බල තරගයේ වෛර සාධකය ඉවත් කිරීම

April 1, 2001
Publication:
Mutual hatred and fear of reprisal stop parties from agreeing on national problems. The editorial reports the Alliance for Democracy's all-party meeting in Parliament on its eleven-point reform programme, attended by Mahinda Rajapaksa, Rauff Hakeem, the UNP, JVP, TULF, TELO and Tamil Congress, where all agreed that the presidency should answer to Parliament and the courts, backed independent commissions, and favoured holding presidential and parliamentary elections together.

බලයේ සිටින පාලක පක්ෂයකට තනිව විසඳිය හැකි ගැටලු තිබෙනවා සේ ම තරග බිමේ සිටින දේශපාලන පක්ෂවල පොදු එකගතාවකින් තොරව තනිව විසඳිය නොහැකි ගැටලු ද පවතී. ආණ්ඩු පක්ෂයකට තනිව විසඳිය නොහැකි ගැටලු ගොඩ ගැසී තිබෙන තත්ත්වයක් තුළ ජාතික වැදගත්කමක් ඇති එම ගැටලු විසඳ ගැනීම පිණිස දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කරගන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකා දේශපාලනය මුහුණ දි තිබෙන ප්‍රධාන අභියෝගය ලෙස සැලකිය හැකිය.

දේශපාලන තරගය තුළ පවත්නා වෛරය හා සැකය දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කරගැනීමට තිබෙන නොහැකියාව කෙරෙහි බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශපාලන සංස්කෘතිය අනුව බලයට පත්වන පක්ෂ විරුද්ධ පක්ෂ පීඩාවට ලක් කිරීම සඳහා රාජ්‍ය බලය උපරිම මට්ටමෙන් යොදා ගනී. මෙම පීඩාව දේශපාලන විරුද්ධ පක්ෂවලට අයත් නායක මට්ටමේ අය කෙරෙහි පමණක් නොව, ගම් මට්ටමේ සාමාජිකයන් හා අනුගාමිකයන් කෙරෙහි පවා බලපායි. අනෙක් අතට ආණ්ඩු බලයේ සිටින පක්ෂයක් විරුද්ධ පක්ෂ පීඩාවට ලක් කරන විට එසේ කරන්නේ ද තමන් විරුද්ධ පක්ෂයේ සිටියදි එකල ආණ්ඩු බලයේ සිටි එම විරුද්ධ පක්ෂය රාජ්‍ය බලය යොදා තම පක්ෂයට උපරිම මට්ටමින් පීඩාවට ලක් කළ නිසා දැන් තමන්ට රාජ්‍ය බලය ලැබී තිබෙන තත්ත්වයක් තුළ එකටෙක කිරීම ඉතාමත් යුක්තිසහගත වේ යැයි සලකාය. මේ තත්ත්වය ඉදිරියේ තමන්ට හා තම පාක්ෂිකයන්ට එරෙහිව එල්ල වී තිබෙන පීඩාව හැකි ඉක්මණන් අවසන් කරගැනීම සඳහා හැකි ඉක්මණන් ඕනෑම ක්‍රමයකින් බලයට පත්විය යුතුයි සිතන ආකල්පයක් විරුද්ධ පක්ෂවල පවතී. අනෙක් අතට විරුද්ධ පක්ෂ බලයට පත්වුවහොත් තමන් පළිගැනීමට ලක්වේ යයි කියන බිය නිසා කුමන ආකාරයකින් හෝ බලය ආරක්ෂා කරගන්නා පිළිවෙතක් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂවලට ද සිදුවී තිබේ. දේශපාලන තරගය තුළ පවත්නා ප්‍රචණ්ඩත්වය කෙරෙහි ද මෙම සාධකය බලපා තිබේ.

ශ්‍රී ලංකා දේශපාලනයේ පවත්නා මේ පරස්පරය ජයගැනීමෙන් තොරව කවර ජාතික වැදගත්කමක් ඇති ගැටලුවක් සඳහාවත් දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කරගැනීමේ හැකියාවක් නොපවතී. අන් සියල්ලටම ප්‍රථම බල තරගයේ සිටින දේශපාලන පක්ෂ අතර සැකයෙන් හෝ වෛරයෙන් තොරව ගෞරවයකින් ක්‍රියා කළ හැකි පරිසරයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක අවශ්‍යතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සන්ධානය අවධාරණය කරන්නේ ඒ නිසාය.

මෙම අරමුණ ජයගැනීම සඳහාම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන 11 වැදෑරුම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් කෙටුම්පත් කර තිබෙන අතර එම වැඩපිළිවෙළට ඇතුළත් ප්‍රතිසංස්කරණ යෝජනා කවර ප්‍රමාණයකට දේශපාලන පක්ෂවල පිළිගැනීමට හේතුවේද යන්න තේරුම් ගැනීම සඳහා පසුගිය 27 වැනිදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකට කැඳවන ලද සර්ව පාක්ෂික නියෝජිත පිරිසක් වෙත ඉදිරිපත් කළේය.

මොනම ආණ්ඩුවක්වත් ප්‍රජාතන්ත්‍රවාදී පුනර්ජීවන වැඩපිළිවෙළක් කතා කරනවාට එකග නැත. එය පොදු පෙරමුණු ආණ්ඩුවෙන් පමණක් නොව, එජාප ආණ්ඩුව කෙරෙන් ද ප්‍රකාශ වූ ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවනයක් ඇති කළ යුතුයි කියන අදහස තුළම තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය සීමාසහිත වේ යැයි කියන අදහසක් ද ජනිත වේ. එහෙත් බලයේ සිටින හැම ආණ්ඩුවක්ම තමන් යටතේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී යයි කියන්නට කැමතිය. ඒ නිසාම මෙවැනි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට බලයේ සිටින ආණ්ඩුවක් විරුද්ධ වීම ද නොවැළැක්විය හැකිය. එහෙත් ආණ්ඩුවෙන් ඊට එල්ලවෙමින් තිබුණු විරුද්ධවාදි සංඥා නොසලකා ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස ක්‍රියාකරන පිරිසක් සන්ධානය විසින් කැඳවන ලද සාකච්ඡාවට සහභාගිවීමෙන් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගැන උනන්දුවක් දක්වන පිරිසක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ද සිටින බවය. අපි මේ යන්නේ කොහේද, එහි කෙළවර කුමක්ද යන ප්‍රශ්නය පසුගිය අය වැය විවාදයේදි හැගීම්බර ස්වරයකින් මතු කළ පළමුවැන්නා වූයේ ධීවර ඇමති මහින්ද රාජපක්ෂ මහතාය. එජාප පාලනය බලයේ සිටියදි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ගැන හා අයථා ගණුදෙනු ගැන එජාපයට චෝදනා කළ බවත් දැන් ඊට සමාන චෝදනා එජාප වෙතින් තම ආණ්ඩුව වෙත එල්ල වෙමින් තිබෙන බවත් එකිනෙකාට චෝදනා කරගන්නා තත්ත්වයකින් ක්‍රියාකරනවාට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා සියලු පක්ෂ එකට එකතු වී පොදු වැඩපිළිවෙළක් ඇති කරගැනීමෙන් රටට යහපතක් ඇති කළ හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය. ඉන්පසු විරුද්ධ පක්ෂ වෙනුවෙන් කතා කළ කථිකයන් ද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රවේශය අගේ කළේය.

සන්ධානය විසින් කැඳවන ලද සාකච්ඡාවට ඇමති මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව, පොදු පෙරමුණු ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කරන මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් ඇමති රවුෆ් හකීම් මහතාත්, කම්කරු කොංග්‍රසය වෙනුවෙන් ආර්. යෝගරාජන් මහතාත් සහභාගි වූ අතර, එජාප වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා හා කරු ජයසූරිය මහතාත්, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නන්දන ගුණතිලක මහතා හා ජිනදාස කිතුලේගොඩ මහතාත්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවෙන් ආනන්ද සංගරි මහතා හා මාවේ සේනාධිරාජා මහතාත්, ටෙලෝ සංවිධානය වෙනුවෙන් ඒ. අඩෛකලනාදන් මහතාත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් එස්. විනයාන මූර්ති මහතාත් සහභාගි වූහ. සර්ව ආගමික සමුළුව, විද්වත් වෘත්තිකයන්ගේ සංගමය, කර්තෘ සංසදය හා වෙනත් වෘත්තීය සමිති හා සංවිධාන නියෝජනය කරන නියෝජිත පිරිසක් ද, තානාපති නිලධාරින් පිරිසක් ද සාකච්ඡාවට නිරික්ෂක පිරිසක් ලෙස සහභාගි වූහ.

11 වැදෑරුම් වැඩපිළිවෙලේ එන සියලු කරුණු සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීමට නොහැකි වුවද තරග බිමේ සිටින සියලු දේශපාලන පක්ෂවලට ගෞරවයෙන් ක්‍රියා කළ හැකි පරිසරයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක අවශ්‍යතාව සියලුදෙනාගේ පිළිගැනීමට හේතු විය.

විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන තත්ත්වයකට ගෙනා යුතුය කියන අදහස ද සියලු දෙනාගේ පිළිගැනීමට හේතුවිය. විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කරන වැඩපිළිවෙළක් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, එහෙත් එය ජනතාවට වගකියන ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීම සියලු පක්ෂවල පොදු පිළිගැනීම වේ නම්, එවැනි ප්‍රතිසංස්කරණයකට තමන් බාධා නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිනියට ජනාධිපති ධුරයට අතිරේකව ඇමති ධුර දැරිමේ අයිතියක් තිබිය යුතුය යන ප්‍රශ්නය ද එහිදී උණුසුම් ස්වරයකින් සාකච්ඡාවට ලක්විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වූයේ ජනාධිපති ධුරයට අතිරේකව කිසිම ඇමති ධුරයක් දැරිමේ අයිතිය ජනාධිපතිට නොතිබිය යුතු බවය. දෙමළ කොංග්‍රසය දරන මතය ද ඊට සමාන විය.

ව්‍යවස්ථාදායක සභාවක් යටතේ ක්‍රියාත්මක කරවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා හතරේ කෙටුම්පත හා ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කොට ඇති ආණ්ඩුවේ ජනමාධ්‍ය සඳහා වන කොමිෂන් සභාව පිළිබඳ අදහස ද එහිදී සාකච්ඡාවට ලක්වූ අතර, එවැනි ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක අවශ්‍යතාව ද සියලු දෙනාම පිළිගත්හ.

ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීම මගින් මැතිවරණ සඳහා යන වියදම අඩුකර ගනිමින් දූෂණයට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුය යන්න එහිදී ඉදිරියට ආ කාගේත් පිළිගැනීමට හේතුවූ තවත් ප්‍රශස්ථ යෝජනාවක් ලෙස සැලකිය හැකිය.

බල තරගයේ යෙදි සිටින දේශපාලන පක්ෂ අතර පවත්නා වෛරය හා සැකය අවම කිරීමට හේතුවන හා එකිනෙකා කෙරෙහි විශ්වාසයකින් හා ගෞරවයකින් ක්‍රියා කරන පරිසරයක් ඇති කිරීමට හේතුවන දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට ඇත්ත හැකියාවක් ඇති බව එම සාකච්ඡා සභාව මනා ලෙස ඔප්පු කළේය. දැන් ඉතිරිවී තිබෙන ප්‍රශ්නය එවැනි වැඩපිළිවෙළක් ප්‍රායෝගික කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.