ජනාධිපතිනිය පසුගිය ඉරිදා රූපවාහිනිය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි රටේ පවත්නා තත්ත්වය ගැන විවරණයක යෙදුණා ය. එය රටේ පවත්නා තත්ත්වය ගැන අවංකව කරන ලද කරුණු විමසා බැලීමකට වඩා සිය දුර්වල කළමනාකරණ ප්රතිපත්ති නිසා රටට ඇතිවී තිබෙන විනාශය වසන් කරන හා සිදුවී තිබෙන විනාශය සමෘද්ධියක් ලෙස දක්වන විවරණයක් විය.
ඇය ආර්ථිකය ගැන කීවේ සිදුවී ඇත්තේ සුළු පසුබැසීමක් මිස ආර්ථිකයේ කිසිම නායයෑමක් නැති බව ය. බඩු මිල ගැන කීවේ ද බඩු මිලේ වැඩි කමක් නැති බව ය. ඇමතිවරුන්ට ලැබෙන වැටුප් හා වරප්රසාද ගැන කීවේ මහජන බැංකුවේ රියැදුරෙකු අතිකාල දිමනා සමග මසකට රුපියල් 60,000ක පමණ පඩියක් ලබාගන්නා විට, ඇමතිවරයෙකු රුපියල් 19,000ක් තරම් කුණු වැටුපක් ලබාගන්නා බව ය. අප දන්නා තරමින් බැංකු රියැදුරෙකුට අතිකාල දිමනා සමග ලබාගත හැකි උපරිම වැටුප රුපියල් 15,000කට වැඩිවන්නේ නැත. එහෙත් ඇමතිවරුන්ට දෙන වැටුප් පිළිබඳව ජනාධිපතිනිය විසින් දක්වන ලද සංඛ්යා ලේඛන මුළුමණින්ම සාවද්යය ය. ඇමතිවරයකුගේ වැටුප රුපියල් 19,000ක් නොව රුපියල් 29815කි. නියෝජ්ය ඇමතිවරයෙකුගේ වැටුප ද රුපියල් 28750කි. රජයේ සේවකයන් තමන් උපයන වැටුප් සඳහා ආදායම් බදු ගෙවීමට බැඳී සිටියත්, ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලැබෙන වැටුප් ආදායම් බද්දෙන් නිදහස් ය.
අනෙක් අතට ඇමතිවරුන්ට ආදායම් ලැබෙන එකම මාර්ගය වැටුප් හා දිමනා පමණක් නොවන බව ද මහජනයාට රහසක් නොවන්නේ ය. 94ට පෙර ආර්ථික අමාරුකම්වලින් ජීවත් වී පසුව මැති, ඇමතිවරුන් බවට පත්වූ සමහරුන්ට ඉතාමත් කෙටි කාලයක් තුළ සුවිසල් මැදුරු ගණයෙහිලා සැලකිය හැකි නිවාස ඉදිකිරීමට හැකිවී ඇත්තේ ද මැති ඇමතිකම් සමහරුන්ට කෝටි ගණනින් මුදල් උපයා දෙන පහසු මාර්ගයක් වී තිබෙන නිසා ය.
ජනාධිපතිනිය සිය කතාවේදි ජේආර්. ජයවර්ධන ඇති කළ විධායක ජනාධිපති ක්රමයෙන් තමාට ලබාදි තිබෙන අතිවිශාල බලය ගැන ද කතා කරන්නට අමතක නොකළා ය. එයින් ජනාධිපතිනිය අනියම් ලෙස රටට කීවේ තමා සමග සෙල්ලම් කරන්නට ආවොත් බලාගෙනයි කියන පණවුඩය විය හැකි ය. රටේ ජනතාවට ජනාධිපතිවරුන් සමග සෙල්ලම් කිරීමට අවශ්යතාවක් නැත. එහෙත් රටේ පාලකයන් මහජන මුදලින් උපරීම ලෙස සැප විඳිමින් මහජනතාව මත අනුකම්පා විරහිතව දිගින් දිගටම බර පටවන ප්රතිපත්තියක් අනුගමනය කරත් නම්, ඔවුන් හැමදාමත් එම තත්ත්වය ඉවසා සිටිනු ඇතැයි ද සිතිය නොහැකි ය.
ප්රංශ විප්ලවය මුවවිට තිබෙන අවස්ථාවක මාරී ඇන්ටොයිනට් ද පාන් ඉල්ලා සිටි ජනතාවට කේක් කන ලෙස කියා සිටියා ය. ජනාධිපතිනියගේ රූපවාහිනී සාකච්ඡාවෙන් කියවෙන පණවුඩය ද ඊට නො දෙවෙනි ය