රනිල් වික්රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් නොවේ නම්, යටත් පිරිසෙයින් විපක්ෂ නායකත්වයෙන්වත් ඉවත් කළ යුතුය යන අදහස එජාප තුළ ප්රබල ලෙස මතුවූයේ අය වැය තුන්වැනි වර කියවීමේදි, අයවැය පරාජය කොට, ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ ඇති කිරීම ඉලක්ක කොටගත්, සර්වපාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට තිබුණු හැකියාව රනිල් වික්රමසිංහ මහතා විසින් හිතාමතාම කඩාකප්පල් කළේය යන අදහස පෙරදැරි කරගෙනය.
පොදු පෙරමුණේ කිසියම් පිරිසකගේ ද සහාය ඇතිව අය-වැය පරාජය කිරිමේ ඇත්ත හැකියාවක් ඇතැයි කියන මතයක් එජාපයේ මන්ත්රී කණ්ඩායමට අයත් කිසියම් පිරිසක් තුළ තිබුණි. කරු ජයසූරිය, ගාමිණී අතුකෝරාල, රාජිත සේනාරත්න, ගාමිණී ජයවික්රම පෙරේරා, රවි කරුණානායක, ගාමිණී ලොකුගේ යන අය එම මතය දැරූ ප්රමුඛ අය වූ අතර, ඔවුන් ඒ ගැන රනිල් වික්රමසිංහ මහතා සමග ද, කතා කොට තිබුණි.
මේ වනවිට තොණ්ඩමන්ගේ කම්කරු සංගමය සිටියේ ද ආණ්ඩුව සමග මතභේද ගොඩ නගා ගත් තත්ත්වයකය. තොණ්ඩමන් මහතා රනිල් වික්රමසිංහ ඇතුළු තෝරාගත් එජාප නායකයන් පිරිසක් සමග සාකච්ඡා වට කිහිපයකට සහභාගි වී තිබුණි. තමන්ගේ සමහර ප්රශ්න ජනාධිපතිනිය සමග කතා කොට බේරාගැනීමේ හැකියාවක් ඇතත්, තමන්ට පොදු පෙරමුණ සමග කටයුතු කිරීම හොඳටම එපා වී තිබෙන බවත්, එජාපය කැමති ඕනෑම අවස්ථාවක ඇමතිකම අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට වුවත් තමන් සූදානම් බවත්, තොණ්ඩමන් මහතා ප්රකාශ කර තිබුණු අතර, ඒ සඳහා එජාපය විසින් සම්පූර්ණ කළයුතු කොන්දේසි ගණනාවක් ද ඉදිරිපත් කර තිබුණි.
මතුවී තිබුණු එම වාසිදායක තත්ත්වය ප්රයෝජනයට ගනිමින් ආණ්ඩුව පරාජය කිරීමට අවශ්ය ඉතිරිඡන්ද සංඛ්යාව පොදු පෙරමුණේ අභ්යන්තරයෙන් සොයා ගත යුතුය යන්න, අයවැයේදි ආණ්ඩුව පරාජය කළ යුතුය යන අදහස දරන ලද අයගේ මතය විය. අයවැයේදි ආණ්ඩුව පරාජය කිරිමේ අදහස රනිල් වික්රමසිංහ මහතා ද අනුමත කළේය. තොණ්ඩමන්ගේ ඡන්ද හතර බලා ගැනීමේ වගකීම තමන් වෙත පවරා ගනිමින් අවශ්ය කරන අතිරේක ඡන්ද සංඛ්යාව පොදු පෙරමුණෙන් සොයා ගැනීමේ වගකීම රනිල් වික්රමසිංහ මහතා කරු ජයසූරිය හා ගාමිණී අතුකෝරාල යන අයට භාර කළේය.
ඒ අවස්ථාව වනවිට ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අවශ්යතාව පිළිබඳ කෙරෙමින් තිබුණු සංවාදය පොදු පෙරමුණේ සමහර අංශ වෙත ද ගලා ගොස් තිබුණි. ඒ නිසා ආණ්ඩුව පරාජය කිරිමේ අතිරේක ඡන්ද සංඛ්යාව සොයා ගැනීම අමාරු දෙයක් නොවීය. රාජිත සේනාරත්න, රවි කරුණානායක, ගාමිණී ජයවික්රම පෙරේරා වැනි පිරිසක් වෙන් වෙන්ව තෝරා ගත් මන්ත්රීන් පිරිසක් සමග සාකච්ඡා කොට අවශ්ය අවම ඡන්ද සංඛ්යාව සොයා ගැනීමට සමත් විය. තිදෙනෙක් අයවැය ඡන්දය පැවැත්වෙන උදයේ විපක්ෂයට එකතුවීමට සහතික විය. තවත් කැබිනට් ඇමතිවරයෙක් ඡන්දය පැවැත්වෙන දින පාර්ලිමේන්තුවට ඒමෙන් වැළකී සිටීමට සහතික විය.
ඡන්දය පැවැත්වීමට දින දෙකකට පෙර අයවැය පරාජය කරන්නට පෙර තම පක්ෂය බැරෑරුම් ලෙස කරුණු සලකා ක්රියාකරන පක්ෂයක්ය යන සංඥාව මහජනයාට ලබාදිම පිණිස අගවිනිසුරුවරයාට එරෙහිව කෙටුම්පත් කොට ඇති දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු කණ්ඩායම ලවා අත්සන් කරවා කතානායකට භාරදිම සුදුසු බව තීරණය කොට ඒ සඳහා අවශ්ය අනුමැතිය රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. එම සාකච්ඡාවට සහභාගි වූ කරු ජයසූරිය, ගාමිණී අතුකෝරාල හා රාජිත සේනාරත්න යන අය පුදුමයට පත්කරමින් එය මේ අවස්ථාවේදි වහාම කළයුතු නැති බව ප්රකාශ කර තිබේ. එහෙත් ඒ සඳහා සාධාරණ හේතු දැක්වීමක් කිරීමට රනිල් වික්රමසිංහ මහතා සමත් වී නැත.
ඉන්පසු රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා සමග එම දෝෂාභියෝග යෝජනාව පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමක් සිදුවී තිබේ. තමාට එම යෝජනාවට සම්බන්ධ වීමේ හැකියාවක් නැති බවත්, යෝජනාව ඉදිරියට ගෙන ඒම ප්රමාද කිරීම ගැන මන්ත්රී කණ්ඩායමේ විශාල පිරිසක් අතර සැකයක් පවත්නා බවත්, ඒ ගැන ඉක්මන් තීන්දුවක් නොගතහොත් නරක ප්රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බවත් තිලක් මාරපන මහතා රනිල් වික්රමසිංහ මහතාට පවසා තිබේ.
ඉන්පසු රනිල් වික්රමසිංහ මහතා අගවිනිසුරුවරයාට එරෙහිව කෙටුම්පත් කර ඇති යෝජනා සති තුනක කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වී ඇතත්, මතුවී තිබුණු සැකසහිත හැගීම් දුරුකිරීමට එම සහතිකය ප්රමාණවත් වී නැත.
අයවැයට පෙර දින මධ්යම රාත්රිය වන තෙක් එම ක්රියාවලියට සම්බන්ධ සියලු දෙනාගේ මතය වී තිබුණේ සැලසුම් කර තිබුණු ආකාරයට පසුදින පැවැත්වෙන අයවැයේදි ආණ්ඩුව පරාජය වන බවයි. පොදු පෙරමුණෙන් එකතු වන කිහිපදෙනා හා තොණ්ඩමන්ගේ හතරදෙනා එදින උදේ ආහාරය සඳහා කරු ජයසූරිය මහතාගේ නිවසට ඒමටත්, උදය ආහාරයෙන් පසුව ඔවුන් එජාප මන්ත්රී කණ්ඩායමත් සමග පාර්ලිමේන්තුවට ගොස් විපක්ෂයේ අසුන් ගැනීමටත් තීරණය වී තිබුණි. තොණ්ඩමන්ගේ එකගත්වයක් ලැබී නැති බව මේ සියලු දෙනාට රනිල් වික්රමසිංහ මහතා දැනුම් දෙන ලද්දේ මධ්යම රාත්රියේය. තොණ්ඩමන්ගේ ඡන්ද හතරේ වගකීම භාරගන සිටි පුද්ගලයා වශයෙන් එය මෙසේ වූයේ කෙසේද, ඔවුන් නොඑන බව මධ්යම රාත්රිය වන තෙක් දැනුම් දිමෙන් වැළකී සිටියේ ඇයිද යන ප්රශ්න ඇති කිරීමට හේතුවිය.
ඉන්පසු පොදු පෙරමුණෙන් සම්බන්ධවීමට සිටි සියලු දෙනාට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒ බව දැනුම් දුන් විට, ඔවුන් පෙරළා ප්රකාශ කර ඇත්තේ රනිල් වික්රමසිංහ මහතා එම පක්ෂයේ නායකයාව සිටින තෙක් ලැබෙන ප්රතිඵලය ඊට නොවෙනස් වනු ඇති බවය.
අයවැය ඡන්දය පැවති දින රාත්රියේ රනිල් වික්රමසිංහ මහතා ඔස්ලෝ බලා ගිය අතර, පසුදින තොණ්ඩමන් මහතාට සමීප එජාප මන්ත්රීවරයෙක් සිදුවූයේ කුමක්දැයි තොණ්ඩමන් මහතාගෙන් කරුණු විමසීමක් කළේය. ඔහු පුදුමයට පත් කරමින් තොණ්ඩමන් කියා ඇත්තේ අයවැයේදි ආණ්ඩුව පරාජය කරන වැඩපිළිවෙළට එකතු වන ලෙස රනිල් වික්රමසිංහ මහතා කිසිවිටකත් තමාගෙන් ඉල්ලා නොසිටි බවත්, තමන් ඉදිරිපත් කරන ලද කොන්දේසි ගැනවත් බැරෑරුම් ලෙස කිසිවිටෙකත් සාකච්ඡා නොකළ බවත්ය.
තොණ්ඩමන් මහතාගෙන් ලැබුණු එම පිළිතුර අයවැය පරාජය කිරීමට උනන්දුවෙන් ක්රියා කළ මන්ත්රී කණ්ඩායම තුළ අතිවිශාල කුකුසක් ඇති කිරීමට හේතුවිය. සත්යය එය නම්, තොණ්ඩමන්ගේ ඡන්ද හතර සහතික කරමින් තොණ්ඩමන් සමග පක්ෂයේ වෙනත් කිසිවකු සාකච්ඡා නොකළ යුතු බවට තහංචියක් ද පනවමින් අතිරේක වශයෙන් අවශ්ය ඡන්ද සොයා ගන්නා ලෙස ඉල්ලා සිටියේ ඇයි? අනෙක් අතට අතිරේක වශයෙන් අවශ්ය වී තිබූ ඡන්ද සොයාගෙන ඒ බව රනිල් වික්රමසිංහ මහතාට දැනුම්දිමෙන් පසුත් තොණ්ඩමන් පිළිබඳ යථාර්ථය ඔවුන්ට ප්රකාශ නොකළේ ඇයි? මේ පිරීසේ අදහස වන්නේ තොණ්ඩමන්ගේ සහාය නොලැබෙන බව කල්තියා දැනගන්නට ලැබුණේ නම් තොණ්ඩමන්ගේ සහාය නැතිව වුවත් අයවැය පරාජය කිරීමට අවශ්ය අතිරේක ඡන්ද ප්රමාණය සොයා ගැනීමේ හැකියාවක් තිබූ බව ය.
මේ අතර අයවැය පරාජය කිරීම සඳහා විපක්ෂෂයට එකතුවීමට නියමිතව සිටි පොදු පෙරමුණට සම්බන්ධ පිරිස ද රනිල් වික්රමසිංහ මහතා මුල් කොටගෙන කෙරෙන කිසිම ගනුදෙනුවකට මින්පසු තමන් සම්බන්ධ නොවන බවත් ඔහුගේ නායකත්වයෙන් පිටස්තරව යමක් සිදුවේ නම් වඩා විශාල පිරිසක් එකතුවනු ඇති බවත් එම පිරිසට දැනුම් දුන්නේ ය.
මන්ත්රීවරු මෙම අත්දැකීම ආශ්රයෙන් මීට පෙර අත්දකින්නට ලැබුණු අත්දැකීම් ද කතා කරන තත්ත්වයකට යොමු වූහ. දොස්තර රාජිත සේනාරත්න මහතා මීට පෙර ද අවස්ථා දෙකක දි ආණ්ඩුව පරාජය කිරීමට අවශ්ය අඩු මන්ත්රී සංඛ්යාව වික්රමසිංහ මහතාට ලබා දි තිබුණත් වික්රමසිංහ මහතා කවර හේතුවක් නිසා හෝ ඒ කිසිම අවස්ථාවක් ප්රයෝජනයට ගෙන නැත. සිය නායකයා එසේ කරන්නේ ඇයිද යන්න සියලු දෙනා ඉදිරියේ තිබුණු නොවිසඳුණු ප්රහේලිකාවක් විය.
අවසානයේ ඔවුන් ඇතිකරගත් නිගමනය වූයේ ආණ්ඩුව පරාජය කිරීමට අවශ්ය නම් පළමු කොට තාවකාලික වශයෙන් හෝ නායකත්වයෙන් ඉවත් වීමට සිය නායකයා කැමති කරවාගත යුතු බව ය. ඒ සඳහා වන ව්යාපාරයක් ප්රජාතන්ත්රවාදී ආකාරයකින් ඉදිරියට ගෙනයාමත් අන් සියලු දෙනාට කතා කරන්නට පෙර එය රනිල් වික්රමසිංහ මහතාට දැනුම්දිම සඳහා රනිල් වික්රමසිංහ මහතාගේ සමීපතමයින් දෙදෙනා ලෙස සැලකුණු මලික් සමරවික්රම හා නලීන් ප්රනාන්දු වෙත දැනුම් දිමටත් තීරණය විය.
මලික්ට හා නලීන්ට මෙම දැනුම්දිම කර තිබෙන්නේ දොස්තර රාජිත සේනාරත්නගේ නිවසේදි ය. ඔවුන් ඒ බව ඔස්ලෝවල සිටින රනිල් වික්රමසිංහ මහතාට දැනුම් දුන්නේ ය. තත්ත්වය බැරෑරුම් බව තේරුම් ගත් රනිල් වික්රමසිංහ මහතා සිය සංචාරය අතරමග නවතා වහාම ශ්රී ලංකාව බලා ඒමට තීරණය කළේ ය.
කට්ටිවාදයකින් තොරව සියලු මන්ත්රීවරුන්ට මේ බව දැනුම් දිම මෙම ව්යාපාරයේ පෙරමුණ ගෙන සිටි මන්ත්රීවරුන් කීප දෙනාගේ අදහස වුවත් බොහෝ මන්ත්රීවරුන් සිංහල අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්රටවලට හා ගමන් බිමන් ගොස් තිබුණු තත්ත්වයක් තුළ සියලු දෙනාට කතා කිරිමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණත් කතා කළ හැම කෙනෙක්ම නායකත්වයේ වෙනසක් ඇති කිරීම අත්යවශ්ය කොන්දේසියක් බව පිළිගත්හ.
21 වන දා රාත්රියේ කොළඹ නගරයේ නිවසකට රැස්වූ මන්ත්රීවරුන් 23 දෙනකු ප්රජාතන්ත්රවාදී ආකාරයකින් මේ අරමුණ ඉදිරියට ගෙනයාම සඳහා ක්රියාකළ යුතු ආකාරය ගැන සාකච්ඡා කළහ. මෙම රැස්වීමට සහභාගී වූ අය අතර, ගාමිණී අතුකෝරාල, විජමු ලොකු බණ්ඩාර, පී. දයාරත්න, එම්.එච්. මොහොමඩ්, ගාමිණී ලොකුගේ, දහම් විමලසේන, ගාමිණී ජයවික්රම පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාජිත සේනාරත්න, රවි කරුණානායක යන අය ද වූහ. අසනීපව සිටි තත්ත්වයක් තුළ කරු ජයසූරිය එම සාකච්ඡාවට සහභාගි නොවීය.
විජමු ලොකු බණ්ඩාර, කරු ජයසූරිය හා ගාමිණී අතුකෝරාල යන තිදෙනා පසු දින රනිල් වික්රමසිංහ මහතා හමුවී මතුවී තිබුණු තත්ත්වය පැහැදිලි කර දි ගරු කටයුතු ලෙස නායකත්වය අත්හැරිමේ අවශ්යතාව පැහැදිලි කළයුතු බවට එහිදී තීන්දු විය. පසු දින එම නියෝජිතයන් තිදෙනා රනිල් වික්රමසිංහ මහතා හමුවී දිර්ඝ ලෙස සාකච්ඡා කළහ. නායකත්වය අත්හැරිමට ඇති නොකැමැත්ත ද වික්රමසිංහ මහතා ඔවුන් වෙත අනියම් ලෙස ප්රකාශ කළේය.
පසුදින වික්රමසිංහ මහතා ද තෝරා ගත් මන්ත්රීවරුන් 16 දෙනකු තමන් වෙත කැඳවා ඔවුන් සමග සාකච්ඡා කළේය. ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවකින් තමා ආණ්ඩුව පරාජය කිරීමට ක්රියා කරන බවට ඔවුන්ට සහතික වුවත්, මතුවී තිබෙන අර්බුදය ගැන කිසිවක් කතා නොකළේය.
එදින රාත්රියේ නැවත රවි කරුණානායක මහතාගේ නිවසේ අනෙක් කණ්ඩායම රැස්වූ අතර, එදින කරු ජයසූරිය ද එම සාකච්ඡාවට සහභාගි විය. පවතින අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවන ලෙස පක්ෂ නායකයාගෙන් ඉල්ලා සිටින ලියවිල්ලකට අත්සන් ගැනීමට තීරණය කොට පැමිණ සිටි මන්ත්රීන් 23 දෙනාම ඊට අත්සන් තැබූහ.
රවි සමරවීර මහතා අත්සන් 23ක් සහිත එම ලියවිල්ල අත්සන් ගැනීම පිණිස මහින්ද රත්නතිලක මහතා වෙත ගෙන ගිය අවස්ථාවක රත්නතිලක මහතා එම ලියවිල්ල සමග එම ස්ථානයෙන් අතුරුදහන් වී එය රනිල් වික්රමසිංහ මහතා අතට පත් කළේය.
පසුදින විජමු ලොකු බණ්ඩාර මහතා නැවත රනිල් වික්රමසිංහ මහතා හමුවන්නට ගොස් ඇතිවී තිබෙන මේ තත්ත්වය තුළ විපක්ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත්කර ගනිමින් අර්බුදය සමතයකට පත්කර ගන්නා ලෙසත්, එසේ නොවේ නම්, ප්රධාන සංවිධායකයා වශයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම තමන්ට කැඳවන්නට සිදුවන බවත් ප්රකාශ කර සිටියේය. එහිදී රනිල් වික්රමසිංහ මහතා ඒ යෝජනාවට විරුද්ධ වන බවක් පෙන්වා නැත.
එදින සවස රනිල් වික්රමසිංහ මහතා ද තෝරාගත් මන්ත්රීන් පිරිසක් කැඳවා සාකච්ඡා කළේය. ඊට මන්ත්රීවරුන් 47 දෙනෙක් සහභාගි වී ඇති අතර, අනෙක් කණ්ඩායමට අයත් මන්ත්රීවරුන් 5 දෙනෙක් ද ඊට ඇතුළත් විය. රනිල් වික්රමසිංහගේ නායකත්වයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කළ යුතු යැයි කියන ලියවිල්ලකට එහිදී මහින්ද සමරසිංහ මහතා පැමිණ සිටි මන්ත්රීවරුන්ගෙන් අත්සන් ගනු ලැබූ අතර, මන්ත්රීවරු කිහිපදෙනෙකු ඊට අත්සන් තැබීම ප්රසිද්ධියේම ප්රතික්ෂේප කළහ.
එනම් තිබෙන ප්රශ්න ගැන කරුණු සොයා බලා සුදුසු පිළියම් නිර්දේශ කරනු පිණිස පක්ෂ නායකයා එහිදී සත් පුද්ගල කමිටුවක් පත් කළේය. විජමු ලොකු බණ්ඩාර, ටිරෝන් ප්රනාන්දු, කරුණාසේන කොඩිතුවක්කු, ඇලික් අලුවිහාරේ, පෙස්ටස් පෙරේරා, ජෝෂප් මයිකල් පෙරේරා හා අබ්දුල් කාදර් යන මන්ත්රීවරු 7 දෙනා එම කමිටුවට ඇතුළත් විය.
එදින රාත්රී කරු ජයසූරීය මහතාගේ නිවසට රැස්වූ අනෙක් මන්ත්රී කණ්ඩායම පසුදින රනිල් වික්රමසිංහ මහතා පත් කළ සත් පුද්ගල කමිටුව හමුවී තමන් දරන ස්ථාවරය පැහැදිලි කිරීමට එහිදී තීරණය විය.
පසුදින දහවල් මන්ත්රීවරුන් 23 දෙනා නගරාධිපති නිවසේ රැස්වූ එම සත් පුද්ගල කමිටුව හමුවී තමන් දරන ස්ථාවරය ඔවුන් වෙත දිර්ඝ ලෙස ප්රකාශ කර සිටියහ.
එදින රනිල් වික්රමසිංහ මහතා ද මධ්යස්ථ තත්ත්වයක සිටින තෝරාගත් මන්ත්රීවරුන් පිරිසක් තමන් වෙත කැඳවා ඔවුන් සමග සාකච්ඡා කළේය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ආර්.ඩී. සිරීසේන වැනි මන්ත්රීවරුන් ගණනාවක් මතභේදයට හේතුවී තිබෙන මන්ත්රීවරුන් 23 දෙනා එජාපයේ සාරය බව ප්රකාශ කරමින් ඔවුන් සමග එකගත්වයක් ඇතිකර ගැනීම අත්යවශ්ය බව ප්රකාශ කර තිබුණි. එදින රාත්රී මිලින්ද මොරගොඩ මහතා තෝරාගත් මන්ත්රීවරුන් 17 දෙනකු සඳහා රාත්රී භෝජන සංග්රහයක් පවත්වන ලද අතර, එම භෝජන සංග්රහයට සහභාගී වූ ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, තිස්ස අත්තනායක යන මන්ත්රීවරුන් පක්ෂයේ යහපත පිණිස නායකත්වයේ වෙනසක් ඇති කිරීම සඳහා තමන් ක්රියා කරමින් සිටින්නේ ඇයිද යන්න විස්තර කළ අතර, භෝජන සංග්රහයට සහභාගී වූ අනෙක් මන්ත්රී පිරිස මේ සියලු කරුණු ගැන මීට පෙර තමන් සමග සාකච්ඡා නොකිරීම ගැන ඔවුන්ට දොස් පවරමින් ඔවුන් දරන අදහස් තමන් ද අනුමත කරන බව ප්රකාශ කර සිටියහ.
එදින රාත්රී වික්රමසිංහ මහතා රාජිත සේනාරත්න මහතා තමන් වෙත කැඳවා ඔහු සමග දිර්ඝ සාකච්ඡාවක යෙදුණේය. නායකත්වය කෙරෙහි අතෘප්තියක් ඇතිකර ගැනීමට බලපෑ හේතු ඒ මහතා වික්රමසිංහ මහතා වෙත දිර්ඝ ලෙස විස්තර කර දුන්නේය. එදින රාත්රී වික්රමසිංහ මහතා ගාමිණී අතුකෝරාල මහතා ද තමන් වෙත කැඳවා සාකච්ඡා කළේය.
සත් පුද්ගල කමිටුව එදින රාත්රී 23 කණ්ඩායම පළ කරන අදහස් රනිල් වික්රමසිංහ මහතා වෙත දැනුම් දුන්නේය. අඩුම වශයෙන් කරු ජයසූරිය මහතා විපක්ෂ නායකත්වය ලබාගත යුතු බව ඔවුන්ගේ අදහස වන බව ද ප්රකාශ කළහ. එජාප ව්යවස්ථාව යටතේ ලබා දිය හැකි දෙයක් පමණක් ඔවුන්ට ලබාදිය හැකි බව වික්රමසිංහ මහතාගේ මතය විය.
26 වැනි දින දහවල් රනිල් වික්රමසිංහ මහතා 23 දෙනාගේ කණ්ඩායම හමුවීමට නියමිතය.
වික්රමසිංහ මහතාට තිබෙන ප්රතිරූපය ඉතා දුර්වලය. බැලු බැල්මට වැඩි පිරිසක් වික්රමසිංහ මහතා සමග සිටින බව පෙනෙන්නට තිබුණත්, මන්ත්රීවරුන්ගෙන් 70%ක පමණ පිරිසක් හදවතින් සිටින්නේ 23 දෙනාගේ කණ්ඩායම සමගය. වික්රමසිංහ මහතා කොතරම් දුර්වල තත්ත්වයක සිටියත් පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකයත්වය යන දෙකම අත්හරිනවා තබා ඉන් එකක්වත් අත්හරිනු ඇතැයි සිතිය නොහැකිය. එසේ ම ඒ 23 දෙනාගෙන් තොරව එජාපය පවත්වාගෙන යාමේ හැකියාවක් ද නොපවතියි. රනිල් වික්රමසිංහ මහතා කෙරෙන් ප්රකාශ වෙමින් පවතින දරදඬුභාවය ඉදිරියේ ඔවුන් පක්ෂය අතහැර නොයනු ඇතත්, ගෞරවාන්විත එකගතාවක් ඇතිකර ගැනීමට නොහැකි වෙතොත් එම පක්ෂය වඩා අබල දුබල තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. වික්රමසිංහ මහතා මේ විශේෂ මොහොතේදි පක්ෂ නායකත්වය තමන් වෙත තබාගනිමින් විපක්ෂ නායකත්වය හෝ අත්හැරීයේ නම් එම පක්ෂයට ලැබෙන ජවය ඉතා විශාල වන්නට ඉඩ තිබුණි.