ප්‍රභාකරන්ගේ ඊළග පියවර කුමක් ද?

March 11, 2001
Publication:
The editorial argues that the LTTE is trapped not by military strength but by a world order that no longer legitimises armed struggle, as the fall of Elephant Pass and the outside help that saved Jaffna showed. Mandela, the PLO, the IRA and the JVP adapted; governments that crush just grievances also face isolation. It assesses Prabhakaran as a gifted but ruthless commander, groups him with Wijeweera, Premadasa and Vijaya Kumaratunga, and says a turn to peace would multiply his strength.

ප්‍රචණ්ඩත්වයට බර තබන අරගලයක් තවදුරටත් ඉදිරියට ගෙන යා නො හැකි තැනක දැන් කොටි සංවිධානයත්, එම සංවිධානයේ නායක ප්‍රභාකරනුත් හිරවී සිටින්නේය. එහෙත් ඒ හිරවීම යුද්ධ හමුදා ශක්තියේ බලයක් ලෙස සැලකීම වැරදිය. එය නූතන ලෝක දේශපාලන රටාව විසින් ඇති කරන ලද ප්‍රතිඵලයකි. කොටි සංවිධානය අලිමංකඩ හමුදා කඳවුර අල්ලා ගැනීමෙන් පසුව විශ්මය ජනක ආකාරයකට යාපනේ ආරක්ෂා කරගැනීමට ආණ්ඩුවට හැකිවූයේ ද යුද්ධ හමුදාවේ ශක්තියෙන් නොව, තිරය පිටුපස සිටි බාහිර බලවේගයන් ලබාදෙන ලද ශක්තිය හේතු කොටගෙනය.

පැරණි ලෝක දර්ශනය තුළ පීඩිත පන්තියකට හෝ සමාජ කණ්ඩායමකට යුක්තිය ඉටුකර ගැනීම සඳහා ආයුධ සන්නද්ධ අරගලයක නිරතවීමට යුක්තිසහගත භාවයක් ලැබී තිබුණි. එහෙත් නූතන ලෝක දර්ශනය තුළ එවැන්නකට යුක්ති සහගත භාවයක් ලැබෙන්නේ නැත. අනෙක් අතට පැරණි ලෝක දේශපාලන සන්දර්භය තුළ පීඩිත පන්තියකට හෝ සමාජ කණ්ඩායමකට ආයුධ සන්නද්ධව අරගලයක් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබුණත්, නූතන ලෝක දේශපාලන සන්දර්භය තුළ එවැනි හැකියාවක් නොපවතී.

එහි තේරුම නූතන ලෝක දේශපාලන සන්දර්භය තුළ පීඩිත ජනතාවකට යුක්තිය ඉටුකරවා ගැනීමට තිබෙන මාර්ග මුළුමනින් ඇහිරි තිබෙන බව නොවේ. ආයුධ සන්නද්ධ මාර්ගය ඇහිරෙන විට සාමකාමී ක්‍රියාමාර්ග මගින් යුක්තිය ඉටුකරවා ගැනීමට තිබෙන මාර්ග අලුතෙන් විවර වී තිබෙන බවය.

පැරණි ලෝකය තුළ පීඩිත ජනතාවකට යුක්තිය ඉටුකරවා ගැනීමට තිබුණු මාර්ග අතර ආයුධ සන්නද්ධ අරගලද ඒ සඳහා තිබුණු පහසුම මාර්ගය විය. ඉන් පිටස්තරව තිබුණු මාර්ග ඉතා සීමිත ඒවා සේම ඒවා දුෂ්කර ද වූයේය. ආයුධ සන්නද්ධ අරගලයකින් පිටස්තරව නිදහස දිනාගැනීම සඳහා අරගල කෙරෙන සම්ප්‍රදායයක් නොතිබුණු අතර ඉන් පිටස්තරව සාර්ථක අත්හදා බැලීමක යෙදි ඇත්තේ මහත්මා ගාන්ධී පමණය.

ලෝක දේශපාලන තලයේ ඇතිවී තිබෙන මෙම වෙනස්කම් ග්‍රහණය කරගනිමින් ඊට ගැලපෙන ලෙස වෙනස්වීමේ හැකියාවක් නැති කිසිම විප්ලවකාරි සංවිධානයකට පැවැත්ම අමාරුය. ඔවුන් ඉක්මණන් හෝ ප්‍රමාද වී විනාශයට පත්වනු නොවැළැක්විය හැකිය. ලෝකයේ ඇතිවී තිබෙන නව වෙනස්කම්වලට අනුකූලවෙමින් සිය ගමන් මග වෙනස් කළ ප්‍රථමයා වීමේ ගෞරවය හිමිවිය යුත්තේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාටය. ඉන්පසු පලස්තීන විමුක්ති සංවිධානයට හා අයි.ආර්.ඒ. සංවිධානය ද ඊට සමාන මගක් ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ ද සිය කැරැල්ලේ පරාජයෙන් පසුව තවදුරටත් ප්‍රචණ්ඩ මාවතකට ගමන් ගත්තේ නම් එය ද කිසිදු අනාගතයක් නැති ව්‍යාපාරයක් ලෙස විනාශයට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් එම පක්ෂය ද එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුවීමට තරම් නම්‍යශීලී විය. දැන් ඉතිරිවී තිබෙන්නේ ප්‍රභාකරන්ගේ වාරයයි.

පවතින නව ලෝක සන්දර්භය තුළ පීඩිත ගණයෙහිලා සැලකිය හැකි ව්‍යාපාරවලට පමණක් නොව පීඩක ගණයෙහි ලා සැලකිය හැකි ආණ්ඩුවලට ද වෙනස්වීමට බලකෙරෙමින් පවතී. පීඩක තත්ත්වයෙහිලා ක්‍රියාකරන ආණ්ඩුවලට ද පීඩිතයින්ගේ සාධාරණ අයිතිවාසිකම් බලය යොදා යටපත් කරගෙන සිටීමට තිබෙන හැකියාව සීමාවෙමින් පවතී. කිසියම් පාලක පක්ෂයක් පීඩිත තත්ත්වයෙහිලා සැලකිය හැකි ජන කණ්ඩායමක සාධාරණ අයිතිවාසිකම් හිතුවක්කාරි ආකාරයකින් පාගා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම්, එවැනි පාලක පක්ෂයක් කෙරෙහි ලෝක ප්‍රජාවගෙන් ලැබෙන ප්‍රතිචාරය ත්‍රස්තවාදි සංවිධානයකට ලැබෙන ප්‍රතිචාරයට සමාන විය හැකිය. ඒ අර්ථයෙන් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පමණක් නොව, චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩුව සිටින්නේ ද හිරවූ තැනකය. චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වත් පිළිවෙත් කෙරෙහි ලෝක ප්‍රජාව තුළ පවතින්නේ දෑඩි විවේචනයකි. ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර බරපතල ලෙස සීමා කරන තැනකට ගියේ ඒ නිසාය. අලිමංකඩ ඇද වැටීමෙන් පසු යාපනේ අල්ලාගෙන සිටීමට අවශ්‍ය සහාය ලබාදෙමින් ප්‍රභාකරන් හිරකරන තත්ත්වයකට ගෙන ඒමට ආධාර කළත්, එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් දෙමළ දුක්ගැනවිලිවලට විසඳුමක් නොදි ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය පොඩි පට්ටම් කරන තැනකට ගියහොත් ඒ නිසා ආණ්ඩුවට ලැබෙනු ඇති ප්‍රථිපලය වනු ඇත්තේ ද කොටි සංවිධානයට ලැබුණු ප්‍රතිඵලයමය. ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය මුලිනුපුටා දමන ක්‍රියාමාර්ගයකට ඉඩක් ලැබෙනවා නම්, ලැබෙනු ඇත්තේ සාමකාමී ආකාරයකින් ප්‍රශ්න විසඳගැනීමට ලබාදෙන ඉඩ ප්‍රයෝජනයට නොගෙන තවදුරටත් ප්‍රචණ්ඩ මාවතේම ගමන් ගන්නා ක්‍රියාමාර්ගයකට යොමුවේ නම් පමණය. එසේ නොවී සාමකාමී ආකාරයකින් ප්‍රශ්න විසඳ ගන්නා ක්‍රියාමාර්ගයක් වෙත මාරු වුවහොත් යුද්ධයට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තිය අතහැර අරගලය සාමකාමී රාමුවකට ගෙන ඒමට ආණ්ඩුවට ද සිදුවනු ඇත්තේය.

ප්‍රභාකරන් වියට්නාමයේ වෝ ගුයෙන් ගියප් ගෙන් පසුව නිල යුද්ධ ඇකඩමි රාමුවකින් පරීබාහිරව ලෝක මට්ටමෙන් බිහිවූ විශිෂ්ටතම යුද විශේෂඥයා ලෙස සැලකිය හැකිය. ඔහු යුද්ධයේ කෙල පැමිණයෙකු වූවා සේම හිත්පිත් නැතිකම ද ඔහුගේ චරිතයට ආවේණික විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැකිය. ඔහු සිත් පිත් නැති ආකාරයකින් සතුරු පිලේ අය විනාශ කළා සේම, අවශ්‍ය යැයි සිතෙන අවස්ථාවලදි මිතුරන් ලෙස සැලකිය හැකි සිය පිලේ අය ද විනාශ කිරීමට පසුබට නොවීය. ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියා කරන පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වයේ සීමාවන් ද තේරුම් නොගනී. ප්‍රචණ්ඩත්වයෙන් ලබන හැම ජයග්‍රහණයක්මත් ඉදිරියේ තිබෙන හැම ලොකු කුඩා ප්‍රශ්නයක්ම ප්‍රචණ්ඩත්වයෙන් ජයගත හැකි යැයි සිතන තැනකට තල්ලුකරයි. මෙය ප්‍රභාකරන්ට පමණක් ආවේණික විශේෂිත ලක්ෂණයක් නොව, ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියාකළ හැකි හැම නායකයෙකුටම ආවේණික පොදු ලක්ෂණයකි. ප්‍රභාකරන් තරම් දෙමළ ජනතාවගේ ආශ්වාදයට හා ගෞරවයට හේතු වූ නායකයකු නැතිවා සේ ම, ඔහු තරම් සිංහල ජනයා භීතියට පත් කළ හා ඔවුන්ගේ වෛරයට හේතුවූ චරිතයක් තවත් නැති තරම්ය. ඔහු සිය වර්ගයාගේ නිදහස පිණිස කරන අරගලයේදි තමන් කරන යුද්ධය නිල යුද්ධ හමුදාවකට එරෙහිව කරන යුද්ධයකින් ඔබ්බට යන්නට ඉඩ නොහැරීයේ නම්, එනම් නිරායුධ සිංහල ජනතාවට පහර නොදෙන තැනක තබාගැනීමට සමත් වී නම්, ප්‍රභාකරන් සිංහල ජනයාගේ වෛරයට හේතුවන පුද්ගලයකු වෙනුවට ඔවුන්ගේ ගෞරවයට හේතුවන පුද්ගලයකු වනු නොඅනුමානය. එම විෂයයෙහි ප්‍රභාකරන්ට ආවේණික සීමිත බව සමස්ත දෙමළ ජාතික ව්‍යාපාරය පටු තැනක හිර කිරීමට හේතුවූ බව ද කිවයුතුය.

ප්‍රභාකරන් අයත්වන්නේ ද රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස, විජය කුමාරතුංග යන නායකයන් අයත් පීඩිත නිර්ප්‍රභූ දේශපාලන නායකයන්ගේ ගණයටය. මේ සියලු නායකයන් එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ජන කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටි අයවන්නා සේම ඉන්දියාවේ අම්බෙඩ්කාර් මෙන් සෘජු ලෙස නොවූවත් අනියම් ලෙස හෝ සිංහල හෝ දෙමළ සමාජයේ පැවති කුල භේදයට එරෙහිව සටන් කළ නායකයන් ලෙස ද සැලකිය හැකිය. මේ නායකයන් පරමාර්ථ සාධනය සඳහා තෝරාගත් මාර්ගවල හා ඇදහූ දර්ශනවල වෙනස්කම් තිබුණත්, අපේක්ෂා කළ අරමුණුවල සමානකමක් තිබුණේය. එහෙත් ඔවුන් සිටියේ එක පිලක නොව පිලවල් හතරකය. එහෙත් පුදුමයකට මෙන් ප්‍රභාකරන් පමණක් ඉතිරිවී අන් නායකයන් තිදෙනාම මරණයට පත්වන්නේද, ප්‍රචණ්ඩත්වයේම ක්‍රියාදාමයන් ඔස්සේය. විජය කුමාරතුංග විජේවීර කෙරෙන් මුදාහැරෙන ප්‍රචණ්ඩත්වයක් නිසා මරණයට පත්වන විට, ප්‍රේමදාස මුදාහරින ප්‍රචණ්ඩත්වයක් නිසා විජේවීර මරණයට පත්වේ. ඉන්පසු ප්‍රේමදාස මරණයට පත්වන්නේ ප්‍රභාකරන් කෙරෙන් මුදා හැරෙන ප්‍රචණ්ඩත්වයක් නිසාය.

දැන් ප්‍රභාකරන් ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය, මතුවී තිබෙන තත්ත්වයන් ඉදිරියේ ඔහු කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්නයි. ප්‍රචණ්ඩත්වය ඔස්සේ ඔහු දුර දිග ගොස් තිබෙන ප්‍රමාණය අනුව සාමකාමී මාර්ගයකට මාරුවීම ඉතාමත් දුෂ්කරය. එහෙත් ඉතා දුෂ්කර වුවත් සුපුරුදු ප්‍රචණ්ඩ මාර්ගය අතහැර සාමකාමී මාර්ගයකට මාරුවීමට ඔහු සමත් වෙතොත්, ඔහුට ලැබෙන ශක්තිය දෙගුණ, තෙගුණ වනු ද නොවැළැවිය හැකිය.