රනිල්ගේ අනාගතය

April 29, 2001
Publication:
After the failed budget vote, Ivan argues that most UNP MPs now believe the party needs new leadership to defeat the government and form an all-party interim administration, with Karu Jayasuriya as Opposition Leader and Gamini Atukorale as party leader. He traces Wickremesinghe's weakness to his rapid rise after the assassinations, distrust of seniors and Gamini Dissanayake's supporters, and soft opposition, and urges him at least to give up the Opposition leadership.

අය වැයේ දි පරාජයක් ඇතිවීම වළකා ගැනීමට ආණ්ඩුව සමත් වූවත්, තොණ්ඩමන්ගේ හතර දෙනාට අතිරේකව අයවැය පරාජය කිරීම පිණිස විපක්ෂයට එකතුවීමට එකග වී සිටි අය හඳුනා ගනිමින් නැවත එවැනි තත්ත්වයකට ඔවුන් යොමුවීම වළකා ගැනීමට අවශ්‍ය කරන එකගත්වයක් ඇති කරගැනීමට ආණ්ඩුව සමත් වී නැත. එම තත්ත්වය ආණ්ඩුවේ අස්ථාවරභාවය වර්ධනය කිරීමට හේතුවී තිබේ.

තිබෙන පිළිගත හැකි තොරතුරුවලට අනුව අය වැයේ දි ආණ්ඩුව පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා පොදු පෙරමුණේ තෝරාගත් පිරිසක් සමග විපක්ෂය එකගත්වයක් ඇති කරගෙන තිබුණි. පළමු වටයේදි අය වැය පරාජය කිරීමට අවශ්‍ය කරන සීමිත ඡන්ද සංඛ්‍යාව ලබාදි, එනිසා ඇතිවන පරාජයෙන් පසුව වඩා විශාල තවත් පිරිසක් විපක්ෂය සමග එකතුවෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට එකගතාවක් ඇති කරගෙන තිබුණි.

මෙම වැඩ පිළිවෙල අන්තිම මොහොතේ පාවාදිමේ චෝදනාව දැන් එල්ල වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටය. එම තත්ත්වය ප්‍රමාණයෙන් අතිවිශාල රනිල් විරෝධී කැරැල්ලක් පක්ෂය තුළ මතු කිරීමට හේතුවී තිබේ.

පොදු පෙරමුණේ අභ්‍යන්තර පිරිසකගේ ද සහාය ඇතිව පොදු පෙරමුණු ආණ්ඩුව ඕනෑම මොහොතක පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දියත් කිරිමේ අරමුණ වෙනුවෙන් සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඇති කරගැනීමේ ඇත්ත හැකියාවක් ඇතත්, ඒ අරමුණ සපුරා ගැනීම සඳහා එජාපයේ නායකත්වයේ වෙනසක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය වෙතැයි එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර පිරිසකගේ අදහස වී තිබෙන බව පෙනේ. මොනයම් හේතුවක් නිසා හෝ රනිල් වික්‍රමසිංහට පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කිරිමේ ඇත්ත වුවමනාවක් නැතැයි කියන හා පක්ෂ නායකයා හා පොදු පෙරමුණු ආණ්ඩුවේ නායකත්වය අතර ඒ සඳහා රහසිගත එකගතාවක් ඇතැයි කියන බලවත් මතයක් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තුළ පවතී. මේ තත්ත්වය යටතේ මේ විශේෂ මොහොතේද විපක්ෂ නායකත්වය කරු ජයසූරියට ද පක්ෂ නායකත්වය ගාමිණී අතුකෝරාලට ද භාර දි රනිල් පක්ෂ නායකත්වයෙන් ගෞරවනීය ලෙස සමුගත යුතුයි කියන බලවත් ඉල්ලීමක් ද මතු වී තිබේ.

එජාපයේත්, විපක්ෂයේත් නායකයා වශයෙන් රනිල් රගපා තිබෙන භූමිකාව, ඉතාමත් දුර්වලය. රනිල් එජාප නායක පෝලිමේ ඉතා ඈතක සිටියකු වුවත්, ඉදිරි පෙළේ නායකයන් ගණනාවක්ම ඝාතනයට ලක්වීම හේතු කොටගෙන අනපේක්ෂිත වේගයකින් නායකත්වයට පැමිණියකු ලෙස සැලකිය හැකිය. ඔහු පක්ෂ නායකත්වයට එනවිට වඩා ජේ‍යෂ්ඨ පිරිසක් පාර්ලිමේන්තු කණ්ඩායමට අයත්ව සිටියේය. ඔහු පක්ෂ නායකත්වය සඳහා ගාමිණී දිසානායක සමග ඡන්දයකට ගිය අවස්ථාවේදි ඔහුට එරෙහිව ගාමිණීට ආධාර කළ පිරිසක් ද පක්ෂය තුළ සිටියහ. එවැනි සංකීර්ණ පරිසරයක් තුළ ඒ සියලු දෙනාගේ ගෞරවයට හේතුවූ නායකයකු ලෙස පක්ෂය තුළ තහවුරු වීමට රනිල් අසමත් විය. ඔහු ජේ‍යෂ්ඨයන් කරදරකාරයන් පිරිසක් ලෙස සලකන විට තමාට එරෙහිව ගාමිණීට ආධාර කළ අය විශ්වාසය නොතැබිය යුතු පිරිසක් ලෙස සලකා ක්‍රියා කළේය. එම තත්ත්වය පක්ෂයේ ඒකාග්‍රතාව පළුදු කොට පිල් බෙදුණු තත්ත්වයක් පක්ෂය තුළ ඇති කිරීමට හේතුවිය.

විපක්ෂ නායකයා වශයෙන් රනිල් ආණ්ඩුව සමග සටන් කරන ලද ආකාරය ද ශක්තිමත් නොවීය. මැතිවරණ ජයගැනීම සඳහා ආණ්ඩුව යොදා ගත් දූෂණ හා භීෂණ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ශක්තිමත් ලෙස අභියෝග කිරීමක් නායකයා අතින් සිදු නොවීය. ආණ්ඩුව ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත් කළ හැකි දේවලදි පවා නාමික වශයෙන් මිස උපරිම ශක්තිය යොදා පහර දෙන පිළිවෙතකින් වැළකී සිටියේය. මේ තත්ත්වය ප්‍රධාන විපක්ෂය වශයෙන් එජාපයේ ක්‍රියාකාරිත්වය අබල දුබල කිරීමට හේතුවූ අතර, රනිල්ට නම් බැහැයි කියන මතයක් ගම් මට්ටමේ පාක්ෂිකයන්ගේ සිට ව්‍යාපාරික ප්‍රජාව දක්වාම තහවුරු වීමට හේතු විය.

දැන් එම පක්ෂය තුළ මතුවී තිබෙන අර්බුදයට සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ඉක්මන් විසඳුමක් ඇතිකර ගැනීමට හේතු නොවෙතොත් එජාපය තවදුරටත් බෙලහීන තත්ත්වයකට ඇද වැටීම නොවැළැක්විය හැකිය. මතුවී තිබෙන කැරැල්ල තාවකාලික වශයෙන් යටපත් කරගැනීමට සමත් වුවත් නායකත්වය අරබයා මතුවී තිබෙන අතෘප්තිය පක්ෂය කෙරෙන් ඉවත් කිරීම අසීරුය. ඒ තත්ත්වය ඉදිරියේ එම පක්ෂයට නව ප්‍රගමනයක් ලැබෙනු ඇත්තේ කැරලිකරුවන් ඉල්ලා සිටින ඉල්ලීම්වලින් අඩක්වත් (පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකත්වය යන ස්ථාන දෙකම අත්හරීන පිළිවෙතක් වෙනුවට අඩුම වශයෙන් විපක්ෂ නායකයකම කරු ජයසූරීයට භාර දි පක්ෂ නායකත්වය තවදුරටත් තමා වෙත තබාගන්නා පිළිවෙතක්) සම්පූර්ණ කිරීමට සමත් වේ නම් පමණය.

පුළුල් අර්ථයෙන් බලන විට එජාපයට නව ශක්තියක් ලැබෙනු ඇත්තේ පක්ෂ නායකත්වයේ මූලික වෙනසක් ඇතිවේ නම් පමණය. පක්ෂ නායකත්වයේ ඇතිවන වෙනසක් එම පක්ෂය තුළත්, ජනතාව තුළත් කලකිරීම නිසා පක්ෂයෙන් පිටස්තර වී සිටින හා අක්‍රියව සිටින පාක්ෂිකයන් අතරත් නව ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවේ. රනිල් වික්‍රමසිංහ ඉලක්ක කොට පහර දෙන එජාපයට සම්බන්ධ බලවේගයන් ද වග කියන තත්ත්වයකට හෝ එජාප සමග නැවත ගනුදෙනු කරන තත්ත්වයකට එනු නොවැළැක්විය හැකි ය.

පක්ෂය විනාශ වන්නට ඉඩ හැර තමන් රැකෙනවාද නැත්නම්, නායකත්වය මුළුමණින් හෝ අර්ධ වශයෙන් අතහැර පක්ෂය රැකෙන්නට ඉඩ හරිනවාද යන්න දැන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගයයි. එම තත්ත්වය ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන උභතෝකෝටික තත්ත්වයට සමානය. එහෙත් කවර නායකයකුට වත් අනුගාමික ජනතාවගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් සාර්ථක නායකත්වයක් සැපයිය නොහැකිය. ගෞරවනීය නායකයන් වන්නේ අනුගාමිකයන් ඔබේ නායකත්වය අපට එපා කියන අවස්ථාවලදි එම හඬට ඇහුම්කන් දි සුදුසු නායකයකු තෝරා ගැනීමට අනුගාමිකයන්ට ඉඩ හැර ගෙදර යන්නට තරම් නිහතමානී වන පුද්ගලයන් පමණය.