුත් සියලු දේශපාලන පක්ෂ අතර එවැනි වැඩපිළිවෙළක් සඳහා කැමැත්තක් ඇත් නම් කැමත්තක් නැත්තේ පොදු පෙරමුණු ආණ්ඩුවේ නිල නායකත්වයට පමණක් නම්, පොදු පෙරමුණේ නිල නායකත්වය බැහැර කොට පොදු පෙරමුණෙන් සොයාගන්නා වෙනත් පිරිසක් සමග ඒ ගමනේ යෙදිමට අනෙක් පක්ෂවලට සිදුවන්නේය.
මෙවැනි ක්රියාවලියක් සඳහා රනිල් වික්රමසිංහ වැනි නායකයකු අනෙක් දේශපාලන පක්ෂවල පොදු පිළිගැනීමට හේතුවේද යන ප්රශ්නය එජාප තුළ බැරෑරුම් ලෙස මතුවිය. රනිල් වික්රමසිංහ වෙනුවට සියලු දෙනාට පිළිගත හැකි වෙනත් නායකයකු සොයා යන තත්ත්වයක් එජාපයේ අභ්යන්තරයෙන් මතුවූයේ එහි ප්රතිඵලයක් වශයෙනි.
ඒ නිසා එජාප නායකත්වයේ වෙනසක් ඇති නොවූවත් එම ක්රියාවලිය එම පක්ෂයේ අභ්යන්තර ප්රජාතන්ත්රවාදය පිළිබඳ බලවත් හඬක් මතු කිරිමෙන් නොනැවතී ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරිමේ ක්රියාවලියට තමා බාධාවක් වේ නම්, ඉන් පිටස්තරව ඉඳීමේ සහතිකයක් ලබාදිමට ද, රනිල් වික්රමසිංහ මහතාට සිදුවිය.
පොදු පෙරමුණු ආණ්ඩුවේ තත්ත්වය ශක්තිමත් හෝ ස්ථාවර නැත. ආණ්ඩුවේ අවාසියට හේතුවන වන පුංචි සිදුවීමක් ආණ්ඩුවේ බිඳ වැටීමකට ප්රමාණවත්ය. 2000 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ආණ්ඩු පක්ෂයට තිබුණේ නිල වශයෙන් වන වැඩි ඡන්දයක් පමණක් වුවත්, ආණ්ඩුව නිල වශයෙන් සම්බන්ධ නොවී සිටියත් පාර්ලිමේන්තුවේ සිටින දෙමළ දේශපාලන පක්ෂ සියලු දෙනා පිටතින් සිට ආණ්ඩුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. එහෙත් දැන් තත්ත්වය ඊට වෙනස්ය. අද පිටතින් සිට ආණ්ඩුව ආරක්ෂා කරන කිසිවෙක්ම නැත. අභ්යන්තරයේ ඇතිවන හතර දෙනෙකුගේ වෙනසක් ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය ඇද දැමීමට ප්රමාණවත්ය. පාර්ලිමේන්තුවේ යමක් සිදුවුණත් 2006 වසර දක්වා තමා මේ රටේ ජනාධිපති බව ජනාධිපතිනියට ප්රකාශ කරන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය.
එහෙත් පාර්ලිමේන්තුවේ සුළු වෙනසක් මහා වෙනසක ආරම්භයක් විය හැකිය. වෙනසක් ඇති කිරීම සඳහා ඉදිරියට එන අයගේ ගණන හය හතක් පමණක් විය හැකි වුවත්, ඒ ගණන ඇති කරන පරාජයක්, ඊළග අදියරයේ එකතු කර දෙන පිරිස තිහ හතළිහක් විය හැකිය. නීති සම්පාදනය කරන්නේ ජනාධිපති නොව, පාර්ලිමේන්තුවයි. මුදල් පාලනය මුළුමණින් තිබෙන්නේ ද පාර්ලිමේන්තුව අතේය. පවතින ක්රමය තුළ විධායක ජනාධිපති කොතරම් බලවත් වුවත්, පාර්ලිමේන්තුවේ අතිවිශාල පිරිසක් එක හඬින් ජනාධිපති ක්රමයට එරෙහිව නැගී සිටින්නේ නම්, විධායක ජනාධිපති ක්රමය ඇතුළු සමස්ත දේශපාලන ක්රමය ප්රතිසංස්කරණය කිරිමේ බලය පාර්ලිමේන්තුව සතුය. සමහරවිට දැන් ශ්රී ලංකාව හෙමින් හෙමින් ගමන් කරමින් සිටින්නේ ද එවැනි තැනකට විය හැකිය.