ජනවාර්ගික ආවේග පාලනය කිරීම

May 13, 2001
Publication:
Managing ethnic, religious and linguistic passions is Sri Lanka's greatest challenge, and adding a Muslim conflict to the Tamil one would bring chaos. The editorial argues that no post-independence ruler has shown the ability to do so, recalling how the UNP blamed the JVP for Black July 1983, and criticising the President for implicitly blaming the UNP, the JVP and the railway strike for the Mawanella violence.

ශ්‍රී ලංකාවේ පවත්නා වාර්ගික, ආගමික හා භාෂාමය ආවේග සාර්ථක ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ශ්‍රී ලංකාව මුහුණ දි තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකි ය. ජනවාර්ගික ප්‍රශ්නය මුල් කරගත් පහසුවෙන් විසඳුමකට යා නොහැකි විනාශකාරි යුද්ධයක් ඇතිවී තිබෙන්නේ ද එහි ඵලයක් වශයෙනි. රට කෙරෙහි අතිවිශාල විනාශයක් ඇති කිරීමට හේතුවී තිබෙන දෙමළ වාර්ගික ප්‍රශ්නයට පවා විසඳුමක් ඇති කරගත නොහැකිව සිටින අවස්ථාවක ඒ අතරට මුස්ලිම් වාර්ගික ප්‍රශ්නයක් ද එකතු කරගනිමු නම්, ශ්‍රී ලංකාව අවුල් ජාලාවක් බවට පත්වනු නොවැළැක්විය හැකි ය.

විවිධ ජන කණ්ඩායම්වලට අයත් මහජනයාගේ විවිධ ආවේග මේ ගැටලුවලට හේතුවී තිබිය හැකි වුවත්, එම ගැටුම් පහසුවෙන් පාලනය කළ නොහැකි සංකීර්ණ අර්බුද බවට පත්ව ඇත්තේ පාලකයන්ගේ වරදිනි. වාර්ගික ආගමික හා භාෂාමය ආවේග මත වහල් වී සමාජ කණ්ඩායම් ක්‍රියාකරන අවස්ථාවලදි ඒවා සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට තිබෙන හැකියාව සාර්ථක රාජ්‍ය පාලකයකු සඳහා තිබිය යුතු වැදගත් ම සුදුසුකමක් වුවත්, නිදහසෙන් පසු අද දක්වා බිහිවූ කිසිම රාජ්‍ය පාලකයෙක් තමන්ට ඒ සඳහා හැකියාවක් ඇති බව අද දක්වා සනාථ කර නැත.

වාර්ගික, ආගමික හෝ භාෂාමය ආවේග ගැටුම් ඇතිවන අවස්ථාවලදි ඒවා සමග තමන්ගේ දේශපාලන වුවමනාවන් සම්බන්ධ කරගන්නට යෑම ඉතා භයානක ය. 83 කළු ජූලියේ දි එජාප ආණ්ඩුව තමන්ගේම ගෝල බාල පිරිසක් වගකිවයුතු එම සිද්ධියේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවූ ආකාරය රටට අමතක නැත. මාවනැල්ල ඛේදවාචකය ගැන ජනාධිපතිනිය කර තිබෙන අර්ථකථනය ද ඊට වෙනස් නැත. ඇය එහි වගකීම අනියම් ලෙස එජාප හා ජවිපෙ මත පැටවීමෙන් නොනැවතී දුම්රීය වැඩ වර්ජනය ද ඊට ඈඳ ගෙන තිබේ.

සෘජු හා අවංක ප්‍රතිපත්තියක් නැති කිසිම රාජ්‍ය පාලකයෙකුට ජනවාර්ගික ආවේග සාර්ථක ලෙස පාලනය කළ නොහැකි ය. කළ හැකිවනු ඇත්තේ එය තව තවත් අවුල් කිරීම පමණ ය. බල්ලන් සමග නින්දට ගිය විට මැක්කන් සමග නැගී සිටින්නට සිදුවන බවට කියමනක් පවතී. දැන් පොදු පෙරමුණු ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ ද ඒ දේ ය.