අගවිනිසුරුවරයාට ඉතාමත් සමීප හා විශ්වාසවන්ත පුද්ගලයෙකු පාතාල ලෝකය සමග එකතු වී කරන ලද මනුෂ්ය ඝාතනයකට අදාළ විස්තර ද, නැවත එම අපරාධකරුවන්ට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් වංචනික පදනමක් මත ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අවස්ථාවක අගවිනිසුරුවරයා එම වංචාව නොසලකා ක්රියාකර තිබෙන ආකාරය ද අපි පසුගිය කලාපයෙන් කරුණු සහිතව හෙළිදරව් කළෙමු.
එම මනුෂ්ය ඝාතනය පිටුපස සිටින ප්රධාන පුද්ගලයා පාතාල ලෝකයට සම්බන්ධකම් ඇති නඩු විශාල ගණනක් ඇති පුද්ගලයෙකි. එවැනි පුද්ගලයකු විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ භාරකරුවා හා එහි පැවැත්වෙන උත්සවවලට ආහාර සපයන පුද්ගලයා ලෙස තෝරාගෙන තිබුණේ අගවිනිසුරුවරයා ය. අධිකරණ සේවයේ යෙදි සිටින හැම පුද්ගලයෙකුම පාහේ ඔහු හඳුනාගෙන තිබුණේ ද අගවිනිසුරුවරයාගේ විශ්වාසය දිනාගත්, අගවිනිසුරුවරයාට ඉතාමත් සමීප පුද්ගලයෙකු වශයෙනි. ඔහු අධිකරණ නිලධාරින් සමීපව ඇසුරු කළේ ය. ඔහු රට තොටේ ගමන් බිමන් ගියේ ද විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ නිල ලාංඡනය සහිත රථවලිනි.
අදාළ මනුෂ්ය ඝාතනයට පෙර දින එම පුද්ගලයා සිය සෙලියුලර් දුරකතනයෙන් ඝාතකයා සමග 14 වතාවක් ද, ඝාතනය කෙරුණු දින උදයේ ඝාතකයා සමග හතර වතාවක් ද කතාකර ඇති බව දුරකතන බිල්පත් අනුව පෙනී යයි. ඔහු සෙලියුලර් දුරකතනයෙන් අගවිනිසුරුවරයාට කතා කරන තත්ත්වයක් හා නැවත අගවිනිසුරුවරයා සිය දුරකතනයෙන් එම පුද්ගලයාට කතා කරන තත්ත්වයක් තිබී ඇති බවද දුරකතන බිල්පත්වලින් තහවුරු වේ. වංචාසහගත ආකාරයකින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවලට පෙනී සිටි නීතිඥ මහතුන් දෙදෙනා ද අගවිනිසුරුවරයාට සේ ම මේ පුද්ගලයාට ද සමීප අය වීම අහම්බයක් විය නොහැකි ය.
දැනට පොලිස් අත් අඩංගුවෙන් බේරි සිටීමට සැගවී සිටින මෙම අපරාධකරුවාගේ හොරණ නිවස පේරාදෙණිය පොලිසිය විසින් පරික්ෂා කරන ලද අවස්ථාවේදි අගවිනිසුරුවරයා සමග ගන්නා ලද ඡායාරූපයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ ඡායාරූපය ගත් නීතිඥ මහතා වෙතින් අදාළ ඡායාරූපවල සියලු දළ සේයා පට එම පුද්ගලයා විසින් ලබාගෙන ඇති බව ද හෙළිදරව් වී තිබේ.
මෙය ඉතාමත් නින්දාසහගත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැතත්, මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා දක්වන නිහඬතාව ජුගුප්සාජනක බව කිවයුතු ය.